Room 8

රූම් එයිට්. ඒක ටිකක් අමුතු නමක්.
නමුත් ලස්සන කතංදරයකට අමුතු නමක් දීමෙන් හානියක් වෙන්නෙ නෑ.
රූම් එයිට් උපදින්නෙ 1947 වගේ අවුරුද්දක ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේදී.
මේ හාදයාට මුල් කාලයේ අයිති කාරයෙක් හෝ අයිති කාරයෝ හිටියෙ නෑ.
තව විදිහකින් කීවොත් මේ පූසා වීදි පූසෙක්.

ලොස් ඇන්ජලීස් නගරයේ එලිසියන් හයිට්ස් කියන පාසැලට මේ හාදයා එන්න යන්න පටන් ගන්නෙ පාසැලේ ඉගෙන ගන්න ලොකු කුඩා කාගෙන්වත් එයාට කරදරයක් නොවෙන හින්දයි.
හොඳ පෙනුමක් තියන මේ පූස් තඩිය කාගෙත් සුරතලා බවට පත්වෙන්නෙ බොහොම ඉක්මනින්.

මේ පාසැලේත් අනිත් හැම පාසැලකම වගේ හැම පන්ති කාමරයකටම අංකයක් තියනව. අංක අට සහිත පංති කාමරය තමයි මේ බලල් තඩියගෙ ප්‍රියතම ස්ථානය වෙන්නෙ.
පන්තියේ උගන්වන්නෙ කවුද… ඉගෙන ගන්නෙ කවුද… උගන්වන විශය මොකද්ද… මේ හාදයාට ඒකෙ වගක් නෑ. කවුරු ඉගැන්නුවත් පන්ති කාමරයේ ඉස්සරහ මේසයේ එහෙමත් නැත්තං ගුරුවරයාගේ මේසයේ කැමති විදිහට දිගෑදිලා එයා විවේක ගන්නව.
ඒ අතරෙ තැනින් තැනට මාරු වෙන්න… පන්ති කාමරේ විතරක් නෙවේ ඉස්කෝලෙ වටෙත් රවුම් ගහන්න එයා පුරුදු වෙනව. කොහෙ ගියත් කැරකිලා නතර වෙන්නෙ පන්ති කාමර අංක අටේ නිසා එයාට නම වැටෙනව රූම් 8 විදිහට.
හැම අවුරුද්දකම ගිම්හාන කාලෙට ඉස්කෝලෙ නිවාඩු දෙනකොට රූම් එයිට් අතුරුදහන් වෙනව.
ගිම්හාන නිවාඩුවෙන් පස්සෙ පාසැල් පටන් ගනිද්දි රූම් එයිට් ආපහු ඉස්කෝලෙ එනව.
මේ හාදයාගෙ පිංතූර… විස්තර සහිත ලිපි මුලින් මුලින් ප්‍රාදේශීය පුවත් පත්වලත් ඉන් පස්සෙ නිව් යෝක් ටයිම්ස් වගේ පත්තර වලත් පල වෙන්න ගන්නව.
අපි මේ කතා කරන කාලෙ ඉන්ටර්නෙට් .. ෆේස්බුක්… ඉන්ස්ටග්‍රෑම් නැහැ. තිබුනා නම් එහෙම රූම් එයිට් මිලියන ගාණක් උපයන තරුවක් වෙනවට සැක නැහැ.

අවුරුද්දෙන් අවුරුද්ද පන්තියේ සිසුන් ඉහලට යනව… ගුරුවරු මාරු වෙනව. නමුත් රූම් එයිට් හැමදාම රූම් එයිට් එකේම නතර වෙනව.
මෙයාගෙ ප්‍රසිද්ධිය කොයි තරම්ද කියනව නම් සමහර දවස් වලට ලියුම් සීයක් විතර එනව රූම් එයිට්ගෙ නමට මුළු ඇමරිකා එක්සත් ජනපදය පුරාම ඉඳල.
අවුරුදු දෙක තුනක් නෙවේ අවුරුදු දාසයක් පුරාවටම රූම් එයිට් ඉස්කෝලෙ එනව.
පාසැලෙන් ඉවත් වෙලා ගිය ආදි ශිෂ්‍ ශිෂ්‍යාවන්… විශ්‍රාමික ගුරුවරු දුර ඈත ඉඳල එනව රූම් එයිට්ගෙ සැප දුක බලල පොඩි කයියක් ගහල යන්න.
කුඩා රසික සමාජ… මිත්‍ර සමාගම් බිහිවෙනව රූම් එයිට්ගෙ නමින්. හැම පාසැල් ශිෂ්‍යයෙක්ම රූම් එයිට් එක්ක පිංතූරයක් ගන්නව පාසැලෙන් සමුගන්න කලින්.
කොටින්ම රූම් එයිට් කියන්නෙ තරුවක්.

1968 අවුරුද්දෙ අහල පහල පූසොත් එක්ක රණ්ඩුවකර ගියපු මේ හාදයා තුවාල ලබනව විතරක් නෙවේ නියුමෝනියාව රෝගයට ගොදුරු වෙනව.
ඉහලම පහසුකම් සහිත පශු වෛද්‍ය රෝහලකට රූම් එයිට් ඇතුලත් කරද්දි ඒ රෝහලෙත් සේවය කරනව මේ පූස් තඩියගෙ මිත්‍රයො හෙවත් රසිකයො.
මොනව වුනත් වයසත් දුර්වල සෞඛ්‍ය තත්වයත් නිසා රූම් එයිට් මිය යන්නෙ වයස අවුරුදු විසි එකේදී.
ඇමරිකා එක්සත් ජනපදය පුරාම තියන විවිධ නගර වලින් මල් කලඹ.. ශෝක ප්‍රකාශ… කාඩ් පත් එලිසියන් හයිට්ස් පාසැලට ලැබෙනව.

ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත් පතේ පලවෙන රූම් එයිට්ගෙ කතංදරය හා මරණ දැන්වීම් ඒ දවස් වල පැවැත්වීමට නියමිතව තිබූ ඡ්න්ද ව්‍යාපාරය යටපත් කරමින් ජනප්‍රිය වෙනව.
හැමෝම කතා කරන්නෙ රූම් එයිට් ගැන මිස ඡන්දය ගැන නොවන නිසා මේ කාරණය දේශපාලකයන්ගේ උදහසටත් හේතු වෙනව.

ලොස් ඇන්ජලීස් නගරයේ සුරතල් සතුන් සඳහා වූ උද්‍යානයේ රූම් එයිට් මිහිදන් කරද්දි දාස් ගානක පිරිසක් ඒ අවස්ථාවට සහභාගි වෙනව විතරක් නෙවෙයි රූම් එයිට් වෙනුවෙන් සොහොන් කොතකුත් ඉදිවෙනව.
රූම් එයිට් පදනම හා අරමුදල මගින් වීදි පූසන්ට හා සුන්ඛයන්ට ආධාර උපකාර කිරීම අද දක්වාත් නොකඩවා සිද්ධ වෙනව.

ස්මග් ද කැට් නමින් තරුවක් වූ පූසෙක් ගැන අපි කතා කරා… ඉස්තාන්බුල් නගරයේ කාගෙත් හිතවතා වූ ටොම් බිලි ගැන අපි කතා කරා …. රූම් එයිට් කියන්නෙත් ඒ වගේ තරුවක් කවදාවත් අමතක නොවෙන.

රූම් එයිට් ගෙ කතාව බොහොම සරලයි. නමුත් ඒ මගින් අපිට කියල දෙනව මිනිස්සුත් සත්තුත් අතර තියන පුදුමාකාර සම්භන්ධය.
මිලියන ගනන් වියදම් කරන දේශපාලකයන්ට හෝ කලා කරුවන්ට නොලැබෙන ආදරය රූම් එයිට් වැනි සත්තු උත්සාහයක් නැතුවම ලබාගන්නව.
එලියන් හයිට්ස් පාසැලේ බිත්ති වල තවමත් රූම් එයිට්ගෙ පිංතූර විස්තර දකින්න තියෙද්දි පාසැලට එන හැම සිසුවෙකුටම රූම් එයිට් ගැන ගුරුවරු අදත් කියල දෙනව.
රූම් එයිට් එක්ක හිටපු බොහෝ දෙනෙක් අද අපි අතර නෑ… එයාව දන්න හඳුනන කවුරුත් අපි දන්නෙත් නෑ. නමුත් රූම් එයිට් අපෙත් මිත්‍රයෙක් වගේ අපිට දැනෙනව.
දේශපාලන විකාර… කල කෝලහාල.. යුද්ධ.. වංචාවන්ගෙන් පිරුනු ප්‍රවෘත්ති මැද රූම් එයිට් වගේ කෙනෙක් ගැන කියවන එකත් මානසික සහනයක් කියල මට හිතෙනව.

ලෝකය පුදුමාකාරයි… ඒ පුදුම දකින්න විඳින්න සූදානම් මිනිස්සුන්ට.

උපුටා ගැනීම – Malcom sang

Social Sharing
අවකාශය නවතම පුවත්