රට බංකොලොත් බව නිවේදනය කිරීම පැහැදිලිවම කුමන්ත්‍රණයක් – කබ්රාල් පාර්ලිමේන්තු කාරක සභාවට ඇවිත් කියයි…

 

Photographer: Julia Schmalz/Bloomberg via Getty Images

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා රට බංකොලොත් බවට ප්‍රකාශ කිරීමට පෙර සැබෑ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා දැනුවත් නොකිරීම රටේ ආර්ථිකය සහමුලින්ම විනාශකිරීමක් යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සහභාගීවෙමින් පැවැසීය.

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබ්රාල් මහතා මෙසේද පැවැසීය.

2022 අප්‍රේල් 08 වැනිදා නව අධිපතිවරයෙක් සහ නව භාණ්ඩාගාර ලේකම්වරයෙක් පත්කළා. අප්‍රේල් 09, 10 රජයේ නිවාඩු දිනයන්. පත්කළ දෙදෙනාගේ පළමු රාජකාරිය තිබුණේ 12 වැනිදා. එදා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මුළු රටම කම්පාවට සහ විශ්මයට පත්කරමින් රට බංකොලොත් බවට මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළා. කිසිම කෙනෙකුට හොයන්න බලන්න ලෑස්තිවෙන්න කාලයක් තිබුණේ නැහැ. පොඩි කඩයකට වුණත් වෙන කෙනෙක් ඇවිත් කිව්වොත් ඔයා බංකොළොත් කියලා. නැහැ නැහැ මම බංකොලොත් නැහැ කොහොම හරි ණය ගෙවනවා කියනවා. මේ කාරණය සහ පසුබිම ගැන සොයා බැලීමේදී මෙය අහම්බෙන් වූ දෙයක් නොවන බවත් එය කාලයක සිට සංවිධානාත්මකව ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්කිරීමට සිදුකරන ලද කූට උපක්‍රමයක් ලෙසත් පෙනී යනවා.

මේ කණ්ඩායම ඉලක්ක කළේ 2022 ජනවාරි 18 වැනිදා පියවීමට තිබූ ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගැනයි. පළමු කාර්තුවේ ගෙවන්න තිබුණ සියලුම ණය ගෙවලයි තිබුණේ. මිලියන 500 නොගෙව්වොත් ඔක්කොම බැඳුම්කර නොගෙව්වා හා සමානයි කියලා තියෙනවා. ඒ තත්ත්වයට පත් වුණාම අපි බංකොලොත් කියලා ප්‍රකාශ වෙනවා. ඒ නිසා එය ටාගට් කරගෙන කිව්වා කියලා හිතෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා

ඒ නිසාද ඔබතුමාවයි මුදල් ඇමැතිතුමාවයි ඉවත් කළේ? ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමක්ද?

කබ්රාල් මහතා – අනිවාර්යයෙන් ඒක තමයි. අපි නිතරම කිව්වේ ණය ගෙවනවා කියලා. අප්‍රේල් 12 වැනිදා ප්‍රකාශ කරන්න පෙර පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා වෙත ගියා නම් විකල්ප නැද්ද කියලා ඒ අය අහනවා. එහෙම දෙයක් සිදුවුණේ නැහැ. මම නැතත් අපි ගාව ඉන්දියාවෙන් චීනයෙන් ලැබෙන්න නියමිතව තිබූ මුදල් සම්බන්ධයෙන් විස්තරයක් තිබුණා. ඒ ගැන මුදල් ඇමැතිවරයාත් දැනගෙන හිටියා. ඒ නිසා මේ ගැන සැක කළ හැක්කේ සැබෑ තත්ත්වය පිළිබඳව දැනුවත් නොකර දැන දැනම කිහිපදෙනෙකු එක්වී රටේ ආර්ථිකය සහමුලින්ම විනාශවන ලෙස විවිධ බලපෑම්, තර්ජන අනුව මෙය සිදුකර ඇති බවයි. මේක පැහැදිලි කුමන්ත්‍රණයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

අප්‍රේල් 12 වැනිදා චීනයට ගෙවන්න තිබුණේ ඩොලර් මිලියන 70යි. දෙසැම්බර් වෙනකම් එය ගෙවන්න අවස්ථාව තිබුණා. 2022 ගෙවන්න තිබුණේ සමස්ත ණය රුපියල් බිලියන හතයි දශම දෙකයි. (7.2) අප්‍රේල් වනවිට ඉන් ඩොලර් බිලියන තුනයි දශම දෙකක් (3.2) ගෙවලා තිබුණා. මෙවැනි තත්ත්වයක් තිබියදී කඩිමුඩියේ මුදල් ඇමැති ඉල්ලා අස්වෙනවා. මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙනවා. ඒ අතරේ විදෙස් රටක සිටි අධිපතිවරයෙක් රටට සැපත් වෙනවා. ඔහු රට බංකොලොත් කියලා ප්‍රකාශ කරනවා. ඒක ඔහුට අයිති නැති රාජකාරියක්. එය සිදුවී තිබෙනවා.

මේ කමිටුව විසින් සොයා බැලිය යුත්තේ මේ රට බංකොලොත් කියල නිවේදනය කරන අවස්ථාවේ එම ස්ථානවල සිටියේ කොයිවගේ පුද්ගලයන් ද කියලා. ඔවුන්ගේ දූ දරුවන් සුවිශේෂී ස්ථානවල ප්‍රතිලාභ ලැබුවද කියලා සොයා බැලිය යුතුයි. කිහිපදෙනෙකුගේ ඕනෑ එපාකම්වලට යටවෙලා ඩොලර් මිලියන 70 කට රට බංකොලොත් කීම සාධාරණයි කියලා මම හිතන්නේ නැහැ.

මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ඉන්න පුද්ගලයන් දෙස රජය ඉතාමත් කල්පනාවෙන් සොයා බැලිය යුතුව තිබෙනවා. රාජ්‍ය බුද්ධි අංශ ඒ ගැන සොයා බැලිය යුතුව තිබෙනවා. මහජන නියෝජිතයෝ 100කගේ පමණ ගෙවල් ගිනිබත් වුණා. එසේ වීමට ප්‍රධාන කාරණය අදාළ බලධාරීන් පාලනය නොකිරීමයි. බිලියන 7.2 කින් බිලියන 3.2 ක් ගෙවලා තිබියදී රට බංකොලොත් කියලා ප්‍රකාශ කළේ ලෝකයෙන් නෙවෙයි. ඒ නිවේදනය කළේ මහ බැංකුව මගිනුයි. මෙය ව්‍යවස්ථාවට අනුවත් එය උල්ලංඝනය කිරීමක් වෙනවා.

මෙහිදී අදහස් දක්වමින් කමිටුව හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ද කියා සිටියේ රට බංකොලොත්වීම ඒ අවස්ථාවේ ප්‍රකාශ නොකළ යුතුව තිබූ බවයි. මෙම අවස්ථාවට තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

චමින්ද සිල්වා

Social Sharing
නවතම පුවත්