දූෂණ-වංචාවලට වර­ද­ක­රු­වන් වන මන්ත්‍රීන් නෙරපන මැති­සභා ප්‍රමිති අධිකාරියක් එයි!

බරපතළ විෂමාචාර චෝදනාවලට වරදකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ධුරයෙන් නෙරපා හැරීමේ බලතල, යෝජිත ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියට හිමි වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ‘දිනමිණ‘ට ඊයේ (29) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි මහජන විශ්වාසය ඇති කරලීම, වගවීම සහ වෘත්තියභාවය සහතික කිරීම සඳහා චර්යා ධර්ම සංග්‍රහයක් සම්පාදනය කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව මෙම අධිකාරිය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කථානායකවරයාගේ සහ පක්ෂ නායකයන්ගේ අදහස් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහත්වරු ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 24 දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

අර්ධ අධිකරණ බලතල සහිත මෙම අධිකාරිය විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් පත් කෙරෙන අතර එ සඳහා කිසිදු දේශපාලනඥයකු පත් නොකෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට දූෂණ, වංචා සහ සොරකම් සම්බන්ධයෙන් වරදකරුවන් වන මන්ත්‍රීවරුන්ට දෙන දඬුවම් පැනවීම සඳහා නීතියක් නොමැති බවත් එවැනි අවස්ථාවක ලැබෙනුයේ සති දෙක තුනක පාර්ලිමේන්තු රැස්වීම් තහනමක් පමණක් බවත් අමාත්‍යවරයා කීය.

මේ අධිකාරිය පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නායකයන්ගේ අදහස් ලබා ගන්නා බව කී අමාත්‍යවරයා මෙම නව පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් සැමටම දැන ගත හැකි වන සේ ලේඛනයක් සකස් කෙරෙන බවත් ඒ සම්බන්ධ කිසියම් නොගැළපීමක් ඇති අවස්ථාවක මන්ත්‍රීවරුන් අදාළ තොරතුරු ප්‍රකාශයට පත්කළ යුතු බවත් ඇමැතිවරයා පැවැසීය.

දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතී කෙටුම්පත් අංශය විසින් නව අධිකාරිය පිහිටුවීම සඳහා වන කෙටුම්පත සකස් කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.

නව අධිකාරිය පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක්ද පත් කර තිබේ.

මෙම අධිකාරිය මඟින් මන්ත්‍රීවරුන්ගේ වේතන, දීමනා සහ පහසුකම් තීරණය කිරීම සහ සමාලෝචනය කිරීම, මන්ත්‍රීවරුන් සඳහා චර්යාධර්ම සංග්‍රහය ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම, පාර්ලි‌මේන්තු අනුමැතියට යටත්ව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් කරන ලද පරීක්ෂණයකින් පසු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු වගකීම් සහ කාර්යභාරයන් පැවරෙනු ඇත.

Social Sharing
නවතම පුවත්