අවුරුදු 28 ක් කැසිනෝවලට එක ඩොලරයක් නෑ! තවත් 7 ක් අලුතෙන් දෙන්න යනවා! – පාඨලී චම්පික රණවක

patali champika ranawaka fuel price sri lankan politicsඅවුරුදු 28 ක් තිස්සේ කැසිනෝ බලපත්‍ර හතර මගින් එක ඩොලරයක්වත් මුදල් අමාත්‍යාංශය හා අදාළ ආයතන මගින් එකතු කරගෙන නොමැති බවත් තවත් 7ක් ලබාදෙන්න යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ‘මේ රටේ කැසිනෝ අවුරුදු විසි අටක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අවුරුදු 28 ක කාලය තුළ, වාර්තා වූ කරුණු අනුව බැලුවහම, 2022 වෙනකන් නිවැරදි අණ පනතකට අනුව කැසිනෝ මේ රටේ පවත්වාගෙන ගිහිල්ලා නෑ. නීතියෙන් පිටතින් තමයි එම ආයතන පවත්වගෙන ගිහින් තියෙන්නේ. පවතින කැසිනෝ පර්මිට් හතරෙන් මේ වෙන තෙක් එක ඩොලරයක්වත් මුදල් අමාත්‍යාංශය හා අදාළ ආයතන එකතු කරලා නෑ. මේ අවුරුදු විසි අටටම. ඒ වගේම මේ ලබාදෙන මුදල පිළිබඳව, මේ එකතුවෙන, එහෙම නැත්නම් මේ එක පිළිබඳව ඒ අදාළ බලධාරීන් ලබාදෙන තොරතුරු මත යනවා මිසක්, ස්වාධීන ඇගයීමක් කිරීමේ හැකියාවකුත් මුදල් අමාත්‍යාංශයේ අදාළ ආයතනවලට නෑ. ඒ වගේම නව බලපත්‍ර හතක් ලබා දෙන්න යනවා. මේ හතරට අමතරව.

මේ තියෙන හතර මුලින් විධිමත්ව පරිපාලනය කිරීමේ, විධිමත්ව නියාමනය කිරීමේ ක්‍රමවේද එකක්වත් සකසන්නේ නැතුව තවත් අලුත් බලපත්‍ර 7 ක් ලබා දෙන්න යනවා. මීට වඩා විශාල සංචාරක ව්‍යාපාරයන් තිබෙන, සිංගප්පූරුවේ, මැලේසියාවේ, මේ කැසිනෝ සිය ගණන් ඇති කරලා නෑ. කැසිනෝ දෙකයි, නැත්නම් තුනයි, හතරයි තිබෙන්නේ.

විධිමත් නියාමන ව්‍යුහයක්, විධිමත් පරිපාලන ව්‍යුහයක්, විධිමත් ආදායම් එකතු කිරීමේ ව්‍යුහයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තත්වය තුළ, තව බලපත්‍ර හතක් හිතවතුන්ට බෙදා දුන්නයි කියලා. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් මේ රටට නැහැ. ඇත්ත වශයෙන්ම දැන් කළයුතු වන්නේ, ඒ බලපත්‍ර හතර විධිමත් ආකාරයකට නියාමනය කරන එකයි. ඒ නිසා මුදල් අමාත්‍යාංශය මේ රටේ වෘත්තීයවේදීන්ගෙන් බදු ගහනවා නම්, මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ වැට් බදු 15% කින් නංවනවා නං, මෙවැනි බලගතු ව්‍යාපාරවලින් බදු අයකර ගැනීම, ආදායම් එකතු කර ගැනීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් වහාම හදන්න ඕනී’ යන්නයි.

 

Social Sharing
නවතම පුවත්