බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම.

 shalani tharaka and jayantha dharmadasa sri lanka cricket board

 – දුලාන් දසනායක-

ක්‍රිකට් ආයතනයේ සිදු වූ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් එළිදරව් කර තිබූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡාවකින් ප්‍රසිද්ධියට පත් කල පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත. මෙම සාකච්ඡාවේ ඇති විශේෂත්වය නම් විවිධ මට්ටමේ සහ විවිධාකාරයේ මුදල් අවභාවිතා වීමක් සිදු වුවද, සමාජයේ වැඩි අවධානය ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක වන ශලනි තාරකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාසගේ හිතවතකු ලෙස ඕස්ට්‍රේලියානු සංචාරයක් සදහා සහභාගී කරගැනීම සහ ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් මුදල් වියදම් කිරීමයි. වාර්තාවට අනුව සභාපතිවරයාගේ හිතවතුන් 21 දෙනෙකු මෙම සංචාරයට සහභාගීකරගෙන තිබුණද දරුණු ප්‍රහාරය එල්ල වන්නේ ශලනි තාරකාටය. ඒ ලංකාවේ හැටිය.

ක්‍රිකට් ආයතනයේ බලය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් බලය අවභාවිතා කිරීම් පිළිබදව, ඔවුන්ගේ දූෂණයන් පිළිබද හිතවත් ඥාති සංග්‍රහ පිළිබදව කරුණු මීට පෙරත් එළිදරව් වී තිබේ. ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඡන්දය දීම සදහා සුදුසුකම් ලැබීමේ සිටම ඇත්තේ නීතියානුකූල දූෂණයකි. එයට ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබන ඇතැම් ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේද නැති බව ප්‍රකාශ වී ඇත. ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් සමග හැප්පෙන ක්‍රීඩා ඇමතිවරුන්ටද සිදු වන්නේ පසුබැසීමටය. ක්‍රීඩාංගන සැකසීම, විකාශන බලපත්‍ර ලබා දීම ආදී සියළු දේ හි පාරදෘශ්‍ය භාවයක් නොමැත. නිලධාරීන් පත් වීම සහ පැවතීම සදහා බලපාන ප්‍රධාන සාධකයක් නම් ප්‍රාග්ධනයයි. මුදල් බලයයි.

සිවිල් බලය වරප්‍රසාද සදහා භාවිතා කිරීමේ ශ්‍රී ලංකා ආදර්ශය

ශලනි තාරකා හෝ වෙනත් නළු නිළියකු හෝ මේ සිදු කර තිබෙන්නේ කලාව ඔස්සේ හෝ රූපය ඔස්සේ හෝ ඔවුන් ගොඩනගා ගෙන ඇති සිවිල් බලය නැතිනම් සංකේත ප්‍රාග්ධනය භාවිතා කර වරප්‍රසාද ලබා ගැනීමයි. ඇතැම් විට ඔවුන්ගේ උත්සහයකින් තොරවම ඔෆර් එක ඔවුන්ට පැමිණි ඇත. එවැනි අවස්ථාවක් මුදල් අවභාවිතා වීමේ නාමයෙන් ප්‍රතික්ෂේප කිරීම මේ යුගයේ සිදු විය හැකි දෙයක්ද? ශලනි තාරකා මෙන්ම අනෙකුත් නළු නිළියන්ද සිදු කලේ ඔවුන් ගොඩනගා ගත් සංකේත ප්‍රාග්ධනය භාවිතා කර වරප්‍රසාද දිනා ගැනීමයි. ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් ප්‍රාග්ධනය භාවිතා කර තනතුරු සදහා පත් වෙද්දී සංකේත ප්‍රාග්ධනය භාවිතා කර නළු නිළියන් විදේශ සංචාර හා කෝපරේට් බොක්ස් අවස්ථා ලබා ගනියි. විදේශ සංචාර කෙසේ වුවද කෝපරේට් බොක්ස් ටිකට් පත් විවිධ සම්බන්ධතා මත නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව පවතින බව ක්‍රිකට් මැච් සදහා සහභාගී වීමේ උනන්දුවක් දක්වන්නේ දනිති. ඒ සදහා බොහෝ අය තමන්ගේ හිතවත්කම් හා බලයන් භාවිතා කර උත්සහද දරති.

තමන්ට හිමි බලයන් භාවිතා කර වරප්‍රසාද ලබා ගන්නේ ශලනි තාරකා ඇතුළු නළු නිළියන් පමණද? වරප්‍රසාද බෙදා දෙන්නේ ජයන්ත ධර්මදාස, ශම්මි සිල්වා පමණද? ලංකාවේ රාජ්‍යය මුල පටන්ම ගොඩ නැගී ඇත්තේ සමානාත්මතාවයට පිටුපාමින්ය. ප්‍රාග්ධනයට, සංකේත ප්‍රාග්ධනයට, සිවිල් බලයන්ට ප්‍රමුඛතාවය දෙන ආකාරයටය. සමෘද්ධිය ලබා දීමේදීද, පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේදීද, වාහන මිලදී ගැනීමේදීද, රෝහලේදීද, ඉඩම් ප්‍රශ්න විසදීමේදීද, බිම් සැලසුම් නිවාස සැලසුම් අනුමත කිරීමේදීද, බදු ගෙවීමේදීද, විවිධ බලපත්‍ර ලබා ගැනීමේදීද, විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීමේදීද, අරමුදල් ප්‍රදාන ලබා ගැනීමේදීද, වාහන ගෙන්වීමේදීද, වාහන ලබා ගැනීමේදීද, නිල නිවාස, නිවාඩු නිකේතන ලබා ගැනීමේදීද මෙකී නොකී විවිධ වරප්‍රසාද ලබා ගැනීම් සියල්ලකදීම ලංකාවේ විශේෂයෙන් මධ්‍යම පන්තියේ බහුතර ජනයා ඔවුන් ගොඩනගාගත් බලය හෝ ඔවුන්ගේ නෑදෑ හිතවතකුගේ බලය භාවිතා කරයි. අද උපාසකයන් වී ශලනි තාරකා දංගෙඩියට රැගෙන යන්නේ මේ මධ්‍යම පංතියේ බහුතරයයි.

පාසල් සදහා ළමුන් ඇතුළත් කර ගැනීම් පිළිබද චක්‍රෙලේඛ හෝ වෙනත් යම් නීති රීති නොවිමසා ප්‍රධාන ජනප්‍රිය රජයේ පාසල් කීපයක ප්‍රාථමික සිසුන් ගැන සමීක්ෂණයක් කර බලන්න. එහි සිටින සාතිශය බහුතරයක් වරප්‍රසාද ලාභී රජයේ නිලධාරීන්ගේ රජයේ ගුරුවරුන්ගේ විනිසුරුවරුන්ගේ නීතිඥයන්ගේ වෛද්‍යවරුන්ගේ ව්‍යාපාරිකයන්ගේ දේශපාලඥයන්ගේ දරුවන්ය. ඔවුන් පාසලට ඇතුළත් වී ඇත්තේ අනීතිකව නොවේ. නීතියට අනුවය. ඇතැමුන් ඔවුන්ගේ බලය නිසා ලැබෙන කෝටාවක් මතද, ඇතැමුන් සංවිධානාත්මකව චක්‍රෙල්ඛයට අනුව මුදල් වියදම් කර සුදුසුකම් සපුරා ගැනීම මගින්ද, පාසල් වලට ඇතුළත් වී ඇත. කොළඹ රජයේ ප්‍රධාන පාසල් අසළ අති විශාල මහල් නිවාස ඉදි වන්නේ කා සදහාද? ඒවායේ නිවාස වසර පහකට බදු ගන්නේ කවුරුන්ද? සිය ළමුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීම පහසු කිරීම සදහා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම කාල සීමාව තුළ කොළඹ අවට හා අනෙකුත් ප්‍රධාන නගරයන්හි දුම්රිය ස්ථානයන් සදහා ස්ථාන මාරුද ඒවායේ නිල නිවාසද වෙන් වී ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන රාජ්‍ය කළමණාකරණ සහකාරවරුන්, සංවර්ධන නිලධාරීන් දරුවන් සදහා ඉහළ පෙලේ පාසල් වෙන් වී ඇත. කොළඹ කලාපයට ගුරුවරුන් ස්ථාන මාරු ලබා ගන්නේද, දරුවා යොමු කල හැකි පාසලකට ස්ථාන මාරු ලබා ගන්නේද කෙසේ හෝ එම පාසලට දරුවන් ඇතුළත් කර ගැනීම සදහාය. සිය දරුවන් ජනප්‍රිය පසාල් සදහා ඇතුළත් කර ගැනීමට වෛද්‍යවරුන් සිය වෘත්තිය, වැඩ වර්ජන ඇතුළු සියළු අවි භාවිතා කර හැසිරුණු හැටි ඔබට මතකද?

තීරු බදු රහිත වාහන බලපත්‍ර ලැබෙන්නේ රජයේ ඉහළ නිලධාරීන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ටය. මෙවැනි වාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් අතීතයේ නොතිබුණි. මේ බලපත්‍ර ක්‍රමය ඉතා සූක්ෂමව ලබා ගත්තකි. දේශපාලඥයන්ටත් ලබා දෙන ගමන් නිලධාරීන්ටත් ලබා දෙන මේ ක්‍රමය සකස් කරවා ගැනුණි. අතීතයේ මේ බලපත්‍ර ලබා දුන්නද ඒවා අන්සතු කිරීමේ හැකියාවක් නොතිබුණි. එම නිසා එම බලපත්‍ර ඉහළ මිලකට අලෙවි නොවුණි. හැකි අය බලපත්‍ර මගින් වාහන ගෙන් වූ අතර නොහැකි අයගේ බලපත්‍ර ඒක්කෝ අහෝසි විය, නැතිනම් ඇටෝර්නි බලපත්‍ර සකස් කර අවම මිලකට හිතවතකුට ලබා දීම සිදු විය. නමුත් නිලධාරීන්ගේ බලය මගින් රජයට කෙරුණු ඉල්ලීම මත බලපත්‍ර  විකිණීමේ අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව එකී බලපත්‍ර මිලියන දෙකේ සිට මිලියන පහකටත් අධික මිල ගණන් දක්වා ව්‍යාපාරිකයන්ට වාහන අලෙවි කරුවන්ට විකිණිම ආරම්භ විය. රජයේ කාර්යාලවල කාර්යාල කාර්ය සහයකයන් බලපත්‍ර අලෙවි කිරීමේ තරැව්කරුවන් විය.

ටුවර්ස් නැතිනම් සංචාර ගැන කතා කිරීමේදී තත්වය හරිම ආශ්වාදජනකය. ශලනි තාරකාත් ගියේ ටුවර් එකකටය. ක්‍රීඩා කණ්ඩායම් සමග විදේශ සංචාර සදහා ඇතුල් වීමට නිලධාරීන් අතර ඇත්තේද පොර කෑමකි. දූත මණ්ඩල සදහා ඇතුල් වීමට රජයේ නිලධාරීන් අතර ඇත්තේද පොර කෑමකි. සංචාරයට මෙන්ම වියදම සදහා මුදල් වැඩි වශයෙන් ලබා දෙන්නේ දූත මණ්ඩල සදහා සම්බන්ධ වීමේදීය. තමන්ගේ සියළු බලයන් හිතවත්කම් පාවිච්චි කර දූත මණ්ඩල සදහා ඇතුළත් වීමට අදාළ රජයේ නිලධාරීන් උත්සහ කරති. විදේශ පුහුණුවල තත්වයද එසේය. පුහුණු යෝජනා එන්නේ පහළ නිලධාරීන්ට වුවද ඒ සදහා ඉහළ නිලධාරීන් සහභාගී වූ අවස්ථා ඕනෑ තරම්ය. පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ආණ්ඩුව යටතේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කල ඉංග්‍රීසි භාෂාව නැංවීමේ වැඩසටහන යටතේ ඉන්දියාවේ විශේෂ පුහුණුවක් ඉංග්‍රීසි ගුරුවරුන්ට ලබා දුන් නමුත් ඒ සදහා පිටත්ව ගියේ අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරුන් විෂ්‍ය අධයක්ෂකවරුන් හා වෙනත් අධ්‍යක්ෂකවරුන්ය. මේ ලියුම්කරු දන්නා එක් කාරණයක් පමණි. විදේශ පුහුණු සදහාද බලය භාවිතා කරන්නේ එසේය.

අමාත්‍යංශ හරහා ලැබෙන විදේශ ශිෂ්‍යත්වද ලබා ගැනීම හිතවත්කම් හා සිවිල් බලය නොමැතිව පහසු කටයුත්තක් නොවේ. රජයේ හොදම වාහන ලැබෙන්නේ හොදම හිතවතුන්ට හා බලගතු අයට මිස අවශ්‍ය අයට නොවේ. නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉදිරිපිට, දඹුල්ලේ, කාතරගම දෙටගමුව වැව පසුකරන විට විවිධ මට්ටමේ සංචාරක හෝටල් බොහොමයක් ඉදිකර ඇත්තේ රජයේ ප්‍රදාන පත්‍ර මත ගොවියන්ට ලබා දුන් ඉඩම් වලය. සින්නක්කර අයිතියක් නොමැති වීමෙන් ඉතා අවම මුදලකට ගොවියන්ගෙන් ලිපි සකස් කර මිලදී ගත් මෙම ඉඩම් රජයේ ඉඩම් නිලධාරීන් ග්‍රාම නිලධාරීන් සහ වෙනත් ඉහළ නිලධාරීන්ගේ අවසරයෙන් සිය ප්‍රාග්ධන බලයත් සංකේත ප්‍රාග්ධන බලයත් යොදා ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන්නේ සමාජයෙ වරප්‍රසාදිත මැද පන්තියයි.

මහ බැංකු නිලධාරීන්ගේ විශේෂ අර්ථසාධක අරමුදලට ලැබෙන පොළිය 27%ක් බව මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කලේය. එය සාමාන්‍ය අරමුදලට වඩා තුන් ගුණයක් ඉහළය. ආචාර්ය උපාධියක් දක්වා ඕනෑම රටක අධ්‍යාපනය ලැබිය හැකි සුවිශේෂී ශිෂ්‍යත්වයක් මහ බැංකුවේ මහ බැංකු කළමණාකරන නිලධාරීන්ට හිමිය. මේ සියල්ල හිමි වන්නේ ඔවුන් සතු සුවිශේෂි බලයෙනි.

විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සිය බලය යොදා ජනමාධ්‍යයේ අවස්ථා ලබා ගනිති, විවිධ තනතුරු ලබා ගනිති,  විදේශ සංචාරද, පාසල් වලට ළමුන් ඇතුළත් කිරීම්ද සිදු කරයි. ජනමාධ්‍ය වේදීන්ද ශලනි තාරකා මෙන් කෝපරේට් බොක්ස් අවස්ථාද තවත් ඕනෑ තරම් අවස්ථාද සිය වෘත්තීය බලය පාවිච්චි කරමින් ලබා ගනියි. සාහිත්‍යකරුවන්ද විවිධ තනතුරුද, වෙනත් අවස්ථාද ලබා ගන්නේ වෘත්තීය බලය හා තමන් ගොඩනගාගත් සංකේත ප්‍රාග්ධනය භාවිතා කරමින් ලබා ගනියි. බොහෝ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර දියුණු කරගන්නේ රජයේ අවස්ථා ලබා ගනිමින් බව නොරහසක්.

අරගලයට කලාකරුවන්, සාහිත්‍යකරුවන්, ජනප්‍රිය නළු නිළියන් සහභාගීවන්නේද අරගලය සමාජ ආධිපත්‍යයක් පතුරුවමින් අරගලයට සම්බන්ධ නොවීම ඔවුන්ගේ සංකේත බලයට බාධාවක් වීම නිසා මිස දූෂණ විරෝධය ඔවුන්ගේ ජීවන විලාසයක් නිසා නොවේ. මහින්ද රාජපක්ෂගේ සාදයන්ට ඔවුන් මහින්ද රාජපක්ෂ සමාජයේ ආධිපත්‍යය පතුරුවන අවස්ථාවේ සම්බන්ධ වූයේද, නැතිනමම් නිහඩව සිටියේද ඔවුන්ගේ සිවිල් බලය වෙනුවෙන් මිස අන් හේතුවක් නිසා නොවේ. දක්ෂ හා ජනප්‍රිය නළුවකු වන බිමල් ජයකොඩි “බැසිල් හොරා” යන පෝස්ටරය ඉදිරියේ අරගලය තුළ සිටගෙන සිටීමේ මේ දිනවල හුවමාරු වන ඡායාරූපය සංකේතීය වටිනාකමක් පෙන්වයි. හිරු මාධ්‍ය වාර්තාකරණයට අනුව බිමල් ජයකොඩිද කෝපරේට් බොක්ස් අවස්ථා ලාභියෙක්.

ගැටළුව ඇත්තේ ශලනි තාරකාගේ හෝ ජයන්ත ධර්මදාසගේ හෝ බිමල් ජයකොඩිගේ නොව ලංකාව කාලාන්තරයක් ගමන් කරමින් සිටින පද්ධතියේය. මෙම පද්ධතිය තරගතාරීත්වයට යොමු නොවූ රාජ්‍ය කේන්දූීය රාජ්‍ය පංගුව වැඩි සමානාත්මතාවය වැනි අසත්‍ය සළු පිළි වලින් වැසුනු පද්ධතියකි. එහි යම් අවස්ථා දිනා ගැනීමට රාජ්‍යය සමග නීතියානුකූල හෝ අනීතික ගනුදෙනුවන්ට යා යුතුය. ව්‍යාපාරිකයන්ට ඉදිරියට ඒමට නම් රජයේ කොන්ත්‍රාත්, රජයේ ටෙන්ඩර් ලබා ගත යුතුය. රජයේ නිලධාරීන්, වෘත්තිකයන් ඇතුළු පොදු ජනතාවටද සිදු වී ඇත්තේ වරප්‍රසාද සහ අවස්ථා ලබා ගැනීමට සිය බලය භාවිතා කිරීමටය. නැතහොත් සිය ඥාති හිතවතුන්ගේ බලය භාවිතා කිරීමටය. අද ශලනි තාරකා වෙත අවි අමෝරා ගෙන සිටි උපාසක බහුතර මැද පන්තික පොදු ජනයා ශලනි තාරාකා වැනිය. ඇතැම් විට ඇයටත් එහා ගොස් රජයේ සම්පත් හා වරප්‍රසාද භුක්ති විදින්නන්ය. මෙවන් පද්ධතියක් පවතින රටක ලැබුණු අවස්ථාව ශලනි තාරකා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

අප විරුද්ධ විය යුත්තේ මේ බොරුකාර සමානාත්මතා සළුපිළි වලින් වැසූ තරගකාරීත්වයට කුසලතාවයට ඉඩ නොසලසන වරප්‍රසාද වරදාන ලබාදෙන රාජ්‍ය කේන්ද්‍රීය පද්ධතියටය. අවාසනාවකට මෙන් මෙම ප්‍රශ්නය තුළද ශලනි තාරකා ඉස්මතු කරමින් ඇත්ත ප්‍රශ්නය යටපත් කරන්නේ ලංකාවේ තවත් දැවෙන ප්‍රශ්නයක් වන ලිංගික කුහකත්වය ද ප්‍රදර්ශනය කරමිනි.

ශලනි තාරකාට එරෙහි ලිංගිකත්වය මත පදනම් වූ සමාජ මාධ්‍ය ප්‍රහාරය දෙස නොදැක්කා සේ බලා සිටින සංවාද වේදිකාවන්හි සිටින ස්ත්‍රීන් ගණන ගණන් කරමින් දේශපාලනය කරන ස්ත්‍රී වාදීන්ටද සිවිල් ක්‍රියාකාරිකයන්ටද විප්ලවවාදීන්ටද සුබ අනාගතයක් පතමු.

-දුලාන් දසනායක-

Social Sharing
අවකාශය නවතම විශේෂාංග