පුංචි ඡන්දයට මුදල් නොදීම මුදල් ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් ඉවතට…

මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය මාර්තු මස පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා නොදීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබියදීත් ඒ අනුව කටයුතු නොකළ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14දා) ප්‍රතික්ෂේප කළේය.

වගඋත්තරකාර මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. රටේ මූල්‍ය පාලන බලය හිමිව ඇත්තේ රටේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට බවත් පාර්ලිමේන්තුව විසින් රටේ පවතින ආර්ථික තත්ත්වය ඇතුළු ගැටලු අනුව ගනු ලබන තීරණවලට මැදිහත්වීමට තම අධිකරණයට නීතිමය හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන විජිත් බලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

සමගි ජන බලවේග පක්ෂයේ මහ ලේකම් මද්දුව හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් එම පෙත්සම් ගොනුකර තිබිණි. නීතිඥ ධමින්ද විජේකෝන්, ජනගන් සුන්දරමුර්ති, එන්. කේ. අසෝක්වරන් යන නීතිඥ මණ්ඩලය සමඟ නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා වගඋත්තරකාර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Social Sharing
නවතම පුවත්