මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ආරක්ෂිත කඳුවල ගින්නක්

ගින්නෙන් වන සතුන් රැසක් මියගිහින්

වටිනා ගහකොළ රැසක් ද ඒ අතර

මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ආරක්ෂිත වන වගාව සහ මොරගහකන්ද ජලාශය ඇතුළත ඇති ආරක්ෂිත කඳුවල පෙරේදා (20) රාත්‍රියේ සිට විශාල ගින්නක් පැතිර යමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ඊයේ (21) දහවල් වන විට විශාල භූමි ප්‍රමාණයක් මේ ගින්නෙන් සම්පූර්ණයෙන්ම දැවී අළු වී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය විශාල වශයෙන් සිඳී ගොස් ඇති අතර එහි පිහිටා ඇති දූපත් රැසක් මේ වනවිටත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගිනිගෙන විනාශ වී තිබෙන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මොරගහකන්ද ජලාශ නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ මේ ගින්න හටගෙන තිබෙන අතර කවුරුන් විසින් ගිනි තැබුවේද යන්න නොදැකපු බව ද කෙසේ වෙතත් පෙරේදා (20) පස්වරුවේ ගින්නක් නොතිබූ බව එම ස්ථානයේ වෙළෙඳාම්කරුවෝ අප සමඟ පැවසූහ.

පාසල් සිසුන් සහ විවිධ ජනතාව විශාල වශයෙන් මේ දිනවල මොරගහකන්ද ජලාශය නැරඹීමට පැමිණෙන අතර එහි එන ජනතාව ද මේ ගින්න දැක තම මවිතය හා අප්‍රසාදය පළ කරන්නට වූහ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන මොරගහකන්ද ජලාශයට යට වී විනාශ වී ගිය මේ ප්‍රදේශයට ආවේණික ගහකොළ සතා සීපාවා ආරක්ෂා කර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එක්ව මේ ආරක්ෂිත වනය ස්ථාපිත කර තිබිණි.

එහෙත් එම ස්ථානයේ කිසිදු රැකවරණයක් ආරක්ෂාවක් නැතිව පවතින බව එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

මේ ගින්න දිගින් දිගටම පැතිර යමින් පවතින බව ද පෙරේදා (20) වනවිටත් ගින්නෙන් වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඉතා වටිනා ගහකොළ මෙන්ම විශාල ගස් කොළන් රැසක් පිලිස්සෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

Social Sharing
නවතම පුවත්