100,000 කියන අංකය පොඩ්ඩක් මතක තියාගනිමු …!

අපි මේ කතා කරන්න යන සත්වයා ශරීරයෙන් බොහොම විශාලයි.. බුද්ධිමත් වගේම කාලයක් තිස්සෙ නිතරම විවාදයට ලක්වෙනවා. අවුරුදු මිලියන තිහ හතලිහක නැත්නම් ඊටත් වඩා ඉතිහාසයක් තියන මේ අපූරු සත්වයාට වසර 200,000ක වත් ඉතිහාසයක් නැති පුංචිම පුංචි මිනිස්සු අයිතිවාසිකම් කීම විහිළුවක් කියල හිතෙන්නෙ සමාජ මාධ්‍යයේත්, මාධ්‍යයේත් දකින තොරතුරු නිසයි.

අපි දන්නවා මිනිසාට පුළුවන්කම තියනව තමන්ගෙ රූපය හඳුන ගන්න කණ්ණාඩියක් ඉස්සරහදි වගේම වතුරෙ වැටෙන තමන්ගෙ ඡායාව දිහා බැලීමෙන්. මේ හැකියාව තියන තවත් සතුන් හතර දෙනෙක් විතරයි මේ පෘථිවියේ ජීවත් වෙන්නෙ. මැග්පී කියන කුරුල්ලා( අපි මෙයා ගැන කතා කරා), ඩොල්ෆින්, චිම්පන්සීන් සහ අලි ඇතුන්. ආසියානු ගහනය සම්භන්ධයෙන් අලි හා ඇතුන් කියල දෙවිදියකට සැලකුවාට මේ එකම පිරිසක්.

අප්‍රිකානු ඇතුන්ට පිරිමි හා ගැහැණු සතුන් භේදයක් නැතුවම දළ ලැබෙනවා. නමුත් ආසියානු අලි ඇතුන්ගෙන් ගැහැණු සතුන්ගේ දළ නිර්මාණය වෙන්නෙ ඉතාම සීමිතව. මේ අඩුව හෝ ආබාධය සමහර පිරිමි සතුන්ටත් තියනවා. ( Genetic Mutation) ඒ නිසා අපි ඒ අයට අලි කියල කියනවා. ඇතුන් කියන්නෙ බොහොම සද්ධන්ත ඒ වගේම ආදරයට ගෞරවයට පාත්‍ර වෙන සත්වයෙක්. ඒ ඇයි.? ඒ… මේ අපූරු සතුන්ගෙ දළ දෙක නිසා. දළ දෙක තමයි මේ සතුන්ගෙ ආඩම්බරය. මේ තමයි ඒ අයගෙ සංඛේතය… අත්සන. හරියට මිනිසා දෙපයින් ඇවිදින්ව වගේ.

හෙට දවස බොහොම භයානක නිසා හිතා මතාම දෙපයින් ඇවිදින එක නතර කරන්න මිනිසා තීරණය කරොත් මිනිසාට ලැබෙන තැන මොකක්ද.? අප්‍රිකානු ඇතුන්ට දළ තිබිය යුතු වුණත් පහුගිය වසර තිහ හතලිහ වගේ කාලය ඇතුලෙ බොට්ස්වානා ප්‍රදේශය තුළ විශාල ඇතුන් සංඛ්‍යාවක් නිර්මාණය වෙනවා, හෝ උපත ලබනව දළ නැතුව. මේක හරි වෙනස් තේරුම් ගන්න අපහසු දෙයක්. දිගු කාලීන පර්‍යේශණ වලින් පස්සෙ අදහසක් ඉදිරිපත් වෙනවා හෝ ඔප්පු කරනවා. එහෙම වෙන්නෙ දිගු කාලයක සිට දළ ලබාගැනීම සඳහා ඇතුන් මරා දැමීම නිසා දළ නැතුව තමන් ඉපදිය යුතු බවට උන් තීරණය කරනව කීවොත් මොකද හිතෙන්නෙ.? (Genetic Mutation triggered by poaching)

දළ ලැබුනොත් උඹේ ජීවිතය අනතුරේ කියන පණිවිඩය පරපුරෙන් පරපුරට ගමන් කිරීම මීට හේතු වෙනවා. තව විදිහකට කීවොත් ඇතුන් තේරුම් ගන්නව දළ නිසා තමන්ගෙ වර්ගයා ඝාතනයට ලක්වෙන බවත් ඒ අනුව තම වර්ගයා වඳවී යාමේ තර්ජනයට ලක්විය හැකි බවටත්. මේකෙන් ගැලවෙන්න නම් අනතුරු සහිත වුනත් දළ නැතිව ඉපදිය යුතුයි කියන පණිවිඩය අළුත් පරපුරට ලබාදෙනවා

මිනිස්සු වශයෙන් අපි කොයිතරම් ලැජ්ජා විය යුතුද.? අවමංගල්‍ය උත්සවවල, දේවාල පන්සල්වල තවමත් ඇත් දළ පාවිච්චි කිරීමේ චාරිත්‍රය ගැන අපි කතා නොකර ඉමු. 2010, 2012 අතර කාලය තුල දළ ලබාගැනීම සඳහා අප්‍රිකාවේ මරා දැමූ ඇතුන්ගේ සංඛ්‍යාව තමයි මතක තියා ගන්න කියපු 100,000. අපේ රටේ ඉතිහාසය අපේ සංස්කෘතිය අපේ ආඩම්බරය අපි එහෙම ඇතුන්ට සලකන්නෙ නෑ. අපි අවිහිංසාවාදීයි, අප්‍රිකාවෙ එහෙම වුනාට අපි එහෙම කරන්නෙ නෑ කියල කවුරු හරි කියනව නම් එතන ලොකු වරදක් තියනවා. පොදු හැඟීමක් නැති මිනිස්සු එක්ක, තමන්ගෙ වරද පිලිගන්නෙ නැති මිනිස්සු එක්ක මිත්‍රකම් තියාගෙන පලක් නෑ.

අපි ආපහු කතාවට යමු. අපි හැමෝම වගේ ඇතුන්ගේ උපතත් සිද්ධ වෙන්නෙ අප්‍රිකාවෙ. ඕස්ට්‍රේලියාවට හැරෙන්න අනිත් සෑම මහද්වීපයකටම ඇතුන්ගේ මුතුන් මිත්තො ගමන් කරනවා. උතුරු යුරෝපය හරහා වගේම රුසියානු ඇලස්කා බිම් හරහා මේ අය ඇමරිකාව දක්වා ගමන් කරනවා. කොලොම්බියානු මැමොත් මේ ගමන්කරුවන්ට දිය හැකි හොඳම උදාහරණයක්. ඕස්ට්‍රේලියාවට ලඟා නොවීම තවමත් ගැටලු සහගත වුනත් වොලස් ලයින් ( Wallace Line ) හරහා බොහොම ලස්සන අදහසක් ඉදිරිපත් වෙනවා. ඒක වෙනම කතා කල යුතු මාතෘකාවක්. තවත් වැදගත් කාරණයක් සරලව තේරුම් ගැනීම වැදගත්, විස්තර වලට එබෙන්න කලින්.

පැන්ජියා කියන සුපිරි මහද්වීපය අවසන් වරට අදින් වසර මිලියන 300 ත් 200 ත් අතර කාලයේ දකින්න ලැබුනු බවයි පොදු පිළිගැනීම ( මේ කාලය තුල ඩයිනෝසෝරයන් ජීවත් වෙනව). පැන්ජියා ( Pangaea or Pangea) කියන වචනය නිර්මානය වෙන්නෙ ග්‍රීක වචන දෙකක එකතුවෙන්. pan – සම්පූර්ණ, Gaia ( Earth) – පොළව. මේ සුපිරි මහද්වීපයට ආසියා අප්‍රිකා ඇමරිකා ආදී සියළුම මහද්වීප අයිති වෙනවා.

මේ සුපිරි මහද්වීපය කෑලි වලට කැඩිල හෙමින් සැරේ විවිධ ගොඩබිම් නිර්මාණය වෙද්දි ඒ බිම් වල වෙසෙන සතුන් ඒ ඒ ගොඩබිම් වලට විශේෂ වෙනවා. ඒ අනුව අලි ඇතුන්ගේ මුතුන් මිත්තන් හෝ ඒ පවුලේ මුල්ම ජීවීන්ටත් මේ ක්‍රියාවලියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉන්දියානු කලාපයේ විතැන්වීමත් එක්ක ඇත් විශේෂ හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන් ආසියාව දක්වා ළඟාවූ බවටත් මතයක් පවතිනවා.

අවුරුදු බිලියන 4, 5ක් වගේ වයසක් තියන පෘථිවියේ දැනට වසර මිලියන 65කට පමන කලින් ඩයිනෝසෝරයන් වඳවී ගිය බව අපි දන්නවා. උල්කාපාතයක් පෘථිවිය හා ගැටීමෙන් සිදුවෙන මහා විනාශය නිසා වායුගෝලය දුම් හා දූවිලි වළාවකින් වහගන්නවා. මේ දූවිලි තිරය නිසා ඉර එළිය පෘථිවියට වැටීම සිදුවෙන්නෙ නෑ. අවුරුදු 30,000 ක වගේ කාලයක් ගතවෙනව නැවත සැරයක් පෘථිවිය ජීවත් වීමට සුදුසු තැනක් බවට පත්වෙන්න.

එතකොට මේ කාලය තුළ මේ පොළවේ කිසිම ජීවියෙක් ජීවත් වුනේ නැද්ද? ජීවත් වෙනව ගුහා හා අඳුරු පරිසරයන් තුළ. ගෙඹි වර්ග, සමහර කිඹුල් වර්ග, ඉතාම කුඩා මීයන්, සලමන්ඩර් වගේ ජීවීන් අවුරුදු දාස් ගානක් තිස්සෙ අඳුරේ ජීවත් වීමේ ප්‍රථිඵලයක් විදිහට තමයි මිනිසා නිර්මාණය වෙන්නෙ. මේ ජීවීන්ගෙන් වැඩි කොටසක් අයිති වෙන්නෙ තේරියා ( Theria (/ˈθɪəriə-Greek ) කියන කොටසට.

බිත්තර වෙනුවට පැටව් බිහිකරන, කිරි බී වැඩෙන, ශරීරයේ රෝම ඇති මේ තේරියා කියන කොටසට තමයි බොහොම කාලයකට පස්සෙ නිර්මාණය වෙන හෝමෝ සේපියන්ස්ල හෙවත් මිනිසා කියන කොටස අයිති වෙන්නෙ. ඩයිනෝසෝර් අයිති වෙන්නෙ කුරුල්ලන් වගේම තෙරෝපෝඩ්ස් කියන පවුලට. තේරුම් ගැනීමේ පහසුවට ඩයිනෝසෝර් කියන්නෙ කුරුළු පවුලේ සත්වයෙක් කීවොත් ඒකෙ වරදක් නෑ.

ඩයිනෝසෝර් කියන්නෙ පෘථිවිය පාලනය කරපු බලය තිබුනු සත්ව විශේෂය. මේ අය වඳවෙලා ගියාට පස්සෙ බලවත් වෙන ක්ශීරපායි කාණ්ඩයේ සත්තුන් අතර තරඟයක් ඇතිවෙනවා බලය සඳහා වගේම සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නත්. සමහර සතුන් උල් දත්, නිය, ශක්තිමත් පාද, බලවත් හකු, අඟ වගේ දේ ලබාගන්නව දඩයම් කරන්නත් ආරක්ෂා වෙන්නත්.

තවත් සමහර සතුන් ශරීර ප්‍රමාණයෙන් විශාල වෙනවා. හිපපොටේමස් වගේ… ජිරාෆ් උසින් වැඩිවෙනවා… චීටා වේගවත් වෙනවා… කටුස්සන් වගේ තවත් සමහර සතුන් පරිසරයට අනුව ශරීරයේ පාට වෙනස් කරන්න ඉගෙන ගන්නවා …. බූවල්ලන් තමන්ගෙ බුද්ධිය හා තාර්කික ශක්තිය දියුණු කරගන්නව තවත් සමහරු පොළව යට ආරක්ෂිත බංකර් හදාගන්නවා. රංචු වශයෙන් සංවිධානය වෙනවා. එකිනෙකාට කතා කරන්න දියුණු සන්නිවේදන ක්‍රම හදාගන්නවා. මේක හරි ආකර්ශණීය කාලයක්. හැම සතෙක්ම හැම ගහක් වැලක්ම සටන් කරනවා තමන්ගෙ තැන තහවුරු කරගන්න. මේ අයට වැඩි කාලයක් නෑ වෙනස්වීම් කරන්න.
අනිත් ජීවීන් තමන්ට වඩා ඉක්මනින් දියුණු වුනොත්, පරිණාමය වුනොත් තමන් හා තමන්ගෙ වර්ගය අනතුරේ.

වසර මිලියන දාසයකට විතර කලින් මෙන්න මේ තරඟ කරන සතුන් අතරේ ඉන්න කෙනෙක් ලක්ෂන හා හැකියාවන් කීපයක්ම දියුණු කරගන්නවා. එයා ශරීර ප්‍රමාණයෙන් විශාල වෙනව, එතකොට වේගය අඩුවෙන නිසා අනතුරු දායක බව අඩුවෙන්නෙ නෑ. එයින් බේරෙන්න දිග දත් දෙකක් නිර්මාණය කරගන්නවා. ටස්ක්ස් ( Tusks) හෙවත් දළ විදිහට මේ දත් පසුකාලීනව හඳුන්වනවා. නමුත් වතුර බොන්න වගේම බිම තියන පැලෑටි වර්ග ආහාරයට ගන්න මේ අයට බිමට නැමෙන්න වෙනවා.

මේ මොහොත ඉතාම අනාරක්ෂිත වෙන්නෙ ඕනෙම ප්‍රහාරකයෙකුට පහසුවෙන්ම පහර දීමට අවස්ථාව සැලසෙන නිසයි. මේකෙන් ගැලවෙන්න මේ අය තමන්ගෙ නාසය අසාමාන්‍ය ලෙස දිග් කරගන්නවා. වතුර බොන්න විතරක් නෙවේ බිම වැටිල තියන ධාන්‍ය ඇටයක් අහුල ගන්න තරම් මේ ශරීරාංගය සංවේදී වෙනවා. විශාල ශරීරයක උශ්නත්වය පාලයන කරන්න විශාල කන්දෙකක් නිර්මාණය කරගන්නවා. උස් ගස්වල ඉහළ ශඛාවලට ළඟා වෙන්න හැකියාව ලැබීම මේ හොඬයේ තවත් ප්‍රයෝජනයක්. මේ ඔක්කොම කරලත් වසර මිලියන ගාණක් පුරා අත්හදා බැලීම් කරලත් මේ අයට පුළුවන් වෙනවද ආරක්ෂාකාරී වෙන්න.?
බැහැ… මේ තරඟය ලේසි එකක් නෙවේ.

මේ අය තමන්ගෙ සිතීමේ හැකියාව, තර්ක ශක්තිය, තීරණ ගැනීමේ හැකියාව, මතකය දියුණු කරගන්නව ජීවත් වීමේ උපක්‍රමයක් විදිහට. පහුකාලීනව බුද්ධිය ලෙස හඳුන්වන්නෙ මේ හැකියාවන්. ඒත් ප්‍රමාණවන් නෑ. ඒ නිසා මේ අය කණ්ඩායම් වශයෙන් සංවිධානය වෙනවා. තීරණ ගන්න නායකයෙක් හෝ බොහෝවිට නායිකාවක් පත් කරගන්නවා. වඩාත්ම අත්දැකීම් ඇති, මතකය ඇති මඟ පෙන්වන්නෙක් නැතුව වතුර තියන තැන් හොයාගෙන යන්න බෑ. වසර ගානක මතකයන් නැතුව වියලි කාලෙදි හැතැප්ම සිය දාස් ගානක් ගෙවාගෙන ගස් වැල් තියන ප්‍රදේශයක්, වතුර තියන ප්‍රදේශයක් හොයා ගන්න බෑ. එක පොඩි ගල් කැටයක්… තරු රටාවක්…. වාතයේ ගඳ සුවඳ… පසේ සුවඳ… මේ හැම පොඩි මතකයක්ම ගබඩා කර ගන්න වෙනවා තමන්ගෙ කණ්ඩායමට පාර පෙන්නන්න නම්. හේතුව මේ සමහර ගමන් කිලෝමීටර් දාහකට වඩා වැඩි වෙන්න පුළුවන්.

එක පොඩි මඟ හැරීමක්… අමතකවීමක් සිය ගාණකගේ මරණයට හේතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ අය එකිනෙකාට කතා කිරීමේ .. සන්නිවේදනය කිරීමේ ක්‍රම හොයා ගන්නවා. සන්නිවේදනය කීවම අපිට ඇහෙන හඬ විතරක් නෙවේ. පොළවට පයින් පහර දීම තුලින් ඇති කරන කම්පනයෙන් මේ අය අඩුම තරමෙ හැතැප්ම තිහක වගේ දුරකට සන්නිවේදනය කරනවා. වෙනස් නායකත්වයන් තියන කණ්ඩායම් දෙකක් මුනගැහුනොත් මේ අය සටන් කරනවද.? නැහැ.. එහෙම මූනට මූන හමුනොවෙන්න මේ අය කලින්ම සන්නිවේදනය කරනවා. හමුවුනොත් ගැටීමක් නැතිව මගෑරල යනවා. ඒ එක්කම අනිකුත් සතුන්ට ඇහෙන්නෙ නැති වෙනම සන්නිවේදන ක්‍රම මේ අය අනුගමනය කරනවා. සමහර ශබ්ද කිසිවෙකුට නෑසී හැතැප්ම දහයක් වගේ දුරට ගමන් කරනවා. (පසුකාලීනව මෙන්න මේ freequency එකේ තරංග හසු කරගන්න ඇත් දත් ජාවාරම්කරුවන් වගේම… ඔවුන්ට විරුද්ධ ආරක්ෂක නිළධාරීනූත් උත්සාහ කරනවා.)

මේ අයගෙ මතක ශක්තිය… සන්නිවේදනය…. හැඩ ගැහීම පුදුමාකාරයි. මේ කතා කරන්නෙ අවුරුදු මිලියන ගානකට කලින් සිද්ධවෙන සිදුවීම් මාලාවක්. ඔය දෙවි දේවතාවො… සුරංගනාවො … යක්කු භූතයො මිහිමත රඟපාන්න කලින් සිදුවෙන සිදුවීම් මාලාවක්. දළ වශයෙන් කීවොත් අවුරුදු මිලියන විස්සක- මිලියන දෙක වගේ කාලයකට කලින් වෙන සිදුවීම්. මේ එක් එක් හැඩ ගැහීමම් වලට අනුව මේ අයගෙ විවිධ ශාඛා හෝ පවුල් විවිධාකාරයෙන් හඳුන ගන්න පුළුවන්. මෙයින් අදහස් වෙන්නෙ නෑ මේ හැමදෙනාම එකම පවුලකට අයිති බව. ( පලවෙනි පිංතූරයෙන් මේ අයගෙ හැඩ රුව හා ප්‍රමාණය ගැන සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්)

මේ අයගෙ හැඩ ගැසීමට තවත් හොඳ උදාහරණ සිසිලි හා මෝල්ටා කියන දූපත් වලින් හමුවෙනවා. මධ්‍යධරණී මුහුදෙ තියන මේ දූපත් ප්‍රමාණයෙන් කුඩා බව අපි දන්නවා. Palaeoloxodon falconeri කියන මේ ඇත් විශේෂයේ උස මීටරයක් වෙද්දි බර කිලෝ තුන්සීයක් පමණ වෙන්නෙ. අදින් වසර ලක්ෂ අටකට පමණ පෙර ස්ට්‍රේට් ටස්කඩ් වැනි විශේෂ යුරෝපයට ළඟා වෙනවා(Straight-tusked elephant). මෙයින් සමහරෙක් වගේම වෙනත් වර්ග වල ඇතුන් දකුණු ඉතාලිය හරහා සිසිලියටත්… ග්‍රීක දූපත් හරහා මෝල්ටාවටත් ළඟා වුනු බවට මේ විෂයේ විශිෂ්ඨයන් අදහස් දක්වනවා. එතකොට මේ විශාල ඇත් වර්ග මධ්‍යධරණී දූපත්වලදි මේ තරම් කුඩා වෙන්නෙ කොහොමද.?

ඒ තමයි දූපතේ විශාලත්වයට හා ආහාර වලට හැඩ ගැහීමේ වේගය. මේ අයගෙ මුතුන් මිත්තන් ගැන අපි සරලව කතා කරමු. පහත දැක්වෙන සත්ව විශේෂ අපිට සෘජුවම හඳුන්වන්න බැහැ අද ඉන්න අලි ඇතුන්ගෙ මුතුන් මිත්තො ( Ancestors ) විදිහට. නමුත් මේ හැමෝම එකම ගහක අතු හෝ ශාඛා කිව්වොත් වැරදි නෑ. ( විවිධාකාර මත… න්‍යායන් තිබෙන නිසාත්… මේ විෂයේ ප්‍රවීනයන් මේ ලිපි කියවන නිසාත් වැඩි විස්තර නැති මධ්‍යස්ත තැනක ඉඳල අපි මේ අයව තේරුම් ගන්න උත්සාහ කරමු)

තේරියා කියන සත්ව පවුලේ සතුන් උල්කාපාත විනාශයෙන් පස්සෙ පොළව යට කලක් ජීවත් වූ බව අපි කලින් කතා කලා.

1. මොඑරිතේරියම් Moeritherium.
එරිතේරියම් කියන කුඩා සත්වයාගෙන් බිඳිල එන මේ අය ජීවත් වෙන්නෙ අවුරුදු මිලියන 55.8–33.9 වගේ කාලයක. ඉතා කුඩා දළ දෙකක් හෝ දත් දෙකක් ඇති මේ අයට හොඬයක් හෝ විශාල කන් දෙකක් නෑ. ප්‍රමාණයෙන් කුඩායි.

2. ඇමෙබෙලොඩොන් Amebelodon
අදින් අවුරුදු මිලියන 8- 10 වගේ පෙර කාලෙක ජීවත් වෙන මේ අයට දළ හතරක් තියනවා. උඩු ඇන්දෙ දළ දෙකට වඩා යටි ඇන්දෙ දළ දෙක විශාලයි. යටි ඇන්ද නිර්මාණය වෙලා තියෙන්නෙ වැඩි ශාඛ හෝ පැලෑටි ප්‍රමාණයක් පහසුවෙන් ආහාරයට ගන්න පුළුවන් වෙන්න. ශරීර ප්‍රමාණය අද ඉන්න අලියෙකුට වඩා තරමක් කුඩායි. අප්‍රිකාවෙ වගේම.. ආසියාවටත් .. උතුරු ඇමරිකාවටත් මේ අය පැතිරෙනවා.

3. ඩෙයිනෝතේරියම්- Deinotherium
අදින් අවුරුදු මිලියනයකට වගේ කාලයකට කලින් ඉඳල වසර විසිදාහ දක්වා මෑත කාලයක් දක්වා ඩෙයිනෝතේරියම් ජීවත්වෙනවා. මේ අය ශක්තිමත් යටි හනුවේ දළ දෙක ඇතුලට නෙරල තියෙද්දි උඩු හනුවේ දළ දකින්න වෙන්නෙ නෑ. හෝමෝ සේපියන්ස් වගේම නියන්ඩතාල් මානවයත් මේ අයව දඩයම් කරනවා. දේශගුණ විපර්‍යාස වලට හැඩ ගැහීමේ නොහැකියාවත් මේ අය වඳවීයාමට හේතුවක් වෙන්න පුළුවන්.

4. ගොම්පෝතේරියම් – gomphotherium
ශක්තිමත් යටි හනුවේ දළ දෙකට වඩා උඩු හනුවේ දළ දෙක ප්‍රමාණයෙන් ඉතාම දිගයි. ශක්තිමත්. ඒ කියන්නෙ මේ අයටත් දළ හතරක් තියනවා. වසර මිලියන විස්සත් තිහත් අතර කාලයකට පෙරයි මේ අය ජීවත් වෙන්නෙ.

5. ස්ටෙගොටෙට්‍රාබෙල්ඩොන්- stegotetrabelodon
මේ අයගෙ යටි හනුවේ දළ දෙක වගේම උඩු හනුවේ දළ දෙකත් ඉතාම ශක්තිමත් වගේම දිගයි. හරියට දළ හතරක අප්‍රිකානු ඇතෙක් වගේ. ශරීරය ඉතාම ශක්තිමත්. වර්ථමාන අප්‍රිකානු ඇතාගේ ප්‍රාථමික අවදිය විදිහට ස්ටෙගොටෙට්‍රාබෙල්ඩොන්ව හඳුන්වන්න පුළුවන්. දැනට අවුරුදු මිලියන හයකට වගේ පෙර මේ අය පෘථිවියේ ජීවත් වෙනවා.

6. ස්ටෙගොඩොන්. Stegodon
අවුරුදු මිලියන එකොලහකට වගේ කලින් කාලයක ඉඳල දැනට අවුරුදු 8000/9000 වගේ මෑත කාලයක් වෙනකල් මේ අය ජීවත් වෙනවා. ශක්තිමත් ශරීරයකට හිමිකම් කියන මේ අයගෙ ශරීරයේ ප්‍රමාණයට අනුව දළ දෙකේ ප්‍රමාණය ඉතාම විශාලයි.

7. මැස්ටොඩොන්. Mastodons
අප්‍රිකානු කලාපයේ වගේම චීනයේ කහ ගඟ ආශ්‍රිතව.. පිලිපීනය… තායිවානය… ජපානය වගේ කලාප වල මේ අය වේගයෙන් පැතිරෙන්නෙ අනික් ඛාණ්ඩවලට වඩා පිහිනීමට මේ අය ඉතාම දක්ෂ නිසයි. මැස්ටොඩොන්ගේ ශරීරයේ රෝම අධිකව වර්ධනය වීම විශේෂත්වයක්. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයෙන් පිටත් වෙලා උතුරු ප්‍රදේශයට ගමන් කිරීමේදී උෂ්ණත්වය පහළ වැටෙනවා. අන්න ඒ අඩු උෂ්ණත්වයට එහෙමත් නැත්නම් සීතලට හුරුවෙන්න මේ අය ලෝම සහිත හමක් නිර්මාණය කරගන්නවා. දළ දෙක වක්‍රාකාරව ඉහළ නැමීම විශේෂත්වයක්.

8. මැමුතුස් හෙවත් මැමොත්. – Mammoth
මැමොත්ල ගැන අපි අනිත් කුලයන්ට වඩා හොඳින් දන්නවා. චිත්‍රපට … කාටුන් චිත්‍රපට.. කතන්දර හරහා මේ අය වඩාත් ජනප්‍රියයි. අප්‍රිකානු අලියෙකුට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාලයි වගේම හොඳින් වැඩුනු ශක්තිමත් දළ අප්‍රිකානු ඇතුන්ට වඩා ප්‍රමාණයෙන් විශාලයි. මුළු ශරීරයම ඝන ලෝම තට්ටුවකින් වසාගත් මැමොත්ගෙ හිස පවා ලෝම වලින් වැහිල තියෙන්නෙ. ඒකට හේතුව මේ අය අප්‍රිකාවෙ ඉඳල ඉහළ සයිබීරියානු සීත කලාප වලට සංක්‍රමණය වීම. ඒ අධික සීතලට ඔරොත්තු දෙන්න හම පමණක් නෙවේ ශරීරයේ අභ්‍යන්තර අංග පවා මේ අය වෙනස් කරගන්නවා. දැනට අවුරුදු මිලියන පහකට පමණ ඉඳල වසර හාරදාහකට පෙර පමණ කාලය දක්වා මේ අය ජීවත් වෙනවා. ඇලස්කාවෙ වගේම සයිබීරියානු කලාප වලත්… රුසියානු ව්‍රැන්ග්ල දූපත්වලත් මේ අය අවුරුදු පන්දාහක් තරම් මෑත කාලය දක්වා ජීවත් වෙනවා.

මේ තරම් ශක්තිමත් අපූරු සතෙක් වඳවුනේ කොහොමද.? එකක් නියන්ඩතාල් වගේම තමයි මිනිසා හෙවත් හෝමෝ සේපියන්ස්ගේ දඩයමට ලක්වීම. නමුත් ප්‍රධානම කාරණය වෙන්නෙ දේශගුණ විපර්‍යාස. අවසන් ග්ලැසි‍යල් කාලපරිච්චේදය හෙවත් ලෝකයේ ශීත කාලය පටන් ගන්නෙ වර්ෂ 120,000 කට වගේ පෙර. මේ කාලය අවසන් වෙනවා අදින් අවුරුදු 12,000 කට වගේ පෙර කාලයේ. අපි මේ කතා කරන සත්ව විශේෂයේ ඉතිහාසයත් එක්ක සසඳද්දි මේ අයිස් යුගය කියන්නෙ ඉතාම සුළු කාල පරිච්ඡේදයක්.

එතකොට මේ සුළු කාල පරිච්ඡේදය තුල පවා මැමොත් වගේ සත්තු හැඩ ගැහෙනවා… තමන්ව වෙනස් කරගන්නවා. ග්ලැසියර් කාලය ඉවර වෙනවිට මේ අයට කාලයක් නෑ අළුත් උශ්ණත්වයට වසර හත් අටක් තුළ හැඩ ගැහෙන්න. මේ හැඩ ගැහීමේ වේගය කොයිතරම් පුදුමාකාරද කියනව නම් ඒ වේගයම හේතුවෙනව මේ අයගෙ විනාශයටත්.

වසර මිලියන තුනයි දශම දෙකකට වගේ පෙර කාලයේදී මැමොත්ල යුරෝපයේ උතුරටත් එතනින් උතුරු ඇමරිකාවටත් ගමන් කරනවා. මේ කාලයේ ඇතිවන අයිස් යුගය ( Quaternary Glacial period) නිසා සාගර ජල මට්ටම පහත වැටීමත් අධික ඝණත්වයකින් යුත් අයිස් තට්ටු නිර්මාණය වීමත් නිසා මැමොත්ලට පුළුවන් වෙනවා මහද්වීප අතර ගමන් කරන්න. මේ අයම පැනමා තීරය හරහා දකුණු ඇමරිකාවට ළඟාවෙනවා.

9. එලෙෆාස් ඇන්ටිකුස්- Elephas antiquus
Straight-tusked elephant ස්ට්‍රේට් ටස්කඩ් විදිහටත් මේ අයව හඳුන්වනවා. නමුත් මේ දෙපිරිස අතර සුළු වෙනස්කම් දකින්න පුළුවන් වගේම වගේම වෙනස් කුලක වලට අයිති බවත් මත තියනවා. මේ අය ජීවත් වෙන්නෙ දැනට අවුරුදු 781,000–30,000 අතර පෙර කාල සීමාවෙදියි. ඇල්ප්ස් කඳුකරය ඇතුළු යුරෝපය… බටහිර ආසියාව මේ අයගේ වාසභූමි විදිහට සඳහන් වෙනවා.

10. Loxodonta ලොක්සොදොන්ටා හෙවත් වර්ථමාන අලි ඇතුන්.
ලොක්සොඩොන්ටා අප්‍රිකානා සහ ලොක්සොඩොන්ටා ආසියාතිකා කියල මේ අය කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නෙ අපි අද දන්න සහ ඉතුරු වෙලා ඉන්න එකම කුලය වන අප්‍රිකානු හා ආසියානු අලි ඇතුන්. මුල්ම අප්‍රිකානු අලි ඇතුන් ගැන අපිට අහන්න ලැබෙන්නෙ දැනට වසර මිලියන 5.6 සහ 2.5 වගේ කාල‍යකට පෙරදියි. මේ අයගෙන් ආසියානු අලි හා ඇත් කාණ්ඩය බෙදෙන්නෙ වසර මිලියන 5.2 – 2,4 ක වගේ කාලයකට පෙර බවටයි සැලකෙන්නෙ. බොට්ස්වානා… සිම්බාබ්වේ… ටැන්සානියා, කෙන්‍යා, නැමීබියා, සැම්බියා හා දකුණු අප්‍රිකානු යන රටවල් අලි ඇතුන් ජීවත් වෙන ප්‍රධාන අප්‍රිකානු රටවල් විදිහට අපිට දකින්න පුළුවන්.

නමුත් අප්‍රිකානු රටවල් 54 අතරින් රටවල් 34ක පමණ සුළු වශයෙන් හෝ අලි හෝ ඇත් ගහනයක් වෙසෙන බවට වාර්තාවල සඳහන් වෙනවා. අප්‍රිකානු අලි ඇත් ජනගහනයෙන් ඉතුරු වෙලා ඉන්නෙ 415,000 ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි අද වෙද්දි. මේ ප්‍රමාණයෙන් 170,000 ක් පමණ ජීවත් වෙන්නෙ බොට්ස්වානා රාජ්‍යයේ. දැනට අවුරුදු මිලියන දෙක තුනකට කලින් (දල වශයෙන් කීවොත් ) මේ අප්‍රිකානු අලින්ගෙන් කොටසක් ආසියානු රටවලට ළඟා වෙනව දීර්ඝ ගමනකින් පස්සෙ.

ඒ අනුව ඒ අය ආසියානු අලි ඇත් පවුල නිර්මාණය කරනවා. ආසියානු රටවල් දහතුනක පමණයි අද වෙද්දි අලි ඇත්තු ජීවත් වෙන්නෙ. චීනය, ඉන්දියාව, නේපාලය, භූතානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ලාඕස්, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය, මියන්මාරය, කාම්භෝජය කියන රටවල් දහතුනේ ජීවත් වෙන අලි ඇතුන් සංඛ්‍යාවේ එකතුව 48,000 -52,000 අතර සුළු ප්‍රමානයක් විතරයි. ලංකාවෙ ජීවත් වෙන අලි ඇතුන් ප්‍රමාණය කොයි වගේද..? 15,000ක්. කැලයේ ඒ කියන්නෙ ඒ අයට අයිති භූමියේ ජීවත් වෙන අලි ඇතුන් සංඛ්‍යාව 7500 ක් පමණ ඉතාම සුළු සංඛ්‍යාවක්. ( වන ජීවී ආයතනයට ස්තුති වන්ත වෙන්න ඕනෙ කලින් හිටියට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂා කිරීමේ උත්සාහයට)

අලි ඇතුන් 300- 350 ක් පමන මනුශ්‍ය සේවයට එහෙමත් නැත්තං වහල් සේවයට යොදවල ඉන්න බවත් නොකියම බැහැ. මේ කතා කරන ඇතුන් එහෙමත් නැත්නම් අලි ඇතුන් වසර මිලියන ගණනාවක් තිස්සෙ පෘථිවියේ සිදුවෙන වෙනස්කම් වලට මුහුණ දෙනවා. අයිස් යුග පහු කරනවා… අයිස් දියවෙන යුග පහු කරනවා. තමන්ගෙ පරම්පරාව බෝ කරන්න මේ අය අයිස් කඳු තරණය කරනවා.. සුදුසු බිමක් හොයාගෙන සයිබීරියාවට විතරක් නෙවේ අයිස් තට්ටු මත ගමන් කරමින් ඇමරිකාවට ළඟා වෙනවා. ගහ කොළ සහිත බිම් හොයමින් ආසියාවට ළඟා වෙනවා. මිනිසා නැමැති සතා මිහිමතට එන්න අවුරුදු ගණනාවකට කලින් මේ අය ලෝකය හඳුන ගන්නවා. ඒ ලෝකයට හැඩ ගැහෙනවා.. ඒ ඒ කාලවලට ඔරොත්තු දෙන්න තමන්ගෙ ශරීරය හැඩ ගසා ගන්නවා. මේ සත්තු පරම්පරාවෙන් පරම් පරාවට දායාද කරපු දැනුම පුදුමාකාරයි. දැන් මොකද වෙන්නෙ ? මේ තරම් වසර මිලියන ගානක් පුරා මිහිමත ගමන් කරපු දැවැන්තයො මිනිසා නැමැති කුරිරු සත්වයා ඉදිරියේ අසරණ වෙනවා.

කොයිතරම් අසරණ වෙනවද කීවත් තමන්ගෙ ආඩම්බරය හෙවත් දළ දෙක පවා නැතුව උපදින්න තීරණය කරනවා. එක එක සංස්කෘතීන් විවිධ කතන්දර කියනවා. හැබැයි ඒ කතන්දර ගොතන මිනිසාගේ ඉතිහාසය අවුරුදු 200,000 ක් වත් නෑ. ශිෂ්ඨාචාර බිහිවෙන්නෙ අවුරුදු 6000, 7000 වගේ මෑත කාලෙ.

වෙළඳාම බිහිවෙන්නෙ අවුරුදු හාර පන්දාහකට කලින් පමණයි. ඒ විතරක් නෙවේ ඒ මිනිසා කතා කරන ආගම් බිහිවෙන්නෙත් අවුරුදු 3000ක පමණ මෑත කාලයේ.

මේ වගේ දූවිල්ලක් නොවටින සංස්කෘතියක්.. ආගමක් .. වෙළඳාමක් කර ගහගෙන අවුරුදු මිලියන පනහක හැටක ඉඳල මිහිමත ගමන් කරන දැවන්තයාව බැඳ දාන්නෙ… වහල් කමට ගන්නෙ කොහොමද.?

ලැජ්ජාවක්.. හෘද සාක්ශියක් කියල එකක් මිනිසාට හෙවත් හෝමෝ සේපියන්ස්ට තියනවද.? අලි ඇතුන් ගැන කතා කරද්දි අල්ලපු වැටේ කුකුළයි.. ඉහළ ගමේ ඌරයි බූරුවයි ගැන කතා කරන බූරුවො ගැන මොනවද හිතෙන්නෙ.? සමහර විට මේ දැවැන්තයා තමන්ට හිමි කැලයේ සැරිසරනව දකින අවසන් පරම්පරාව අපි වෙන්න ඇති. ඒ ගැන හිතෙද්දි දැනෙන්නෙ දුකක්ද… ලැජාවක්ද කියන්න වැටහෙන්නෙ නෑ.

-malcolm sang-

Social Sharing
අවකාශය නවතම