මෙරට 45%ක් විශාල ධනයක් ඉපැයූවත් ඔවුන් තඹ සතයක්වත් බදු ලෙස ගෙවන්නේ නෑ!

මෙරට සියයට හතළිස් පහක් පමණ විශාල ධනයක් උපයාගත්තද, ඔවුන් බදු ලෙස තඹ සතයක් නොගෙවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ එක්සත් ජනරජ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් ජනරජ සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“සියලු දෙනා බදු ජාලයට එකතු කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් ක්‍රමවේදයක් සකස් කරනවා. ඊට හැඳුනුම්පත් අංකය යටතේ රජයේ ආයතන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව, ප්‍රවාහන ඇතුළු ආයතන විසිතුනක් එක දත්ත වේදිකාවකට ගන්නවා.

ඉන් පසු කිසි කෙනකුට ආදායම් හංගන්න, හොරෙන් වාහන ගේන්න, හොරෙන් ගෙවල් ගන්න, හොරෙන් දේපොළ අයිති කරගන්න, හොරෙන් විදේශ දේපොළ අයිති කරගන්න, තමන්ගේ ධනය හෙළි නොකර කටයුතු කිරීමට හැකි වෙන්නේ නෑ.

අද ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවන්නේ අපේ කැමැත්ත මත. නමුත් අපි ගේනවා ක්‍රමයක් ඒ තනි අංකය මත තමන්ගේ දේපොළ හරියට හඳුනාගෙන ඒ සියලු දෙනාගේම ආදායම මත ඒ ගොල්ලෝ බදු ගෙවන ක්‍රමයක් අපි වසරක් ඇතුළත ගේනවා කියන එක අපි කියනවා විතරක් නෙවෙයි, 50%කින් රටේ ආදායම වැඩි කරලා පෙන්නනවා. පාර්ලිමේන්තු කමිටුවේ අපි අර වගේ එකක් කරලා පෙන්නුවා නම් අපට බලයක් දුන්නොත් කොයි විදිහට ක්‍රියා කරයිද කියලා ඔබතුමාලට හිතාගන්න පුළුවන්.”

නුවන් කොඩිකාර

Social Sharing
ආර්ථික නවතම පුවත්