ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති මුණගැසෙයි…

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ. ෂා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය 02 වැනිදා සිදු වී ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එදින පැවැති ඉන්දියා පාකිස්තාන ක්‍රිකට් තරඟයට පෙර මෙම හමුවීම සිදුවී ඇත.

මෙම තරගාවලිය සඳහා මෙරටට පැමිණ සිටින ජේ. ෂා මහතාගේ ඉල්ලීම පරිදි මෙම හමුව සිදු වී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාද එම හමුවට සහභාගි වී ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් නංවාලීම සම්බන්ධයෙන් එහිදී වැඩිදුර සාකච්ඡා පවත්වා තිබෙන අතර නව ක්‍රීඩා නීතියක් මෙන්ම නව ක්‍රීඩා අධිකාරියක් සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා සිදු වී ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක අවශ්‍යතාවක් පවතින බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවධාරණය කර තිබේ.

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී තිබෙන දේශපාලන බලපෑම් පිළිබඳව ද ආසියානු ක්‍රිකට් සභාපතිවරයා ජනාධිපතිවරයා වෙත එහිදී කරුණු අවධාරණය කර තිබේ.

කුෂාන් සුබසිංහ

Social Sharing
නවතම පුවත්