ඉංජිනේරු සංස්ථාව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකයන්ගේ වන්දි නොගෙවා ස්ථාවර තැන්පතු පොළියෙන් ඉතිරි සේවකයන්ට වැටුප් ගෙවනවා…

රු. ලක්ෂ 12, 18 සහ 25 බැගින් වන්දි ලබාදීමේ පොරොන්දුව පිට 2023 අගෝස්තු 31 දින සිට ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 1,238ට නියමිත වන්දි තවමත් ගෙවා නොමැති බව සේවකයෝ පවසති.

2016/02 චක්‍රලේඛනයට අනුව සේවයෙන් ඉවත් වූ මෙම සේවකයන්ගේ වන්දි මුදල් 2023 සැප්තැම්බර් මාසයේ ගෙවනු ලබන බව පොරොන්දු වී තිබිණි.

වන්දි සහ මාස 34ක හිඟ සේවක අර්ථ සාධක අරමුදල් දායකත්ව ගාස්තු ආදී ගෙවීම් වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. බිලියන 3.9ක මුදලක් ලබාදී තිබෙන මුත්, ආයතනය එම මුදල් ස්ථාවර තැන්පතුවල දමමින් ලාභ ලබමින්, සේවක වන්දි ගෙවීම හිතාමතා පමා කරන බව ඉවත්ව ගිය සේවකයෝ චෝදනා කරති. ස්ථාවර තැන්පතු පොළියෙන් ඉංජිනේරු සංස්ථාව ප්‍රතිව්‍යූහගතකරණය අතරතුර ඉතිරි සේවක පිරිසගේ වැටුප් ගෙවීමට කටයුතු කරමින් තිබිය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ දක්වා ආයතනය විසින් සේවක කණ්ඩායම් වශයෙන් ගෙවමින් සිටිනුයේ අඩු මුදලක් වන විශ්‍රාම පාරිතෝෂික දීමනා පමණක් බව ද සේවකයෝ චෝදනා කරති.

මේ පිළිබඳ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කලුපහන මහතාගෙන් දුරකථනයෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ ලේඛන කටයුතු කිරීම සඳහා සිටි සේවකයන් ද ඉවත් වී ගොස් තිබෙන හෙයින් එම කටයුතු සිදුකිරීම ප්‍රමාද වී තිබෙන බවයි. කෙසේ වෙතත්, අවශ්‍ය සේවාවන් ලබාගෙන සේවක වන්දි කණ්ඩායම් වශයෙන් ඉක්මනින් ගෙවා අවසන් කරන බව ද ඔහු පැවසීය.

දැනට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 500ක් පමණ ඉතිරිව සිටින බව ද සභාපතිවරයා පැවසීය.

රාජ්‍ය ආයතනවල සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේදී මේ අන්දමින් වන්දි පමා වීම සේවකයන් අධෛර්ය වීමට හේතු විය හැකි බව සේවකයෝ පෙන්වා දෙති.

Social Sharing
නවතම පුවත්