අනුර – ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් හමුවක්

 

එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් (Julie Chung) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අතර හමුවක් 19 වැනිදා ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා එ.ජ. තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව් හින්සන් (Matthew Hinson) සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් (Nazreen Marikkar) යන මහත්ම මහත්මීහු ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියහ.

මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම හේතුවෙන් සිදු වෙමින් පවතින ව්‍යසනය වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් මැදිහත්වීමේ අවශ්‍යතාව ජාතික ජන බලවේගය විසින් එ.ජ. තානාපතිවරියගේ අවධානයට ලක් කරන ලදී.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව විඳිමින් සිටින ආර්ථික දුෂ්කරතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් හමුවේ තීව්‍ර වී තිබීම පිළිබඳව ජාතික ජන බලවේගය කරුණු දක්වා සිටි අතර එක්සත් ජනපදය වසරක කාලයක් තුළ ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලෙස ඩො. මි. 278ක් ප්‍රදානය කර තිබෙන බව තානාපතිවරිය සඳහන් කළාය.

ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කිරීමට උත්සාහ ගන්නා බව මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයන් විසින් සඳහන් කර ඇත. පළාත් පාලන මැතිවරණය කල්දැමීම, පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම මෙන්ම එළඹෙන ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට ද ආණ්ඩුව උත්සාහ කරන්නේ යැයි ජාතික ජන බලවේගයේ නියෝජිතයන් විසින් තානාපතිවරිය කියා ඇත.

එළඹෙන 26 වැනිදා ඇරඹෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් ජනපද සංචාරයට සුබපැතීමට ද තානාපතිනිය මෙහිදී කටයුතු කර ඇත.

Social Sharing
නවතම පුවත්