මම තරමක් නරුමවාදීයි – ඇන්තනි හෝප්කින්ස්

 

– සුභාෂිණි චතුරිකා –

ඇන්තනි හෝප්කින්ස් දැනට ජිවතුන් අතර සිටන රංගධරයන් අතරින් විෂිශ්ඨතමයෙක් ලෙස සැලකෙනු ලබයි. ඔහු රංගන ශිල්පියෙකු ලෙස The Silence of the Lambs නම් චිත්‍රපටයේ Hannibal Lecter නම් චරිතයට පණ පෙවු විලාසය නිසා ඔහු මහත් ජනප්‍රසාදයට පත් වු අතරම 1991 වසරෙදි ඔහුගේ එම විශිෂ්ඨ රංගනය නිසා ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ද පිදුම් ලැබීය.

ඔහුගේ දායක්තවය සැපයුණු චිත්‍රපට සමුහය අතරින් The Mask of Zorro, The Bounty, Meet Joe Black, The Elephant Man, Magic, 84 Charing Cross Road, Bram Stoker’s Dracula, Legends of the Fall, Thor, The Remains of the Day, Amistad, Nixon වැනි සිනමා නිර්මාණ චිත්‍රපට ලෝකයේ සුවිශේෂි අවධානයක් දිනා ගත් නිර්මාණ වෙයි.

ඔහු 1937 වසරේ දෙසැම්බර් 31 වේල්සයේ උපත ලද්දේය. හෝප්කින්ස් ‍රාජකීය වේලස් සංගීත හා නාට්‍ය විද්‍යාලයෙන් උපාධිය දිනා ගත් අතර ලන්ඩනයේ රාජකීය නාට්‍ය පාසලේ පුහුණුව ලබන සමයේදී ලෝරන්ස් ඔලි‍වියගේ ( ප්‍රවීණ රංගධරෙයක්) නොමඳ අවධානයට පාත්‍ර විම නිසා ඔහුට රාජකීය ජාතික රංග පීඨයට ඇතුළත් වීමට අවස්ථාව ලද්දේය. හෝපකින්ස් රංගනය පිළිබද ලබා ගත් ශාස්ත්‍රාලීය දැනුම මුහු කරමින් ඔහු 1967 දී ඔහුගේ ප්‍රථම චිත්‍රපටය A Flea in Her Ear රූපවාහිනි විකාශනය සඳහා නිර්මාණය කළේය. එතැන් සිට ඔහුගේ සිනමා දිවියේ සාර්ථකත්වය අත් විඳිමට ඔහුට හැකියාව ලැබුණි.

ඔහු ඔස්කා සම්මානයට අමරතව ඔහුගේ සිනමා දිවිය තුළ මේ තාක් BAFTA සම්මාන තුනක්, Emmy සම්මාන දෙකක්, Cecil B. DeMille සම්මානය දිනා ගැනීමට සමත් වීය. 1993 දී දෙවන එලිසබෙත් මහ රැජිණ අතින් කලාවට ඔහු අතින් සිදුවු සේවය ඇගයීම වෙනුවෙන් ඔහු නයිට් පදවියෙන්ද පිදුම් ලැබීය.

දැනට 80 වෙනි වියේ පසු වෙන ඇන්තනි හෝප්කින්ස් 2011 වසරේ The talk වෙබ් අඩවිය සමඟ සිනමාකරුවෙක් සහ රංගධ‍රයෙක් ලෙස ඔහුගේ ගෙවුණු නිර්මාණාත්මක ජිවිතය පිළිබඳ දොඩමළු වුනු ආකාරයයි මේ.

හෝප්කින්ස් මහත්මයා ඔබ වරක් කියා ති‍බුණා, ජීවිතයේ වඩ වඩාත් අත්දකිද්දී, එය වඩ වඩාත් සිහිනයක් ලෙස දැනෙනවා කියලා. කිසියම් නිශ්චිත මොහොතක් ඔබේ ජීවිතයේ තිබෙනවද දේවල් යථාර්තයෙන් අපගමනය වුන?

බොහෝදුරට පසුගිය තිස් වසර පුරාම මට දැනුනේ ඒ වගේ තමයි. කුඩා දරුවෙක් විදියට, කුඩා කොළුවෙක් විදියට සහ තරුණයෙක් විදියට මම සිහින මැවූ සහ ජීවත් වෙන්න ඕනෑ වු විදිය සැබෑ වුනා. මම හිතුවා, “ මේක ඇත්ත නෙමෙයි. මම බලාපොරොත්තු වූ විදියෙන්ම ඒක සිදුවෙලා තියෙනවා, මම හිතේ මවා ගත් ආකාරයටම” මගේ මුළු ජිවිතයම වගේ එ‍හෙමයි. මිනිසුන් වන අප සතුව ඇති ශක්තිය පිළිබඳව මම පුදුමයට පත් වෙනවා. අප ජීවත් වෙමින් ජීවිතය නිර්මාණය කරනවා.

ඔබ හිතනවද රංගන ශිල්පීන්ට සහ චිත්‍රපට නිර්මාණකරුවන්ට ශක්තිමත් අභ්‍යන්තර ජීවිතයක් තිබෙනවාය කියන එක? ගොඩක් අය කියන්නෙ රංගන ශිල්පීන් කියන්නෙ හරිම හැඟීම් බර සංවේදි පිරිසක් කියලා?

ඇත්තටම වාග් කලාව රංගනය තුළ යොද ගැනීම මම නිතරම සැකයට ලක් කරනවා. මම නිතරම වාගේ කැමති වඩාත් වැදගත් සහ මූලික දෙයට ප්‍රමුඛත්වය දෙමින් කරන රංගනයට. මම රංගනය පිළිබඳ ඔළුවේ ඇතිවන මනස්ගාත එතරම් විශ්වාස කරන්නෙ නැහැ. ඒ නිසා මම තරමක් නරුමවාදීයි. ඒත් මම හිතනවා එය නිර්මාණාත්මක ක්‍රියාවලියක්, රංගනය කියන්නෙ නිර්මාණාත්මක ක්‍රියාවලියක්, අධ්‍යක්ෂණය සහ සංගීතයත් එහෙමයි. මම හිතන්නෙ නිර්මාණාශීල මිනිසුන් – මම මාව සලකන්නේ නිර්මාණශීලි පුද්ගලයෙක් විදියට, ඒත් ඉන් ඇඟවෙන්නේ නැහැ ඔබ නිර්මාණශීලි මිනිසෙක් වීමට රංගන ශිල්පියෙක්, සංගීතඥයෙක් හෝ සිත්තරුවෙක් වෙන්න ඕනෙයි කියලා. – නමුත් මම හිතනවා ඔබ ඉන්නේ නිර්මාණශීලි ක්‍රියාවලියක් තුළ හෝ නිර්මාණශිලී කාර්යයක් තුළ නම් ඔබ බොහෝ දේ පිළිබඳ සවිඥානික වෙන්න ඕනෙ. නමුත් ඉන් ඔබව විශේෂ පුද්ගලයෙකු බවට පත් වන්නේ නැහැ.

ඔබ ඒ සම්බන්ධයෙන් ඇත්තටම සැළකිලිමත් වෙන්න ඕනෙ. මොකද ඔබ විශ්වාස කරන්න පටන් ගත්තොත්, ඔබට ඕනෑම දෙයක් කරන්න අවසර පතක් තියෙනවා, ඔබ විශේෂ ආකාරයේ ඔක්සිජන් වර්ගයක් ආශ්වාස කරන නිසා කියලා, අන්න එතනදි තමයි ඔබ කර‍දරේ වැටෙන්නෙ. එය උන්මාදයට යන මාවතයි. චිත්‍රාගාරවල ඉන්න බොහ‍ොමයක් අය එහෙම තමයි. ඔවුන් හිතනවා ඔවුන් විශේෂ සත්තව කොට්ඨාශයක් කියලා. මම හිතන්න‍ෙ රංගන ශිල්පීන් තරමක් දියුණු සවිඥානයකින් ආශිර්වාදලත් හො ශාපලත් පිරිසක්, ඔබ එය භාවිතයට ගත යුතු වෙනවා. එපමණයි. එහි අදහස ඔබ අනිත් අයට වඩා උසස් හෝ අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියන එක නොවෙයි.

ඔබට මුල් කාලීනව සැබවින්ම අනුප්‍රාණය සැපයූ අධ්‍යක්ෂකවරුන් එහෙම සිටියාද?

කීප දෙනෙක් සිටියා, ඔවුන් සියල්ලන්ම ඔවුනට විශේෂ වු ශෛලියකට අනුගතව වැඩ කරපු අය. මම වැඩ කරලා තියෙනවා ඔලිවර් ස්ටෝන්, ස්පිල්බර්ග් වැනි ගොඩක් අය එක්ක. සමහර අය ඉතාමත් විශිෂ්ඨ අය, මම වාසනාවන්ත වුණා එවැනි අය එක්ක වැඩ කරන්න. මම අධ්‍යක්ෂණය කරද්දී මම නිතරම උත්සාහ කළා එය මගේම අපුර්ව සිත්තමක් බවට පත් කරන්න. ස්වභාවිකම ඔබ කිසියම් බලපෑමකට ලක් වෙනවා තමයි. ඔලිවර් ස්‍ටෝන් කියන්නෙ දක්ෂ අධ්‍යක්ෂක වරයෙක්, එ‍්වගේම මම වසර ගණනාවක් තිස්සේ එයාගේ චිත්‍රපටි ගොඩක් නරඹලා තියෙනවා. නමුත් මම දේවල් නිර්මාණය කරන්න උත්සාහ කරන්නෙ මගේම පරිකල්පනය තුළින්. මට ඕනෙ සියලුම නීති සහ රාමු කඩා බිඳ දමලා, ඒවා අවුලට පත් කරලා ඉන් විනෝදයක් ලබන්න අමුතුම චිත්‍රපටයක් නිර්මාණය කරන්නයි.

රංගනය ඔබට තාරුණ්‍ය තුළ ජිවත් වෙන්න උදව් වෙනවා නේද?

ඔව්! මම තරුණයි. නිර්මාණශීලි වීම සහ ඔබේ මනස කිසියම් ක්‍රියාවක නිරත කරවීම බුද්ධිගෝචර කාරණා, මොකද ඔබ එසේ නොකලොත් ඔබ මිය යාමට පටන් ගන්න නිසා, බොහොම හෙමින්. සමහර වෙලාවට මට විඩාපත් බවක් දැනිලා මේ සියල්ල අත් හැර දමන්න හිතුණත්, මට සරල ලෙස විශ්‍රාම යන්න උවමනවාක් නැහැ. නැහැ, මම සියල්ල විඳිනවා, මම දිගටම වැඩ කරන්න කැමතියි, මට මෙහෙම වැඩ කරගන්න බැරි වෙන දවසක් එන කල්.

 

මේ දවස්වල ඔබේ ජීවිතය ගත වෙන්නෙ කොහොමද?

මම පියානෝ වාදනය කරනවා‍, ඇයයි මගේ ආදරවන්තිය. මම කියවනවා, සිතුවම් අඳිනවා, සංගීතය නිර්මාණය කරනවා. ඉතින් මම බොහොම පිරිණු නිර්මාණශීලි ජිවිතයක් ගත කරනවා. ඒ ඇත්තටම මම අත්හැරිය නොහැකි තරම් නිර්මාණශීලි නිසා නොවෙයි. මම සිතුවම් ඇඳීම විඳිනවා. මම දන්නෙ නැහැ මම හොඳ චිත්‍ර කාරයෙක්ද කියලා. එත් මම හරි ඉක්මනින් චිත්‍ර අඳිනවා. මම අඳින්නෙ ඇක්‍රිලික් තීන්ත වලින්. එය හොඳින් නිර්මාණ කරන්න උදව්වක් වෙනවා. ඒ වගේම මම සංගීතය නිර්මාණය කරනවා, පියානෝව වාදනය කරනවා, මම ගොඩාක් කියවනවා. ඉතින් මගේ ජීවිතය හොඳින් ගෙවෙනවා. රංගනය කියන්නෙ ඒ අතරව‍ාරෙ ම‍ගේ ජීවිතය පුරවාලන දෙයක්.

ඔබ ඔබ සමඟ සුසර වෙලා වගේ…..

මම හිතනවා මම කුඩා දරුවකුව සිටියදි මම දැන සිටියා මම අද මොනවද දන්න‍ෙ, මට අද දවස දැනෙන්නෙ කොහොමද කියන එක. මම මා තුළ පහසුවෙන් ජීවත් වුණා. මොකද සාමාන්‍යයෙන් ඔබ ලාබාල කාලයෙදි ජීවත් වෙන්නෙ කිසියම් පීඩනයක. හැම දෙයක්ම ඔබට වැදගත්. නමුත් ඔබ ආපසු හැරිලා හිතුවොත්, “ මේ සියල්ල මොනවද?” කියලා, කිසිවක කිසිම වැදගත් කමක් දැනෙන එකක් නැහැ.

සරලව ඔබ ඔබේ ජීවිතය ගත කරන්න මොකද එය ඉතාම කෙටි නිසා.ඉතින් ඔබ වයසට යාම විඳිනවාද?

ඔව්. හොඳින් විඳිනවා. මම කැඩපත දිහා බලද්දී, මම වියපත් වීමේ රේඛා දකිනවා, ඒත් මම ගණන් ගන්නෙ නැහැ. එය හොඳ කාලයක්. මම දන්නේ නෑ ඇයි එය ඒ තරම්ම හොඳ කාලයක් වෙන්නෙ කියලා. නමුත් එය හොඳ කාලයක්. මියෙන සුලු බව කියන්නෙ ශ්‍රේෂ්ඨ ගැලවුම් කරුවෙක්. එය අන්තිමෙදි ඔබව හැම දෙයකින් මුදවා ගන්නවා. එය තමයි ජීවිතය යහපත් කරන්නෙ, ඔබ දන්නවද? කියවන්න කාර්ල් ජුන්ව. එය ජීවිතය වඩාත් පොහොසත් කරනවා මෙන්න මේ දේ නිසා: අපි දන්නෙ නැහැ අපි යන්නෙ කොහෙද කියලා. ඒක තමයි විනෝදය.

ඔබ ජීවිතයේ ඔබට අවශ්‍ය සියල්ල අත්පත් කර ගත්තාද?

ඕනැවටත් වඩා. මම හරිම වාසනාවන්තයි. අතීතයේ මට ප්‍රශ්න තිබුණා, කරදර තිබුනා. නමුත් ඒවා පසු කරලා ජීවිතය ඉදිරියට ඇදුනා. මට විශිෂ්ඨ ජීවිතයක් තිබුණා එයට මම කෘතඥ වෙනවා.

උපුටාගැනීම – https://www.lucernanotes.net

 

Social Sharing
අවකාශය නවතම සාකච්ඡා