මූල්‍ය සාක්ෂරතාව නැති හින්දා පිරමීඩ ක්‍රමවලට හසුවෙනවා…

පිරමීඩ හා මූල්‍ය වංචනික ක්‍රමවල මුදල් යෙදවීමෙන් වළකින්න

ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඔප් නංවා ගත යුතු වෙනවා

කුසලතා නැත්නම් මූල්‍ය සාක්ෂරතාව සම්පූර්ණ වන්නේ නැහැ

පුද්ගලයෙකුට මුල්‍ය සාක්ෂරතාව අවශ්‍ය ඇයි, මූල්‍ය සාක්ෂරතාව ලබා ගන්නේ කෙසේද, මුදල් ආයෝජනයේදී සහ ඉතිරි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය වාණිජ හා කළමනාකරණය අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චතුර ලියනගේ මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ.

 

මූල්‍ය සාක්ෂරතාව කියන්නේ මොකක්ද?

මූල්‍ය සාක්ෂරතාව කිව්වාම බොහෝ දෙනෙක් සිතන්නේ මුදල් සම්බන්ධයෙන් තිබෙන දැනුම කියලයි. එහෙමත් නැත්නම්, මුදල් වත්කම් පිළිබඳ ඇති දැනුම කියලත් හඳුන්වනවා. නමුත්, මූල්‍ය සාක්ෂරතාව කියන්නේ ඉන් ඔබ්බට ගිය දෙයක්. මුදල් හා මූල්‍යමය සම්පත් කළමනාකරණය කර ගැනීම පිළිබඳ පුද්ගලයා තුළ තිබෙන දැනුම, කුසලතා සහ ආකල්ප සරල ලෙස මූල්‍ය සාක්ෂරතාව ලෙස හඳුන්වන්න පුළුවන්. දැනුම බොහෝ දෙනෙකුට තිබෙනවා. නමුත්, ආකල්ප හෝ කුසලතා තිබුණේ නැත්නම් මූල්‍ය සාක්ෂරතාවක් සම්පූර්ණ වන්නේ නැහැ. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ විවිධ මූල්‍ය වංචා තිබෙනවා. සමහර අවස්ථාවල මේ මූල්‍ය වංචාවලට පෙලඹෙන්නේ මුදල් පිළිබඳ දැනුම තිබෙන කෙනෙක්. විවිධ මූල්‍ය ක්‍රම සොයාගෙන තිබෙන්නේ හොඳින් මූල්‍ය දැනුම තිබෙන කෙනෙක්. නමුත්, ඔහුගේ ආකල්පමය වශයෙන් තිබෙන වැරදි නිසා ඔහු ඔහුගේ දැනුම නිවැරැදිව භාවිත කරන්නේ නැහැ. මූල්‍ය සාක්ෂරතාව කියන්නේ දැනුම පමණක් නොවෙයි. මූල්‍ය දැනුම හා කළමනාකරණය සම්බන්ධයෙන් තිබෙන කුසලතාව වගේම නිවැරැදි ආකල්පයත් කියන කාරණා තුනේ එකතුවක් මූල්‍ය සාක්ෂරතාව ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ වර්තමාන තත්ත්වය කෙබඳුද?

අපි දන්නවා ශ්‍රී ලංකාව සාක්ෂරතාව අතින් ඉතා ඉහළ රටක්. ශ්‍රී ලංකාවේ 93%ක විතර සාක්ෂරතාවක් තිබෙනවා. වර්ෂ 2014දී ශ්‍රී ලංකාවේ සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාවය 35%ක් වන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම 2021 වර්ෂයේ සිදු කර තිබෙන සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාවය 57% වන බව සඳහන් වෙනවා. නමුත්, එම ප්‍රතිශතයට වැඩි දායකත්වයක් දෙනු ලබන්නේ මුදල් පිළිබඳව දැනුම යන කාරණයයි. නමුත්, මුදල් පිළිබඳ කුසලතා හා ආකල්ප අතින් ගත්තාම මීට වඩා පහළ මට්ටමකයි අපි ඉන්නේ. සාක්ෂරතාවය අතින් ශ්‍රී ලාංකිකයන් ඉතා ඉහළ තැනක සිටියත්, මූල්‍ය සාක්ෂරතාව අතින් සාපේක්ෂව අප සිටින මට්ටම තවත් ඉහළ දැමිය යුතු බව මගේ විශ්වාසයයි, උදාහරණයක් විදිහට නොර්වේ රටේ මුල්‍ය සාක්ෂරතාවය 71%ක්.

ශ්‍රී ලංකාව වගේ රටකට මූල්‍ය සාක්ෂරතාව වැදගත් වන්නේ ඇයි ?

ඕනෑම රටකට මූල්‍ය සාක්ෂරතාව කියන එක වැදගත් කාරණයක්. ඕනෑම රටක ජීවත්වන ජනතාවට ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමේදි මූල්‍ය සාක්ෂරතාව ඉතා වැදගත් වෙනවා. ඔවුන් කුමන තරාතිරමක, කුමන රැකියාවක සිටියත් මේ මූල්‍ය සාක්ෂරතාව අවශ්‍ය වෙනවා. මූල්‍ය සාක්ෂරතාව ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් සඳහා අපට වැදගත්. අපේ මූල්‍යමය තත්ත්වය වර්ධනය කර ගැනීමට එසේත් නැත්නම් ධනවත් වීම සඳහා මූල්‍ය සාක්ෂරතාව වැදගත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ මුදල් තත්ත්වය ආරක්ෂා කර ගැනිමේදීත් මූල්‍ය සාක්ෂරතාව අවශ්‍යයි. අපි විසින් ඉතිරි කරගෙන තිබෙන මුදල් හා දේපළ ආරක්ෂා කර ගැනීමටත් මූල්‍ය සාක්ෂරතාව වැදගත්. ඇත්ත වශයෙන්ම අපි දකිනවා මෑත කාලයේදී අපේ තියෙන මුදල් සම්පත් විනාශ කර ගැනීමට විවිධ උපක්‍රම තිබෙනවා. ඒ නිසා තියෙන මූල්‍ය සම්පත් වර්ධනය කර ගැනීම, තියෙන සම්පත් ආරක්ෂා කර ගැනීමටත් අප සෑම සියලූ‍ දෙනාටම අවශ්‍ය වෙන දෙයක්.

අප විසින් මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කර ගත යුත්තේ කොහොම ද?

මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරගැනීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කර ගැනීමට පළමුවෙන්ම තමන් තුළ ආත්ම විශ්වාසයක් ගොඩනැඟෙන්න ඕනේ. තමාට මුදල් හා මූල්‍ය වත්කම් කළමනාකරණය කර ගන්න පුළුවන් කියන විශ්වාසය තමා තුළ ඇති කරගත යුතුයි. එයත් සමඟම තමාගේ සියලු ආදායම් වියදම් පිළිබඳ හොඳ දැනුමක් තමා තුළ ගොඩනැඟෙන්න ඕනේ. මේකට අපි සරලව කියනවා තමාගේ අය වැය සකස් කර ගන්නවා කියලා. තමාට මාසයකදී ලැබෙන ආදායම, තමාගේ එම මාසයේ වියදම් සම්බන්ධයෙන් තමාට හොඳ අවබෝධයක් තිබෙන්න ඕනේ. උදාහරණයක් විදිහට තමාගේම අය වැයක් සකස් කර ගන්න පුළුවන්. තමා සතු ඉතුරුම් ආයෝජනය කර තමාගේ මුදල් වත්කම් වැඩිකරගන්නේ කෙසේද යන්න දැන ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා අවශ්‍ය වන දැනුම, කුසලතා සහ ආකල්ප ලබා ගැනීම ඉතා වැදගත්. බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීමේ සිට, කොටස් වෙළෙඳපොළේ අායෝජනය කිරීම දක්වාත්, එමෙන්ම නුතන නව ප්‍රවණතා වන ඩිජිටල් මුදල්වල ආයෝජනය කිරීම වැනි නොයෙකුත් ආයෝජන අවස්ථා තියෙනවා. ඒ ඔස්සේ ලැබෙන දැනුම තුළින් අපිට අපේ මුදල් ආරක්ෂිතව තබා ගැනීමට හා වර්ධනය කර ගැනීමට හැකි වෙනවා. මෙම කාරණා තුළින් මූල්‍ය සාක්ෂරතාව ඕනෑම කෙනෙකුට ලබා ගැනීමට

හැකි වෙනවා.

වර්තමානයේ පවතින විවිධ මූල්‍ය වංචනික ක්‍රම, පිරමීඩ ක්‍රමවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

වර්තමානයේ අපි දකිනවා විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් ගැටලු මතු වෙලා තිබෙනවා. සාමාජීය වශයෙන් සහ ආර්ථිකමය අතින් අපේ රටේ මෙය විශාල ගැටලුවක්. ආරක්ෂාව ගැන කතා කිරීමේදී මෙම පිරමීඩ ක්‍රම මෙතරම් ප්‍රචලිත වී තිබීමට හේතුව කුමක්ද පිළිබඳ දැන ගත යුතුයි. ඕනෑම පිරමීඩ ක්‍රමයක් පිළිබඳ අවධානය යොමු කළාම ඔවුන්ට මිනිසුන් අතරට යන්න විවිධ ක්‍රම තිබෙනවා. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරන ප්‍රධානම දේ තමයි, මේක බොහොම ඉක්මනට මුදල් උපයන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් අපි පුරුදු වෙලා ඉන්නවා බොහොම ඉක්මනට විශාල ලාභ ලබා ගැනීමට. මේ දුර්වලතාව නිසාම මිනිසුන් අතරට මෙවැනි ක්‍රමෝපායන් ඉතා ඉක්මණින් ගමන් කරනවා. පළමුවෙන්ම අපි තේරුම් ගත යුතුයි ඉතා වෙහෙස මහන්සි වී ක්‍රමානුකූලව මුදල් උපයන්න අපේ අදහසක් තිබෙනවා නම්, මෙවැනි ක්‍රම පසුපස යන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මේ පිරමීඩ ක්‍රම ජනතාව අතරට යන්නේ විවිධ ක්‍රමවලින්. උදාහරණයක් විදිහට ඉක්මණින් සල්ලි හම්බ කර ගැනීමේ ආශාව නිසා සමාජ මාධ්‍යවලින් සහ විවිධ අන්තර්ජාල ක්‍රම ඔස්සේ විස්තර ලබා ගන්නවා. බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් නිවැරැදි විස්තර නොදන්නා නිසා මෙවැනි පිරමීඩ ජාවාරම් සඳහා හසුවෙනවා.

විවිධ පිරමීඩ යෝජනා ක්‍රම ඇති අතර වඩා ප්‍රචලිත වී ඇත්තේ භාණ්ඩ අලෙවිය මත පදනම් වූ පිරමීඩයි. මෙහිදී යම්කිසි භාණ්ඩයක් එහි සාමාන්‍ය වටිනාකමට වඩා ඉතා වැඩි අගයකට මිල දී ගෙන එම ක්‍රියාවලිය තුළට තවත් පුද්ගලයින් හඳුන්වා දීම සඳහා පොලඹවනු ලබයි. එම හඳුන්වාදීම් සඳහා මුල් සාමාජිකයාට යම් කිසි සැලකිය යුතු මුදලක් ගෙවනවා. මෙම භාණ්ඩ මිල දී ගන්න පිරමීඩය තුළට සාමාජිකයන් එකතු වෙන තරමට මුල් සාමාජිකයන්ට ලැබෙන ප්‍රතිලාභ වර්ධනය වෙනවා. අවසානයේදී එකතු වීමට තවත් සාමාජිකයන් නොමැති කමින් මෙම පීරමීඩ ක්‍රම අනිවාර්යයෙන්ම කඩා වැටීමකට ලක්වෙනවා.

එම නිසා මෙවැනි ක්‍රමවල ආයෝජනය කිරීමට ගොස් අප විසින් ආයෝජන කරන මුදල් ඉතා කෙටි කාලයකින් නැති වෙන්න පුළුවන්. මෙවැනි තැන්වල මුදල් ආයෝජනය කිරීමට පෙර ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මෙවැනි වංචනික ක්‍රම ජනතාව අතරට යන්නේ ඔවුන්ගේ ළඟම යාළුවන්ගෙන් සහ සමාජ මාධ්‍ය හරහා. බොහෝවිට මෙම පිරමීඩ තුළට මිනිසුන්ව ඇද ගැනීම සඳහා ජාවාරම්කරුවන් විසින් “ජාලගත විකුණුම්කරණය (Network marketing) යන යෙදුම භාවිත කරනු ලබයි. නමුත් “ජාලගත විකුණුම්කරණය (Network marketing) යන්න මිට වඩා වෙනස් ක්‍රමවේදයක්. මෙවැනි පිරමීඩ ජාවාරම්වලට පොලඹවා ගැනීමේදි විවිධ ආකර්ෂණීය කතාවලින් ජනතාව මුළා කරනවා. මේ පිළිබඳ නොදන්නා කෙනා ඒ කතාවලට රැවටී මෙවැනි වංචනික ක්‍රමවලට ආයෝජනය කරනවා. බොහොමයක් මෙවැනි ආයතන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නැති ආයතනයි. මෙවැනි ආයතන කිසිවක් ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූලව ලියාපදිංචි කරන්න බැහැ.

අපේ රටේ මූල්‍ය වංචා සහ පිරමීඩ ක්‍රමවලට ක්‍රියාත්මක වන නීති ප්‍රමාණවත් ද?

වර්තමානය දෙස අවධානය යොමු කළාම ශ්‍රී ලංකා මහා බැංකුවේ 2006-2007 මූල්‍ය විශුද්ධිකරණය පනත යටතේ මෙවැනි කිසිම ආයතනයකට ලියාපදිංචි කිරීමට හෝ ව්‍යාපාර පවත්වාගෙන යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එසේම 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ක්) වගන්තියේ දක්වා ඇති පරිදි පිරමීඩ යෝජනා ක්‍රම ශ්‍රී ලංකාව තුළ තහනම්. මා දකින ආකාරයට මොන තරම් නීති තිබුණත් එම නීතිවලින් රිංගා යාමට අවස්ථාව තියෙනවා. එමෙන්ම එම නීති රීති ක්‍රියාත්මක කිරීමේ ගැටලුත් පවතිනවා. විශේෂයෙන්ම නඩු විභාග කිරීමට ඉතා දිගු කාලයක් ගන්නා නිසා චුදිතයන්ට පැන යාමේ අවස්ථාව ලැබී තිබෙනවා. නීති රීති කොතරම් තිබුණත් මෙතැනදී වැදගත් වන්නේ මේවාට යොමුවන අයගේ දැනුම්වත් බවයි. අප තුළ ඒ දැනුම්වත්භාවය තිබෙනවා නම් අපිට පුළුවන් මේවායින් ආරක්ෂා වෙන්න. මේ නිසා මූලික වශයෙන් අප කළ යුත්තේ මෙවැනි ක්‍රමවලට යොමු නොවීමයි. මෙවැනි වංචා සම්බන්ධයෙන් නව නීති ගෙන එනවා නම් ඇත්තටම හොඳයි. එමඟින් ජනතාවට මෙවැනි ජාවාරම්වලින් ආරක්ෂා වීමට හැකි වෙනවා. මම දකින ආකාරයට මේ පිරමීඩ ක්‍රමවලට සම්බන්ධ වෙන්නේ මේවා ගැන දැනුමක් නැති පිරිස්. ඔවුන් දැනුම්වත් කිරීම තුළින් මෙම ගැටලුව අවම කර ගන්න පුළුවන්.

මූල්‍ය වංචාවකට හසු වූ අයකු ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ කෙසේද? ඔවුන්ට ඇති නීතිමය රැකවරණය කෙබඳු ද?

ඇත්තටම නීතිය පැත්තෙන් ගත්තාම මෙවැනි ජාවාරමකට හසු වුණාම නීතියෙන් කිසිදු පිළිසරණක් නැහැ. පිරමීඩ යෝජනා ක්‍රමයන්හි දැනුවත්ව හෝ නොදැනුවත්ව ආයෝජනය කරනු ලබන ඕනෑම පුද්ගලයෙක් නීතිය ඉදිරියේ වරදකරුවෙකු ලෙස පිළිගැනේ. එම නිසා කළ යුතු එකම දේ පිරමීඩ හා මූල්‍ය වංචනික ක්‍රමවල මුදල් යෙදවීමෙන් වැළකි සිටීමයි. මේවා නීත්‍යනුකූල නොවන නිසාම එයින් සිදු වන අසාධාරණයකදී නීතියේ පිළිසරණක් ලැබෙන්නේ නැහැ. මූල්‍ය වංචාවකට හසු වුණොත් සාමාන්‍යයෙන් ඒ සම්බන්ධව ළඟම තිබෙන පොලිසියේ පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒ හරහා විමර්ශනය කරලා නීතිමය වශයෙන් එවැනි පුද්ගලයන් හසු කර ගන්න පුළුවන්. නමුත් මෙවැනි ක්‍රියාමාර්ගවලට යොමු වෙන්නේ ප්‍රශ්නය ගොඩක් පැතිරුණු අවස්ථාවකයි. මේවාට යොමු කිරීමට පෙලඹ වූ කිසිවෙක් ඒ අවස්ථාවල නැහැ. ඒ අවස්ථාවල ඇත්තටම ප්‍රමාද වැඩියි. ෙම්වා විමර්ශනය කරන අවස්ථාවලදී ද ඔවුන් හසු කර ගැනීමට බොහෝ අවස්ථාවල නොහැකි වෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කරනවා හැරෙන්න අපිට නැවත මූල්‍ය ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියන තහවුරු කිරීමක් කවුරුන් හෝ කරන්නේ නැහැ.

එබැවින් පිරමීඩ යෝජනා ක්‍රමවලට එරෙහිව සටන් කිරීම සඳහා සමාජයේ සෑම අංශයකින්ම සාමූහික උත්සාහයක් අවශ්‍යයි. නීතිමය රාමුව ශක්තිමත් කිරීම මඟින් පිරමීඩ යෝජනා ක්‍රමවල නියැළෙන පුද්ගලයන්ට සහ ආයතනවලට කඩිනමින් නඩු පැවරීමට සහ දඬුවම් කිරීමට කැප වූ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සිදු විය යුතුයි.

තවද වින්දිතයින්ට ඉක්මන් යුක්තිය සහතික කිරීම සහ අපරාධකරුවන් අධෛර්යවත් කිරීම සඳහා පිරමීඩ යෝජනා ක්‍රම හා සම්බන්ධ නඩු කඩිනම් කිරීම අවශ්‍යයි. එමෙන්ම පිරමීඩ යෝජනා ක්‍රම හඳුනා ගැනීම සහ ඒවාට මුහුණ දීම සඳහා ලෝක ව්‍යාප්ත මූල්‍ය නියාමන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකියි. එම සියලු‍ කාරණා සමඟම පිරමීඩ යෝජනා ක්‍රම සහ ආයෝජනයේ ඇති විය හැකි අවදානම් පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම සඳහා ජන මාධ්‍ය සම්බන්ධ කර ගනිමින් පුළුල් දැනුම්වත් කිරීමේ ව්‍යාපාර දියත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එමෙන්ම මෙම දැනුම්වත් කිරීම් නොසලකා නොහැර සිටීමේ වගකීමක් මහජතාවට ද තියෙනවා.

රුවන් පුෂ්පකුමාර සන්නිවේදන හා මාධ්‍ය ඒකකය කැලණිය විශ්වවිද්‍යාලය 

Social Sharing
අවකාශය ආර්ථික නවතම පුවත්