රම්සි රාසීක් නිදහස්!

අවුරුදු තුනකට පස්සේ සාක්ෂි නැති බව කියමින් රම්සි රාසීක් නිදහස් කර ඇත. මෙය සිදු වන්නේ තවත් මෙවැනිම තරුණයන් සියදහස් ගණනක් නිකරුණේ වධහිංසාවට ලක් කරන්නට, අලුත් ත්රස්ත විරෝධී පනතක් හා අන්තර්ජාල මර්දන පනතක් ගෙන එන්නට සැරසෙන මොහොතේය.
රම්සි හිරේ ගියේ කතා කළා කියාය. හරියටම කීවොත් ෆේස්බුක් පෝස්ට් එකකටය. එකම දේ රම්සිව හිරේ දමන්නට හේතුව වුණේ ඔහුගේ ජාතියය. ඔහු මුස්ලිම් වීමය. ඔහු ‘ චින්තන යුද්ධයක්’ යන වචන දෙක පෝස්ට් එකක යෙදීම ඔහු අපරාධකාරයෙකු කරන්නට ප්රමාණවත් විය. රම්සි මා වාගේම තරුණයෙකි. ඔය සටහන මා ලීවා නම් කිසි ප්රශ්නයක් නැත.
ගැටලුව රම්සි වසර තුනක් තිස්සේ වින්ද වධහිංසාවලට කිසිම වන්දියක් නැත. Oops I did it again කියා රාජ්යයට පළා යා හැක.
රම්සිට වධ දුන්නේ ICCPR පාවිච්චි කරමින් සීඅයිඩීයයි. ඔය පනත ජාත්යන්තර සම්මුති පනතක් වන නිසා අවභාවිතය ලෙහෙසි නැත. ලෝකෙට උත්තර දෙන්නට සිදු වේ. දැන්, මෙලෙස තරුණයන්ට වධ දෙන්නට වෙනම කොමිසමකුයි, වෙනම නීතියකුයි හදන්නට සැරසෙයි. ලෙහෙසියෙන් වධ දෙන්නට එය පාවිච්චි කරනු ඇත.
එකම දේ, අද මේ මොහොතේ ඒ පනත පරදවන්නට ප්රමාණවත් කාලයක් ඇත. ඔබ සූදානම්ද යන පැනය පමණක් ඇත.
නිදහස් වෙමින් රම්සි ලියූ සටහන පහතින්.
“ජීවිතයේ තවත් පරිච්ඡේදයක් එසේ අවසන් විය.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මට එරෙහිව පවරා තිබූ නඩුවෙන් කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඊයේ මාව නිදහස් කලේය. නීතිපතිවරයා පැවරූ නඩුව අවුරුදු 3 ක් තිස්සේ විභාග කළ අධිකරණය, මට එරෙහිව සිදුකරන ලද චෝදනාවලට කිසිදු සාක්ෂියක් සොයාගැනීමට නොහැකි නිසා මාව නිදහස් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටි බැවින් උක්ත නඩුවෙන් මා නිදහස් කරන බවට කොලඹ මහේස්ත්රාත් අධිකරණය ඊයේ ප්රකාශ කළේය.
මගේ නඩුව සඳහා කිසිදු ප්රතිලාභයක් බලාපොරොත්තු නොවී මා වෙනුවෙන් පෙනී සිටි පා.ම. ජනාධිපති නීතීඥ සුමන්තිරන් මහතාටත්, ඔහුගේ කනිෂ්ඨ නීතීඥ Delan de Silva මහතාටත්, අනෙකුත් කනිෂ්ඨ නීතීඥවරුන්ටත් මම බෙහෙවින් ණයගැතිය. ඔවුන් දිගින් දිගටම මා වෙනුවෙන් කැප වී සිටියහ. සැබෑ මනුෂ්යත්වය මම ඔවුන්ගෙන් හඳුනාගත්තෙමි.
මා අත්අඩංගුවට පත් මොහොතේ සිට මා සමඟ සිටගනිමින් මා වෙනුවෙන් හදවතින් සාක්ෂි සැපයූ මගේ මිතුරන් මේ අවස්ථාවේ මට සිහි වේ.
මගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ මට ලබා දුන් ලොකුම ආශිර්වාදයක් ලෙස මම මගේ මිතුරන්ව දකිමි. ඒ පිරිසිදු මිත්රත්වයට මම මාගේ දෙවියන් ඉදිරියේ සැමදා සාක්ෂි දරමි. ඔවුන්ගේ ඒ නොකැලෙල් මිත්රත්වයේ මතකයන් මාගේ අවසන් හුස්ම දක්වාම මාගේ හදවතේ සදාකාලිකවම නොමැකී පවතිනු ඇත
– තරිඳු උඩුවරගෙදර
Social Sharing
අවකාශය නවතම පුවත්