රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී වංචා දූෂණ සිදුවෙනවා!

‘රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී රටේ මගඩියක් ක්‍රියාත්මක වනවා. වංචාවක් දූෂණයක් ක්‍රියාත්මක වෙනවා. මේ මගඩි අස්සේ හොරු මංකොල්ලකාරයෝ දූෂිතයෝ කෝටි ප්‍රකොටි ගණන් මුදල් උපයනවා.’ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘රටක් විදිහට බැලුවහම ලෝකයේ සෙසු දියුණු වන රටවල් හා සන්සන්දනය කරන කොට අපි ගොඩක් පිටිපස්සෙන් අපිට තියෙනවා ඉතාමත් සීඝ්‍රගාමී මානව සම්පත් සංවර්ධන , භෞතික සංවර්ධන ජාතික සංවර්ධන වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක කරන්න.

ආගමික සංවර්ධනයක් සමඟ සමගාමීව මේ කර්තව්‍ය ක්‍රියාත්මක වනවිට ලෝව දිනන ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුමට සැපයුම ලබාදෙන්න උගත්කම , බුද්ධිමත්කම , කුසලතාවය , නිපුණතාවය , දක්ෂතාවයෙන් හෙබි ශක්ති සම්පන්න ජව සම්පන්න තාරුණ්‍යයක් යොවුන් පරපුරක් පුරවැසි පරපුරක් ගමේ පන්සල ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන නිර්මාණය කිරීම අපේ අනාගත වැඩපිළිවෙලයි.

රටක් ලෙස අපි ඉතාම අවදානම් තත්ත්වයක සිටින්නේ. සෑම පැත්තකින්ම අපි අවදානමකට ලක්වෙලා. දේශපාලන පැත්තෙන්, ආරක්ෂක පැත්තෙන් , භූ දේශපාලනය පැත්තෙන් , සෞඛ්‍ය පැත්තෙන් , අධ්‍යාපන පැත්තෙන්, කෘෂිකාර්මික පැත්තෙන් , කාර්මික පැත්තෙන් මේ හැම අතකින්ම දැඩි අවදානමක අපි සිටින්නේ බංකොලොත් රටක් හැටියට.

මේ වගේ අවදානම් තත්ත්වයක් තිබෙන මොහොතක අපේ රට බලවතුන්ගේ කෙළි බිමක් බවට පත්වෙමින් තිබෙනවා. රට වෙන්දේසි ලන්තයක් වෙලා.බලවත් ගිජිලිහිනියන් තමන්ගේ කොටස තමන්ගේ පන්ගුව අපේ රටෙන් උදුරා ගන්නට මාන බලාගෙන සිටිනවා.

ජන වරමක් නැති රාජ්‍ය පාලනයක් තුළ නායකයින් අද අවදානම් තත්ත්වයක විතරක් නෙවෙයි අබලන් තත්ත්වයකට පත් වෙලා. ඇයි අබලන් වෙලා තියෙන්නේ ජනතා ශක්තියක් නෑ, මහජන වරමක් නෑ පොදුජන ආශිර්වාදයක් නෑ ඒ රටේ පැවැත්ම නෙවෙයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අපේ රට කෑලි කෑලි වලට වෙන් කරලා විවිධ බලවතුන්ට තුට්ටු දෙකට කුණු කොල්ලෙට විකුණා දමන වෙන්දේසි කරන පරිසරයක් අද නිර්මාණය වෙනමින් පවතිනවා.

වරමක් නැති ආණ්ඩුව බලන්නේ වරමක් නැති ජනාධිපතිවරයා බලන්නේ රටේ පැවැත්මවත් ජනතාවගේ පැවැත්මවත් නොවෙයි ඒ අය බලන්නේ තමන්ගේ පැවැත්ම තමන්ගේ පැවැත්ම ගැන හිතන නිසා තමවි අද ප්‍රජාතන්ත්‍රවාදය සුනු විසුනු කරලා කුඩු පට්ටම් කරලා ජනතා අයිතිය කෙලෙසලා ජනතා වරමකට යන්නේ නැතුව තමන්ගේ පුද්ගලික ගජ මිතුරුන්ගේ වරම ගජ මිතුරු ධනවාදීන්ගේ වරම ගජමිතුරු ව්‍යාපාරික කල්ලි වල වරමක් පමණක් ඔලුව උඩ තියාගෙන මේ අය රට කෑලි කැලි වලට කඩලා අහවල් රටට මේ භූමි බාගය , මේ රටට මේ භූමි භාගය මේ බහුජාතික සමාගමට මේ ව්‍යාපාරය තමන්ට හිතු හිතු ආකාරයට මේ රටේ වටිනා සම්පත් ජනතා සම්පත් පොදු ජනතාවගේ කුණු කොල්ලයට විකුණන කුණුකොල්ලයට අලෙවි කරන රටේ ආත්මයත් ආත්ම ගරුත්වයත් පෞරුෂත්වයත් අපේ අභිමානයත් වෙන්දේසි කරන මහා පරාජිත යුගයකයි අද අපි සිටින්නේ.

අද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිලා නිර්වින්ද ඖෂධ නැතුව ශෛල්‍යකර්ම නතර වෙලා වෛද්‍යවරුන් දහසකට වැඩි ප්‍රමාණයක් රට අතහැර ගිහිල්ලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන 650 ක් ලියාපදිංචි වී තිබෙන මොහොතක වාහන තිබෙන්නේ 306 යි වාහන 344 ක් හොරාකාලා ආගිය අතක් නෑ .

මේ රටේ දිස්ත්‍රික්ක 18 ක පවුල් 81,000 කට වැඩි ප්‍රමාණයක් පුරවැසියන් දෙලක්ෂ අසූ දහසකට වැඩි ප්‍රමාණයක් ජල හිඟය නිසා පීඩාවට ලක් වෙලා මේ බංකොලොත් භාවය තුළ මේ ගරාවැටීම කඩාවැටීම තුළත් රටේ ක්‍රියාත්මක වන්නේ හොරකම වංචාව බොරුව මුසාව මුලාව රාජ්‍ය දේපළ සම්පත් මංකොල්ලකෑම දූෂණය වැනි ක්‍රියාදාමයන්.

අපිට අහන්න ලැබෙනවා මොකක්දෝ අවුරුද්දක් කියලා කියනවා එතකොට ගොඩ එනවලු. එතකොට ගොඩඑන්න තමයි දැන් වැඩ කටයුතු කරගෙන යන්නෙලු. හැබැයි මිත්‍රවරුනි අපේ රටේ අපිට රියදුරු බලපත්‍රය හරියාකාරව කාර්යක්ෂමව මුද්‍රණය කර ගන්න වැඩපිළිවෙලක් හදන්න බැරි රටක් රියදුරු බලපත්‍රය මුද්‍රණය කර ගන්න බැරි රටක කොහොමද කියන්නේ අහවල් අවුරුද්දේ අපි ගොඩ එනවා කියලා.

එක වෙලාවක ගජමිතුරු සමාගමකට ලබාදෙනවා මුද්‍රණය කරන්න තවත් වෙලාවක කියනවා නැ හමුදාව හොදයි මේ වැඩේ කරන්න කියලා ඊට පස්සේ කියනවා හමුදාව බොරු තොරුතුරු ලබාදීලා තියෙනා නිසා ආපහු මේ වැඩේ යන්න ඕන අර පෞද්ගලික සමාගමට කියලා.
රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී රටේ මගඩියක් ක්‍රියාත්මක වනවා. වංචාවක් දූෂනයක් ක්‍රියාත්මක වෙනවා. මේ මගඩි අස්සේ හොරු මංකොල්ලකාරයෝ දූෂිතයෝ කෝටි ප්‍රකොටි ගණන් මුදල් උපයනවා.

රටේ ලක්ෂ 220 ක් ජනතාව අනතුරේ ජීවනෝපායන් කඩා වැටී ඇති බවත් පිපාසයට වතුර ටිකක් නෑ වගා කටයුතු කරන්න අවස්ථාවක් නෑ කෘෂිකර්මය කඩා වැටිලා දේශය ගරා වැටිලා මෙවැනි තත්ත්වයක් තුළ ලෝකයම ඇහැ ගහගෙන ඉන්නවා ලංකාවේ මොන පංගුවද කඩා ගන්න පුලුවන් මොන කෑල්ලද අයිති කර ගන්න පුලුවන් මොන කොටසද අපිට ලබා ගන්න පුලුවන් ලක්ෂ 220 ක් කෂේරුකාවක් කොන්දක් තියෙන අභිමානවත් පෞඩ ජන පරපුරක් අපේ රටේ ඉන්නවා.

තවදුරටත් අපි නිවටයෝ වගේ බලාගෙන ඉන්නවද රට විකුණන් කන නිවට ආණ්ඩුව ඔබගේ ආත්මය ඔබගේ ඡන්මය පාවාදෙනකන් බලන් ඉන්නවද

නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රහ්මණෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහ්මණෝ

තමන් වසලයෙක්ද බ්‍රහ්මණයෙක්ද කියලා තීන්දු කරන්නේ උප්පතියෙන් නෙවෙයි ක්‍රියාවෙන්.

අද බොහෝ දෙනෙකුගේ ක්‍රියාවන් දෙස බැලුවහම තමන්ගේ බ්‍රහ්මණ කමද වසල කමද කියන එක ගැන රටේ ජනතාවට නිගමනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

රටේ පාර්ලිමේන්තුවත් අමුතු පාර්ලිමේන්තුවක් උදේ පාන්දර එනවා රජය නියෝජනය කරන කෑ ගහන්න පුලුවන් මන්ත්‍රීවරු කොට්ඨාසයක් ඒ අයට දිලා තියෙනවා වගකීමක්. මෙකක්ද ඩියුටිය රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන කොට කෑ කෝ ගහලා බාධා කරනවා. කාලය කනවා කියලා කියනවා. එයාලා කැන්ටින් එකෙන් හොදට කාලා ජනතා ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඒවාට බාධා කරලා කෑ කෝ ගහලා ඒකට වෙනම කල්ලියක් පුහුණු කරලා තියෙනවා. දැනුම්ක් නෑ උගත්කමක් නෑ අවබෝධයක් නෑ ඒ අයගේ ඩියුටි ලිස්ට් එකේ ඉහළින් තියෙන්නේ රටට සේවය කිරීම නෙවෙයි ජනතා ප්‍රශ්න ඉදිරිපත් කරනකොට කෑ කෝ ගහලා පාර්ලිමේන්තුවේ කාලය කනවා කියලා න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ නෑ කියලා චෝදනා කරලා රටේ පොදු ජන හඬ නිහඬ කරවන දේශද්‍රෝහි ජාති ද්‍රෝහි කුමන්ත්‍රණයක් අද පාර්ලිමේන්තුවේදීත් ක්‍රියාත්මක වෙනවා.

අපි මතු කරන්නේ අපේ පුද්ගලික ප්‍රශ්න නෙවෙයි. රටේ ජනතාවගේ ප්‍රශ්න. අධ්‍යාපනයේ කඩා වැටීම ගැන කතාකරන විට එකට ඉඩක් නෑ සෞඛ්‍ය කඩා වැටිම ගැන කතා කරන විට එකට ඉඩක් නෑ. ජන ජීවිත කඩාවැටෙන කොට කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් කඩා වැටෙන කොට තේ පොල් රබර් අපනයන බෝග වගාවල නියැලි සිටින ගොවියගේ ජන ජීවිත කඩා වැටෙන කොට ඒවා තහනම් වචන. මේක තමයි පාර්ලිමේන්තුවේ තත්ත්වය. බොහොම අමාරුවෙන් තමයි ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ඒවාට සීමා දමලා. ඒවට වෙනම කණ්ඩායමක් උදේ පාන්දර ඉන්නවා. කට හැකර කොට්ටාසයක් ජනතා හඬ නිහඩ කරන්න.

හැබැයි වැඩි කල් නිහඩ කරන්න බෑ. තව අවුරුද්දක් අවුරුද්දකුයි මාස කිහිපයක් ඇතුළත රටේ වැදගත් තීන්දු තීරණ ගන්න අවස්ථාවක් එළබෙනවා. ඒ අවස්ථාව එළඹෙනකොට ජාති ආගම් කුල පන්ති පක්ෂ බේදයකින් තොරව රටේ ජනතාව තීන්දු කරන්න ඕන නැවත වරක් බොරුව මත ප්‍රෝඩාව මත රැවටිල්ල මත තමන් ඇන්දෙනවාද එසේ නොමැතිව පොදු ජනතාව සුරකින ආරක්ෂා පොදු ජනතාවගේ දුක කදුල වේදනාව පිළිබඳ හැගිමක් තියෙන පපුවේ තෙතමනයක් තියෙන රටේ නායකත්වයක් පත් කර ගන්නවාද ඒ තීන්දුව තියෙන්නේ රටේ 220 ක් වු ජනතාවගේ අතේ.

Social Sharing
නවතම පුවත්