නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි…

මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව සැප්තැම්බර් මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (24) නියම කළා. ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වී තිබෙන අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට සූදානම් වන බවයි මීට පෙර විත්තියේ නීතිඥවරු විසින් දැනුම් දී තිබුණා. ඒ අනුව නඩුව සැප්තැම්බර් මස 13 වනදා නැවත කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.

A5 news

Social Sharing
නවතම පුවත්