“ශ්‍රී ලංකාව ඇත්තටම දිනුවා ද?” Wisden ප්‍රශ්න කරයි!

Sri Lanka Cricket Wisden

නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් එළඹෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුව ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් විය හැකි ද යන්න ලෝ ප්‍රකට ක්‍රීඩා සඟරාවක් වන Wisden විසින් ප්‍රශ්න කරනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ එකඳු තරගයක් හෝ පරාජය නොවී ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනත්, ඔවුන් ප්‍රමාණවත් තරම් දක්ෂතා නොපෙන්වූ බව සහ ලෝක කුසලානය ආරම්භ වන තෙක් කාලය තුළ ඔවුන්ට විශාල වැඩ කොටසක් කිරීමට ඉතිරි වී ඇති බවයි Wisden සඟරාව වෙත ලිපියක් සැකසූ Naman Agrawal විසින් සඳහන් කරන්නේ.

ICC පූර්ණ සාමාජිකත්වය ලද රටවල් හතරක් සහ අර්ධ සාමාජික (Associate Nations) රටවල් හයක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව විසින් දිනා ගනිද්දී, ශ්‍රී ලංකාව හැරුණු කොට තවත් පූර්ණ සාමාජික රටවල් තුනක් අබිබවා යමින් නෙදර්ලන්තය අර්ධ සාමාජික රටක් ලෙස 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

කිසිවෙකු හෝ බලාපොරොත්තු නොවූ ලෙස කලකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අති දැවැන්ත ප්‍රතිරූපයක් දැරූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ඉතා දුර්වල තරගාවලියකින් පසුව හිස් අතින් යුතු ව ගෙදර යාමට සිදු වුනා.

එවන් වාතාවරණයක් තුල ශ්‍රී ලංකාව විසින් මෙම තරගාවලිය තුළ සිය ආධිපත්‍යය ලොවට පෙන්වීමට සමත් වීම අගය කළ යුතුයි.

නමුත්!

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය පිළිබඳ ගැට‍ලුවක් ඇති බවයි Wisden විසින් අවධාරණය කරන්නේ.

පිතිකරණ බළඇණියේ හදිසි බිඳ වැටීම්

ශ්‍රී ලංකාව තරගාවලියේ කෙතරම් දක්ෂතා අතරට පිවිසුනත්, හිටි හැටියේ ම ඔවුන්ගේ පිතිකරණ බළඇණිය බිඳ වැටීමට ලක් වීම නිසා ඔවුන් දුර්වල වන ආකාරය දකින්නට ලැබුණා.

නෙදර්ලන්තය සමඟ සුපිරි හය වටයේ තරගයේ දී ඉනිම ආරම්භයේ දී ම ඔවුන්ගේ පිතිකරුවන් ඉක්මනින් දැවී ගිය අතර (96/6 පන්දුවාර 25.1 දී), ඊට අමතරව තරග කිහිපයක ඉනිමේ අවසන් භාගයේ දී ද හදිසි කඩා වැටීම් කිහිපයක් දක්නට ලැබුණා. (109/8 පන්දුවාර 15ක දී, 42/6 පන්දුවාර 10.1ක දී, 53/7 පන්දුවාර 12.1ක දී)

මෙම බිඳ වැටීම් නිසා ශ්‍රී ලංකාවට ප්‍රතිවාදීන් වෙත දැවැන්ත ඉලක්ක ලබා දීමට තිබූ අවස්ථාව අහිමි වී ගිය අතර, ප්‍රතිවාදීන් හට තරගයට අවතීර්ණ වීමට ද අවස්ථාව ලැබුණා.

එමෙන්ම අවසන් පන්දුවාර 10 තුළ ශ්‍රී ලංකාව පන්දුවාරයකට ලකුණු ලබා ගත් සාමාන්‍ය අගය 6.08ක් වැනි අගයක රැඳී පවතින අතර එය තරගාවලියේ දුර්වලම ලකුණු සාමාන්‍ය අගය බවයි Agrawal විසින් සිය ලිපියෙන් හුවා දක්වන්නේ. (නේපාලය – 6.27, ඇමරිකා එක්සත් ජනපදය – 7.06 යන රටවල් පවා ශ්‍රී ලංකාවට වඩා වැඩි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය අගයක් අවසන් පන්දුවාර 10 තුළ පවත්වා ගත් බව ඔහු සඳහන් කරනවා.)

මේ අතර ශ්‍රී ලංකාවේ ඉනිම අවසන් කිරීමේ භූමිකාවේ වැඩි බරක් ඇදීමට නියමිත දසුන් ශානක විසින් පිතිකරණයේ යෙදුණු ඉනිම් 5 තුළ ලබා ගත් මුළු ලකුණු සංඛ්‍යාව ඔහුටත් පසු පසින් පිටියට පිවිසෙන මහීෂ් තීක්ෂණ විසින් මෙම තරගාවලියේ එක් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයටත් වඩා අඩු අගයක පැවතුණා.

ශානක තරගාවලිය තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි. මේ අතර වනිඳු හසරංග විසින් තරගාවලියේ ලකුණු 91ක් ලබා ගැනීමට සමත් වුව ද ඔහුගේ පිතිකරණයේ විශ්වාසදායී බවක් නොතිබූ බවයි Wisden විසින් අවධාරණය කරන්නේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ පිතිකරණ ලැයිස්තුවේ අංක 6 ස්ථානයේ ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා විසින් සාධනීය ලෙස පිතිකරණයේ යෙදුණු නමුත් ඔහුගේ ප්‍රහාරාත්මක වේගයේ ඇති ගැට‍ලු නිසා වෙනත් ප්‍රහාරාත්මක පිතිකරුවගේ සහය ද (ධනංජය පිතිකරණ අනුපිළිවෙළේ ඉහළට දමමින්) ශ්‍රී ලංකාවට ලැබිය යුතු බව Wisden ලිපියේ සඳහන් වනවා.

කෙසේ වෙතත් කුමන පිතිකරණ ගැට‍ළුව මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව විසින් මේ සියලු ම තරග ජයග්‍රහණය කිරීමට සමත් වුනා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පන්දු යැවීම මෙම කණ්ඩායම්වලට එරෙහිව අතිශය ඉහළ මට්ටමක රැඳී තිබුණු අතර මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග විසින් තරගාවලියේ ඉහළ ම කඩුලු ලාභීන් දෙදෙනා බවට පත් වෙමින් සමස්ත කඩුලු 43ක් දවා ගැනීමට සමත් වුනා.

වනිඳු – මහීෂ් සුසංයෝගය ලෝක කුසලානයේ දී සාර්ථක වේවි ද?

නමුත් මෙම කණ්ඩායම් බොහෝමයක පිතිකරුවන්ට වනිඳු සහ මහීෂ් සමඟ ක්‍රීඩා කර අත්දැකීම් එතරම් නොතිබූ නිසා ඔවුන් ව කියවා ගැනීමට අපොහොසත් වූ බවයි Agrawal විසින් අනුමාන කරන්නේ.

නමුත් ලෝක කුසලාන තරගාවලිය තුළ දී මුණ ගැසෙන කණ්ඩායම් වලට මොවුන් දෙදෙනා පිළිබඳ යම් අවබෝධයක් ඇති නිසා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මෙන් පහසුවෙන් කඩුලු දවා ගැනීමට ඉඩ කඩ නොලැබෙනු ඇති බවත් Agrawal විසින් සිය ලිපියේ සඳහන් කරනවා.

ධනාත්මක දේවල් ඇත්තේ ම නැද්ද?

Agrawal විසින් Wisden සඟරාව වෙත ඉදිරිපත් කළ මෙම ලිපියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා විලාශය පිළිබඳ එවැනි විවේචනාත්මක අදහස් පළ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව විසින් පෙන්වූ ධනාත්මක තත්වයන් පිළිබඳ ව ද සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පිතිකරණ බළඇණිය බලාපොරොත්තු විරහිත ලෙස බිඳ වැටීමට ලක් වූ අවස්ථා දක්නට ලැබුණ ද ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්නගේ පිතිකරණ දක්ෂතා ඇගයීමට පාත්‍ර විය යුතු බව ඔහු පවසනවා.

දිමුත් සහ පැතුම් දෙදෙනා තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ඉහළ ම ලකුණු ලාභීන් බවට පත් වූ අතර, අංක හතර ස්ථානයේ පිතිකරණයේ යෙදුණු සදීර සමරවික්‍රම විසින් ප්‍රහාරාත්මක වේගය 95ක් සහ පිතිකරණ සාමාන්‍ය 43.60 අගයක පවත්වා ගනිමින් පිතිකරණයේ යෙදීමට සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකාවෙ නවතම වමත් වේගපන්දු තුරුම්පුව වන ඩිල්ශාන් මදුශංකගේ විශිෂ්ට පන්දුකරණය විශේෂ අගය කිරීමට භාජනය කළ ලියුම්කරු විසින් මදුශංක එළඹෙන ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතර අනිවාර්යයෙන් ම සිටිය යුතු බව සඳහන් කරනවා.

මේ අතර තරගාවලිය නිමා වීමෙන් පසුව Wisden සඟරාව විසින් නම් කළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කණ්ඩායමට ද ශ්‍රී ලංකාවෙන් පැතුම්, දිමුත්, වනිඳු සහ මහීෂ් යන අයගේ නම් ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම මෙම තරගාවලියේ දී ලෝක පූජිත කණ්ඩායම් සිය සායම දිය කර ගනිද්දී කෙතරම් අසීරු තත්වයක සිට වුව ද නැවතත් තරගයට අවතීර්ණ වෙමින් තරග ජයග්‍රහණය කිරීමට සමත් වීම මෙම තරගාවලිය තුළ දී ශ්‍රී ලංකාව විසින් පෙන්වූ විශාලතම ධනාත්මක ලකුණ බවයි Agrawal විසින් සිය ලියමන අවසන් කරමින් සඳහන් කරන්නේ.

Naman Agrawal විසින් Wisden වෙත සැපයූ මෙම ලිපිය තුළින් හුවා දක්වන කරුණු පිළිබඳ නිදහස් සහ ස්වාධීන මනසකින් යුතු ව විශ්ලේෂණ කිරීමේ වගකීම ඔබට බාරයි.

Wisden සඟරාව ඇසුරිනි.

-අනුජ වික්‍රමසිංහ-

Social Sharing
අවකාශය නවතම විශේෂාංග