ශ්‍රී ලංකා යුද්ධයේ සත්‍ය තත්ත්වය පෙන්වීමට නව වාර්තාවක්!

ශ්‍රී ලංකාවේ පවතින ගැටුමේ සැබෑ තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාව ළඟදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික නිරීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

ජිනීවාහි පැවැත්වෙන සෑම මානව හිමිකම් සමුළුවකදීම ශ්‍රී ලංකා හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ල වන බවත් එම මතය නිවැරදි කර යුද්ධයේ සැබෑ තත්ත්වය පෙන්වීමට වාර්තාව සකස් කළ බවත් වීරසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බ්‍රහස්පතින්දා (ඔක් 12) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාතික ආරක්‍ෂාව ජාතියකට ඉමහත් වැදගත්කමක් ඇති බව ප්‍රකාශ කළ වීරසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ පුරවැසියන්ට බියෙන් හා අවිනිශ්චිතතාවයෙන් තොරව තම ජීවිතය ගත කළ හැකි පරිසරයක් ගොඩනැංවීම අත්‍යවශ්‍ය බවයි.

“එපමනක් නොව, ශක්තිමත් ජාතික ආරක්ෂක රාමුවක් සහතික කිරීම ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ. ජාතික ආරක්‍ෂාව භෞතික ආරක්‍ෂාව පමණක්‌ නොව ආර්ථික ස්‌ථාවරත්වය, ආහාර ආරක්‍ෂාව, පාරිසරික ආරක්‍ෂාව සහ පුද්ගලික යහපැවැත්ම ද ඇතුළත් වේ,” ඔහු පැවසීය.

තිස් වසරක යුද්ධයේදී මියගිය සංඛ්‍යාව 29,000 ඉක්මවමින් පසුගිය දශකය තුළ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 27,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද වීරසේකර මන්ත්‍රීවරයා අනාවරණය කළේය. “කණගාටුදායක ලෙස, මාර්ග අනතුරු අපේ රටේ දුක්ඛිත ලෙස සුලභ වී ඇත,” ඔහු පැවසීය.

මන්ත්‍රීවරයාට අනුව, ඊට අමතරව, මත්ද්‍රව්‍ය ව්‍යසනය අපගේ ජාතික ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් වන අතර, “බලශක්ති සහ මහජන සෞඛ්‍යය ද ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය පථයට අයත් වේ. ත්‍රස්තවාදය, අන්තවාදය, මත්ද්‍රව්‍ය වසංගතය, පාතාල ක්‍රියාකාරකම් සියලු ජාතීන් මුහුණ දෙන අභියෝග. කෙසේ වෙතත්, පුරවැසියන්ගේ ජීවිතවලට බාධාවක් නොවන අයුරින් මෙම ගැටලුවලට විසඳුම් ලබාදීම රජයේ පරම යුතුකමයි.”

වීරසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ කමිටුවක් ලෙස ඔවුන්ගේ කැපවූ උත්සාහය අපගේ ජාතියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වඩාත්ම සැලකිය යුතු දායකත්වයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.

“බෙදුම්වාදයේ මුල් බැසගත් ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයෙන් පැන නගින අන්තවාදය අපි භෞතික තර්ජන ලෙස වර්ග කරනවා. තවද ජිනීවාහි පැවැත්වෙන සෑම මානව හිමිකම් සැසිවාරයකදීම අපේ රටේ යුද අපරාධ චෝදනා විවිධ ආකාරයෙන් මතු විය. අපි මේ චෝදනා බරපතළ ලෙස සලකා ඒ අනුව කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නොවන සන්නද්ධ ගැටුමකට මුහුණ දුන් බව තේරුම් ගැනීම ඉතා වැදගත්ය. එබැවින්, අපගේ කමිටුව අපගේ දේශසීමා තුළ ගැටුමේ ස්වභාවය පැහැදිලි කරමින් වාර්තාවක් සම්පාදනය කර ඇත.

“අපගේ ප්‍රමුඛතම අරමුණ වන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අපගේ වර්තමාන තත්ත්වය නිවැරදිව නිරූපණය කර ඉදිරිපත් කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික නිරීක්ෂණ කමිටුව ඉතා සූක්ෂ්ම ලෙස සකස් කළ විශේෂ වාර්තාව ඉදිරි දිනකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතයි.

මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ ගැටුමට සම්බන්ධ සැබෑ තත්ත්වයන් සවිස්තරාත්මකව ගෙනහැර දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය.

Social Sharing
නවතම පුවත්