ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 45න් – ශිෂ්‍යත්වයේ පිළිතුරු ඇගයීම් 26දා සිට දින 6කින්!

පහ වසර ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුකාරි තත්ත්වයකින් තොරව ඊයේ (15) සාර්ථිකව අවසන් වූ බවත් විභාග ප්‍රතිඵල දින හතළිස් පහක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව කීවේය.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගැයීමේ කටයුතු මෙම 26 දා සිට ආරම්භ කරන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ‘දිනමිණ‘ට ඊයේ (15) පැවසීය.

මේ මස 31 වැනිදා දක්වා දින 6ක් පුරා ඇගැයීම් කටයුතු සිදු කර දින 45ක් වැනි කාලයක් තුළදී ප්‍රතිඵල නිකුත් කළ හැකි බව ද ඒ මහතා පැවසුවේය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සියලුම පිළිතුරු පත්‍ර අද (16) උදෑසන වන විට රට පුරා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත යැයිද හෙතෙම පැවැසීය.

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 11ක් ශිෂ්‍යත්ව විභාගය සඳහා ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයට යොමු කළ බවත් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 4කට රෝහලේ විභාග මධ්‍යස්ථානයක් පිහිට වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 3ක් රෝහල⁣ට ළඟම විභාග මධ්‍යස්ථානය වූ බොරැල්ල කන්නන්ගර විද්‍යාලයටත්, මාතර මහ රෝහලේ සහ සමූපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 2ක් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටත්, නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ දරුවෙක් නිකවැරටිය ජයන්ති විද්‍යාලයටත්, රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙක් කඩවත ධර්මදර්ශි විද්‍යාලයටත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා යොමු කළ බව ද ඒ මහතා කීය.

දකුණේ ආපදා තත්ත්වය නිසා ආපදා කළමනාකරණ අංශ, හමුදා, පොලිස් ඇතුළු කණ්ඩායම් සමඟ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර සිසු සිසුවියන්ට විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට පහසුකම් සලසා දුන් බවත්, මාලිම්බඩ සුමේධ විද්‍යාලයේ යම් ප්‍රවාහන ගැටලුවක් පැවැතියත් ඊට ද කඩිනමින් සැලසුමක් සකස් කර ඒකාබද්ධ වැඩපිළිවෙළක් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

පවතින කාලගුණ තත්ත්වය යටතේ දකුණු පළාතේ ආපදා තත්ත්වයක් පැවැතිය ද, සියලුම දරුවන්ට විභාගය සඳහා අවස්ථාව සලසාදීමට ඇප කැපවී කටයුතු කළ පළාතේ සියලු නිලධාරීන්ට විශේෂ ස්තුතිය පුද කරන බවත් ඊට අමතරව විභාගය සාර්ථක පවත්වා ගැනීමට පහසුකම් සලසා දුන් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ද, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යාපන නිලධාරීන්ට ද, පාසල්වල සියලුම ගුරු මහත්ම මහත්මීන්ටද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ට ද ස්තුතිය පුද කරන බවත් හෙතෙම පැවසීය.

සන්ධ්‍යා කරුණාරත්න, සුභාෂිණී සේනානායක

Social Sharing
නවතම පුවත්