ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වීමට සුව ඇමති‌ගෙන් නිළධාරීන්ට උපදෙස්…

ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවල දී එවැනි ඖෂධ පිළිබද අවශ්‍ය දත්ත විමසා බලා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කරගෙන මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙන ලද්දේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය යන ආයතන වල නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ අද දින (01) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදුකල සාකච්ජාවකදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉහත ක්‍රමවේදයෙන් පරිබාහිරව යම්කිසි කෙනෙක් කටයුතු කරන්නේ නම් ඒ පිලිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගැනීම අත්හිටුවන ලෙසද, දැනට හිගව පවතින ඖෂධ ඉතා කඩිනමින් නියමිත ක්‍රමවේදය ඔස්සේ ගෙන්වීමට කටයුතු කරන ලෙසටද, අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙරට ජනතාවගේ සුව සෙත ඉහළ නැංවීම අප සැමගේ ප්‍රමුඛ කාර්ය විය යුතු බව පෙන්වා දුන් අතර එය සාමුහිකත්වයෙන් සිදු කල යුතු කාර්යක් බවද අවධාරණය කලේය.

පිළිකා, වකුගඩු ආදි රෝග සදහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධ පිලිබදව අවධානය යොමු කරමින් එම ඖෂධ හිගතාවයකින් තොරව රට තුළ පවත්වාගෙන යාම සදහා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසත්, සියලු ඖෂධ සදහා නිරන්තරයෙන් අවධානය යොමු කර සොයා බලා කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාල නිලධාරීන් මෙහිදී දැනුවත් කලේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සමන් රත්නායක, Y.L.M. නවාවි, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් D.R.K. හේරත්, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

Social Sharing
ආර්ථික නවතම පුවත්