බීර සුවඳැති හාදු ගැන…!

“බීර සුවඳැති හාදු” කෝඩුකාර නවකතාකරුවෙක්ගෙන් බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ නවකතාවක් යැයි කීවාට වරදක් නැත. තවත් ලෙසකින් කිවතොත් “බීර සුවඳැති හාදු” නවකතාකරණයට හාහා පුරා කියා පා තබන්නෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රශස්ථම මට්ටමේ නවකතාවක් වේ. එනිසාම මට කිසිවිටෙක ඈ ආධුනික කතුවරියක ලෙසින් පෙනුනේ නැත.

“බීර සුවඳැති හාදු” කීප ආකාරයකින් කියවා ගත යුතු නවකතාවක් යැයි මට හැඟේ. ප්‍රථමයෙන් ඕනෑම පොත් කියවන්නෙකු කරනා සරල එහෙත් ආත්මීය කියවා ගැනීමේ ආකාරයට ය. ප්‍රථම කියවාගැනීම මෙන්ම වැදගත්ම කියවාගැනීමද මෙය වේ. මන්දයත් ඕනෑම පොතකට ආත්මීයව එළැඹෙන්නේ නැති නම් අනෙක් කිසිදු කියවාගැනීමකට අවතීර්ණ වනු බැරි ය. දෙවනුව කතාව පිළිබඳව දෘෂ්ටිමය හා චින්තනමය කියවා ගැනීමක් කළ යුතු ය. තෙවනුව භාෂාමය හා සාහිත්‍යමය කියවාගැනීමක් ද කළ යුතු ය. අවම වශයෙන් මේ කියවාගැනීම් ත්‍රිත්වය හෝ නොකොට පොතක් ගුණ අගුණ පිළිබඳව විනිශ්වයකට එළැඹීම සැබවින්ම හාස්‍යජනක ය, අනුකම්පා උපදවන සුළු ය.

බීර සුවඳැති හාදු ආත්මීයව කියවාගැනීම පිළිබඳව යමක් කීමට මත්තෙන් පොතක් ආත්මීයව කියවා ගැනීම සම්බන්ධයෙන්

නවකතාවේම තිබූ යම් දෙබසක් උපුටා ගැනීමට මගේ මනස මා හටම ඇරයුමක් කරයි.

“යස්.. ටිකක් ඉමෝෂනල් වුණා. මේ පොත් කියවද්දි” රාධා වේදනාත්මක සිනාවක් පෑවාය.

“පොතේ තිබ්බ දේකටද? නැත්නම් ජීවිතේ දෙයක් පොතේ තිබ්බද?” ඇලීෂා ඇසුවෙ යන්තම් හිනැහෙමිනි.

“දෙවෙනි එක” රාධා ඇස් කැරකෙව්වාය.

“අතීතෙට යන්න එපා රාධා… නිකන් බොරුවට හිත රිදවගන්නවා” රාධාගේ බෑගය තමන් අසළට ගෙන පොත එතුළට ඔබන අතරේ ඇලීෂා කිව්වේ නෝක්කාඩු හඬිනි.

රාධා ටිකක් හඬනැඟෙන්නට හිනැහුණාය.

“ඔයා යන්නෙ නැද්ද අතීතෙට?” ඇය ඇසුවේ ඇලීෂාගේ දෑස් දෙසම බලාගෙනය.

“නෑ.. එකම පොතක් දෙපාරක් කියවනකොට රසයක් නෑ.”
..
..
“සමහර පොත් තියෙනවා එක පාරක් කියෙව්වට තේරෙන්නේ නෑ ඇලීෂා.. එහෙම පොත් අපි දෙපාරක් කියවනවා නේද”
…………………..

බීර සුවඳැති හාදු ආත්මීයව කියවා ගැනීම තරමක් අපහසු ය. මන්දයත් ඒ තුළට මට මාත්, මගේ ජීවිතේ මට හමුවූ විවිධාකාර චරිතත් හමුවන නියාවෙනි. එහෙයින්ම බීර සුවඳැති හාදු හදවතේ යම් යම් තැන්වලට ඇල්පෙනෙති තුඩුවලින් අනින්නාක් මෙන් දැනේ.
කෙසේ නමුත් අප විසින් නවකතාවක් කියවනවාට වඩා නවකතාවක් විසින් අපව කියවීමට ගැනීම කතුවරියගේ කෞෂල්‍යය අතින් ඈ දිනුම් ය.. පාඨකයා වන අපේ පාර්ශවයෙන් අප නිරුත්තර ය.

එසේ නමුත් ආත්මීය කියවා ගැනීම අතින් බීර සුවඳැති හාදු මා කොතෙක් නිරුත්තර කළද එය හාදුවක් ලෙසින්ම භාරගන්නව විනා මට වෙනත් විකල්පයක් නොමැත.  මෙලෙස පාඨක මනෝභාවයන් හා නවකතාවේ පුද්ගල චරිතවල හෝ සිද්ධිවල මනෝභාවයන් එකිනෙක සමපාත කරවිය හැකිවීම ඕනෑම කලා නිර්මාණයක් මඟින් වියයුතු අති වැදගත් සංසිද්ධියකි. එසේම එකී සංසිද්ධිය නිර්මාණය කළ හැක්කේද අති ශූර ආත්මීය කතුවරුන්ට පමණක්ම වේ.

මේ ආදී වූ හේතු සාධක මත බීර සුවඳැති හාදු ආත්මීයව ඔබට, මට, අප සැවොමටම අතීශයින් රහසිගත ස්වයං සංවාද ගොඩ නඟා ගැනීමට මහඟු ප්‍රවේශයකැයි ද කියත හැක.

බීර සුවඳැති හාදු නවකතාව තුළින් කතුවරිය විශද කරන්නාවූ දෘෂ්ටිමය හෙළිදරව්ව අති වැදගත් දෘෂ්ටිමය සංවාදයකට සාධනීය එළැඹුමකි.

දිල්ෂි තත්සරණි

ඒ තුළ ඈ ප්‍රධාන වශයෙන් මතු කරන කාරණාවක් නම් කිසිදු පිරිමියෙක් හෝ කිසිදු ගැහැනියෙක් මුළුමනින්ම අසම්ප්‍රදායික හෝ නූතනමය සිතුවිලි ඇති පිරිමියෙකු හෝ ගැහැනියෙකු නොවන බවයි.

මෙළොව වසනා මනුෂ්‍යයින් කොයි තරම් අසම්ප්‍රදායිකත්වයට හෝ නූතනත්වයට එළැඹියද ඔවුන්ගේද අඩු වැඩි වශයෙන් සම්ප්‍රදායික සිතුවිලි බමනා බව කතුවරිය විසින් අති සූක්ශමව හෙළි කරයි.

සම්ප්‍රදායිකත්වය ව්‍යාජ අසම්ප්‍රදායිකත්වය තුළින්ද, ව්‍යාජ අසම්ප්‍රදායිකත්වය අව්‍යාජ අසම්ප්‍රදායිකත්වය තුළිනුත් නවකතාව තුළදී ප්‍රශ්න කිරීම අති ප්‍රශස්ථ මට්ටමකින් නවකතාව පුරාවටම සිදු වේ.

අපි අප ගනුදෙනු කරනා සමාජීය, සංස්කෘතික හා මතවාදී වටපිටාවන් තුළ කොයි තරම් නිදහස්, නූතන, අසම්ප්‍රදායික මිනිසුන් සේ සිතා සිටියද අපේ සිත් තුළ කොයි තරම් සම්ප්‍රදායික චෛතසිකයන් සංසරණය වනවාදැයි අපම දනී. කෙසේ නමුත් ඒවා බාහිර ලෝකයට කාන්දු කරනා ප්‍රමාණය මත සමාජය විසින් අප කෙතෙක් දුරද සම්ප්‍රදායික ද යන්න ලේබල් කරයි. නමුත් අපේ අව්‍යාජත්වය හඳුනන්නේ අපම පමණයි.

“ජීවිතෙන් දේවල් ඉගෙන ගන්න ස්වීට්. ඔයා දේවල් තේරුම්ගන්න පුළුවන් ගෑනියෙක්” දේවන් ඇලීෂාගේ අතක් උඩින් සියත තැබුවේය.

“සමහරවිට ආදරේ අපිව මෝඩ කරනවා කියන කතාව ඇත්ත වෙන්න ඇති.” ඇලීෂා වුවමනාවට එපාවට කියා දැම්මාය.

දේවන් හිනැහුණේය. ඒ අතර ඔහුගේ අත ඇගේ අතැඟිලිවලින් මිදෙව්වේය.

“එහෙනම් ඇයි තමන්ව මෝඩ කරන ආදරයක් පස්සේ දුවන්නේ. තමන්ව පුරවන ආදරයක් හොයාගන්න.”

ඔහු සිය අසුනට හේත්තු වී ඉවත බලා ගත්තේය. “මේ ගෑනිට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ.” ඔහු හිතනවා ඇතැයි ඇලීෂා සිතුවාය.
……………

එසේම නවකතාව තුළ ප්‍රේමයේ ගැඹුරු අක්මුල් ද සොයා ගොස් ඇත. මේ මොහොතේ මට සිහි වන්නේ විදර්ශන කන්නන්ගර ලියූ කසුන් කල්හාරගේ “සඳ සඳ වගේ” ගීතයයි.

ලෝ වසන සෑම මනුෂ්‍යයෙක්ම අනෙකාට වඩා වෙනස් ය. කායිකව මෙන්ම මානසිකව, සාමාජියව, අධ්‍යාත්මිකව, සංස්කෘතිකව, දේශපාලනිකව, මතවාදීව මේ සෑම ආකාරයකින්ම වෙනස් ය. පූර්ණ වශයෙන් සියයට සියක්ම සමාන මිනිසුන් දෙදෙනෙක් මෙළොව කිසිම කලෙක, කිසිම තැනක සිට නැත. ඉදිරියද එසේ බිහිවන්නේද නැත. එසේ නම් මේ ප්‍රේමය යන කාරණාව තුළදී දෙදෙනෙක් අයෙකු බවට පරිවර්තනය විය හැකිද ?

සැබෑ ප්‍රේමයක් තුළ සිදු විය යුත්තේ පාර්ශවයකට ඔබින පරිදි පාර්ශවක් වෙනස් කර ගැනීම හෝ ස්වකීය රුචි අරුචිකම් මතට අනෙකා නම්මා ගැනීමක් හෝ නොව එකෙකුගේ වෙනස්කම් අනෙකා අවබෝධ කරගැනීමය, පිළිගැනීමය, අසීමාන්තිකව දරාගැනීමය.
සඳට හිරු විය නොහැකි බවත්, හිරුට සඳු විය නොහැකි බවත් අප අවධාරණය කර ගත යුතු ය. එලෙසින්ම ඔබට මාත්, මට ඔබත් විය නොහැකි බව අප අවබෝධ කර ගත යුතුය.

බීර සුවඳැති හාදු තුළින් ද කතුවරිය මෙවැනි වූ නිදහස් මතවාදයක් ප්‍රේමය හමුවේ ජනිත කරවීමට දරනා වෑයම හෘදයාංගම ය.

” ඇයි මම එයා වෙනුවෙන් කවුරුවත් වෙන්නේ ?”

“අනේ මන්දා, ඔයා දුක් වෙනවා වගේ පෙනුණ නිසා මම එහෙම කිව්වේ” ඇලීෂා පැවසුවේ උරහිස් හකුළමිනි.

“ඔව් දුකයි. ඒත් මට මාව වෙනස් කරගන්න අමාරුයි. එතකොට ඉන්නෙ මම නෙවෙයි තමන්ව හිර කරගත්ත අසතුටෙන් ජීවත් වෙන පරාජිත මිනිහෙක්.” මහේන්ද්‍ර පුටුවේ දිගා වී කියාගෙන ගියේ තමන් සමගින් මෙනි.
………….
” ආදරය තුළදී තමන්ගේ නිදහස සහ සතුට සැනසීම නැති වේ නම් එතැනින් ඉවත්වීම ආත්මාර්ථය නොව ජීවිතාවබෝධය බව් ඇය දැන් සිතන්නීය. ”
………

නවකතාව පුරාවටම දිස්වන තවත් කාරණාවක් නම් පිරිමියා ආත්මීයව නිරුවත් කිරීමය. ඒ තුළ දර්පණමය ස්වභාවයක් දැකගත හැක.
එසේම මෙරට කතුවරියක් විසින් පිරිමියා මෙතරම් ග්‍රහණය කරගැනීමක් මෙන්ම නිරුත්තර කිරීමට මට මින් පෙර එතරම්ම හමු වී නැත.

එනිසාම මෙය ස්ත්‍රීවාදී දැක්මකින් ලියූ නවකතාවකැයි ලේබල් වීමටද බැරි නැත.  එනමුත් මෙය පිරිමියා ගැන යම්කිසි සමාජ තලයන් කීපයක කාන්තාවන් කීප දෙනෙකුගේ දැක්මක් ලෙසින් දකිනවා හැරෙන්නට ස්ත්‍රීවාදීනියකගේ ප්‍රකාශනයක් යැයි පටු තැනකට කොටු කිරීමට මා බලාපොරොත්තු වන්නේ නැත. ඊට එක් හේතුවක් ලෙසින් පහත උදෘතය ගත හැක. කතුවරිය පිරිමියා පිළිබඳ යම් යම් තැන්වල දක්වා තිබූ සානුකම්පිත බැල්ම එවැනි කොටුකිරීම් ඉදිරියේ මතු කළ යුතුම කාරණාවකි.

” තමන්ගෙ ගෑනුන්ට කියන්නත් බැරි, හිතේ හිරකරගෙන ඉන්නත් බැරි මොන තරම් නම් දේවල් තියෙනවද පිරිමින්ට කියන්න.”
…….
“මෙතෙන්ට එන්නෙ බාර් එකේ ගාණ දරාගන්න පුළුවන් උනාට ජීවිතේ දරාගබ්න බැරි පිරිමි. එයාලට ඕනේ කියන දේවල් අහන් ඉන්න පුළුවන් ගෑනු. ඒවා තේරුම් ගන්න පුළුවන්, කතාබහ කරන්න පුළුවන් ගෑනු.”
…….

එසේම ඇතැම් අවස්ථාවල කතුවරිය විසින් ගෙන එන පිරිමි චරිත‍යක් තවත් පිරිමි චරිත‍යක් තුළින් මර්ධනය කරවනු ලබයි. ඒ තුළ ගැහැනියකගේ අති සියුම් අවශ්‍යතා මතු කරවනු ලබයි. මෙකී අවශ්‍යතා මතු කරවීම පාඨක මනෝභාවයන් අතකින් ප්‍රකම්පනය කරවීමටත් ඒ තුළින්ම සුවපත් වීමේ මාර්ගයකට ප්‍රවේශ වීමේ දොරගුළු විවර කරවීමටත් සමත් වේ.

” ගෑනු දන්න දෙයක් නෑ බං. උන් දන්නෙ හොද්දෙ ලුණු බලන්න විතරයි.” මත්පැන් උගුරෙන් තල්ලුබ්වී එළියට ආ ගුඩුස් එකක් නිර්ලජ්ජිතව මහ හඬින්ම පිට කර ‍යවමින් විලියම් කිව්වේ මහේන්ද්‍රන්ගේ පුටුවට බර වෙමිනි.

” උන් මොනවද මියුසික් ගැන දන්නේ. කාලකණ්නි යක්ෂනියො” අවසන් වචනවලදී ඔහුගේ කටහඬ ඇසෙන නෑසෙන තරම් විණි.
..
..

“ඉතින් ෆ්‍රීසියා මල…” අවසන් වූ බීර වීදුරුව යළිත් පුරවා ගනිමින් මහේන්ද්‍ර ගීතවත් හඬින් සංවාදය ඇරඹුවේය.
…….
“කොහොමත් මගෙ ළඟ ඉන්න කවුරුවත් කැමැති නැහැ.” වේදනාබර සිනහවක් ඇය වෙත පාමින් ඔහු කිව්වේය.

“අනේ එහෙම දෙයක් නැහැ.”

ඇලීෂා වහා හිඳගත්තාය. ඈට දැනුණේ වේදනාවකි. කොහොමත් පිරිමි සම්බන්ධයෙන් ගෑනු හිත් උණු වන්නට එතරම් වේලාවක් ගත වන්නේ නැත. එක වචනයකින් දෙකකින් ගැහැනුන් නිවීම පහසු කටයුත්තක් වූවත් බොහෝ පිරිමින් ඒ එක වචනය දෙක දන්නේ නැත.
…………
ගැහැනියෙකුව සතුටු කිරීමේ කලාව හොඳින්ම දත් පිරිමියෙක් හා යහන්ගත වීමටත් වඩා වැඩි ප්‍රහර්ශයක් මේ පිළිසඳර ගෙන එන බව ඈට දැනුණි.
……….
දේවන්ගේ හඬ ගැඹුරුය. අවන්හලේ බොහෝ පිරිමින් ගැඹුරක් ඇති දේවල් කියන්නට උත්සහ දරන්නේ ටිකක් මත්වූ විටය. එහෙත් දේවන්ට නම් මත් නොවීම ජීවිතයේ ගැඹුර අතපත ගෑ හැකිය. ඇලීෂාට ඔහු ගැන වැඩි ආකාර්ෂණයක් දැනෙන්නට වූයේද එනිසාය.
………..

එසේම ගැහැනිය දුර්වල වන හෝ දුර්වල යැයි සිතනා මොහොතේ පිරිමියා සිය ඒකාධිකාරීත්වය ඈ මත පැටවීම ද කතුවරිය විසින් සියුම්ව හෙළි කොට ඇත. එය ගැහැනියක් තුළින් ගෙනාව ද එය මුළු මහත් සියල් සත්වයින්ටම අදාළ කාරණාවකි. තමන් දුබල යැයි තමා සිතා සිටින්නා තාක් ප්‍රබලයා සිය ප්‍රබලත්වය දුබලයා මත පටවයි. නමුත් එසේ සිතීමෙන් මිදුනු දිනෙට ප්‍රබලයාත් තමා වැනිම අයෙකු මිස ආශ්චර්යමත් ජීවියෙකු නොවන බව දුබලයා දැන ගනී.

” ඇයි මේ?” අවසන සියලු මාන්නාක්කාර විශ්ලේෂණයන් බිඳ දමමින් ඇය ඇසුවාය.

” මොකක්ද ?” ෂෝන් සිය පිරිමි හඬ ටිකක් වැඩි කළේය.

” ඔයා කැමති නැත්නම් මම ඒ ජොබ් එක නවත්තන්නම්.”
……….

මෙලෙසින් කතාව පුරාවටම කතුවරිය විසින් සුවිසල් දෘෂ්ටිමය යටිපෙළක් ගොඩ නගා ඇත. එනමුත් ඈ එකී යටි පෙළ දේශපාලන, ආර්ථික හෝ ආගමික හෝ ජාතිකත්ව මතයන් ස්පර්ෂ නොකිරීමට පරිස්සම් වී ඇති බවක් හෝ එක හෙළාම එකී ක්ෂේත්‍රයන් අත් හැර කතාව ගොඩ නඟා ඇත. එනිසාම නවකතාව සියලු පාඨකයින් හට සමීප කරගත හැක. මන්දයත් නවකතාවේ ඉෂ්ටාර්ථය ප්‍රේමයත් ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික හා චෛතසික කාරණා වීමත් ය.

බීර සුවඳැති හාදු පිළිබඳව භාෂාමය හා සාහිත්‍යමය කියවා ගැනීමක් ද මඟ නොහැර කළ යුතු ය.
ඒ යටතේ පහත කරුණු කාරණා ඇතුළුව සුවිසල් භාෂාමය පොහොසත්බවකින් බීර සුවඳැති හාදු ලියැවී තිබේ.

– කතුවරියගේ විශිෂ්ඨ පරිකල්පනය
– නවකතාවේ නාමය
– සංකල්ප රූප මැවීමේ ගුණය
– විවිධ භාෂා උපක්‍රම භාවිතා කරමින් ඔපදමා ඇති භාෂාව
– සජීවී ජීවමාන දෙබස් භාවිතය
– සිනමාරූපි අවස්ථා හා සිද්ධි නිරූපණය
– කතාව පුරාවටම කැපී පෙනෙන වර්ණ සංකල්නය
– අතීශය කළු හෝ අතීශය සුදු චරිත නිර්මාණය නොකිරීම
– රසපූර්ණ භාෂා හරඹය
– කතාවේ ගලා යෑමේ ගුණය
– සංවේදී හා භාව බන්ධුතා ගුණයෙන් පිරි භාෂාව
– විසල් අවකාශයකට පාඨකයා ගෙන යන කුඩා යෙදුම්
– ප්‍රේමය හා ස්ත්‍රී පුරුෂ බැඳීම් පිළිබඳ දාර්ශනික යෙදුම් භාවිතය
– නොසිතූ විරූ අවසානය

 

බීර සුවඳැති හාදු නවකතාවකට මා පෙර කියූ පරිදිම කුළුදුල් නිර්මාණයකින් බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ පරිකල්පන ගුණයකින් හෙබිය. එය හැබෑවටම විස්මය දනවන සුළුය.

“බීර සුවඳැති හාදු” යන නවකතාවේ නාමයම ආඝ්‍රහණ ගෝචර ශෘංගාරය දනවන්නකි. මෙතෙක් කල් මෙරට නවකතා ඉතිහාසයේ හෝ මෙරට කිසිදු කලා මාදිලියක අපට සම්භ නොවූ නාමයකි එය. මල් සුවඳැති, ලිප්ස්ටික් සුවඳැති, කෝපි සුවඳැති විවිධ හාදු අතරේ බීර සුවඳැති හාදුව එක්තරා ආකාරයකින් සම්ප්‍රදාය අතික්‍රමණය කරන ලද්දකි. සැර බීර රස හාදුවකින් ආඝ්‍රහණය වන්නේ තරමක සැර ශෘගාරයකි. එය වෙනස් ය, නමුත් කදිම ය.

කතුවරිය විසින් කතාව පුරාවටම රමණීයවූත් විචිත්‍රවූත් සංකල්ප රූප ගොඩ නඟා ඇත. එනිසා සමස්තයක් ලෙස කතාවේ සිනමාරූපී ගුණය අධිකය.
……..

” නොපීදුණු තේ යාය මැදින් ඇදී එන ඒ නාරි රුව ලූකස් දුටුවේ රෝස ගාලේ රෝස මලක පණුවන් සිටි මල් පෙති ගලවමින් සිටියදී ය. එක අතකින් දිගු සායේ කොණක් අල්ලාගෙන අනිත් අතින් පුංචි නිල් පැහැති මල් වැටි තද කහ පැහැති කුඩය ඉහළා ගත් එය කදිම හැඩයකින් යුතු රුවක් බව හැත්තෑවට ළංව සිටිනා ලූකස්ට පවා සිතුණි.”
…….
“දේවන් නැඟිට ගොස් එක් ජනේලයක පියන් පත් අඳුරට හැර දැමුවේය. ඔහු කංසාවැටිය පත්තු කර එක් උගුරක් ඇද එය ජනේලය තුළින් නිම්නයේ අඳුරට එක් කෙරුවේය දේවන් ඇස් පියා ගත්තේ කහට රසැති දුම් උගුර සිරුරේ අයුරු සිතෙන් විඳගනිමිනි.”
……

නවකතාව පුරාවටම දිස්වන තවත් ප්‍රබල කාරණාවක් නම් සංකල්ප රූපයන් හට කොට ඇති වර්ණ කැවීමයි. මෙකී වර්ණ කැවීම චිත්තජ රූප ගොඩනැඟීමට සුවිසාල පහසුවක් මෙන්ම ඒවායේ විචිත්‍රවත් ගතිය ද තව තවත් තිව්‍ර කරවන්නකි. එතුළින් කතුවරිය කතාවේ දෘෂ්‍ය ගෝචර ශෘගාරය මනා සේ ඔප් නංවා ඇත.

…..
” සුදු පැහැති මඳක් ඝන තිර රෙද්ද මත ළා රෝස පැහැති දුහුල් තිර රෙද්දක් නිතර හඹාගොස් සිහින් සුළඟක් සෙමෙන් ලෙළ දේ..”
….
” බෙකී මගදී කඩාගත් සිසීලිසා මල් මිටියක් අවන්හල් කවුන්ටරය මතය. තද දම් පැහැති පෙති පිරුණු සිසිලීසා මල් රේණු සුදු පැහැතිය. කුඩා මල් ගණනාවකින් ගහන වූ ඒ මල් පොකුර මත හැන්දෑ පිනි කැට රැඳී ඇත.”
…..
” බිත්තියට හේත්තු කර ඇති විශාල කන්නාඩිය මුහුදු නිල් පාට කුඩා මේසය, ඝන තඹට හුරු කහ පාට අල්මාරිය හැරුණු කොට මෙහි ඇත්තේ ඇලීශා ඉතා ආශාවෙන් කුෂන් කරගත් වර්ණවත් විශාල රෝස මල් වැටුණු සෝපාව සහ පොත් රාක්කය ය ”
………….

එසේම කතුවරිය නවකතාව විශිෂ්ඨ උපමා භාවිතයකින් ද සන්නද්ධ කොට ඇත. එතුළින් ඇය ඇගේ භාෂාවේ පොහොසත්කම මනාවට ප්‍රත්‍යක්ෂද කොට ඇත. අවස්ථා හා සිද්ධී පාඨක හදවත් තුළ කිදා බැස්වීමට තරම් අවස්ථානෝචිතවූත් අර්ථපූර්ණවූත් උපමා භාවිතයක් කතුවරිය විසින් අනුයුක්ත කොට තිබේ.

” ඇගේ දෑස් රහස් දහස් ගණනක් සඟවා ගත් ගැඹුරු විල් තලයක් සේ විණි. “

” දරාගන්නට බැරි පිපාසය අවසන් කරන පළමු වතුර පොද සේ, මහා නියඟයකට පසුව වැටෙන පළමු වැහි බිඳුව සේ, ඇගේ මුළු සිරුරම ඔහුගේ ඇඟිලි හිසකෙස් අතර තෙරපද්දී රසවත් වී පණ ලැබුණි.”

” දේවන් සිය ඇඟිලි එහෙ මෙහෙ ගෙන ගියේ අතිදක්ෂ සංගීතඥයකු සිය ප්‍රියතම සංගීත භාණ්ඩය වාදනය කරන්නාක් සේ සැලකිල්ලෙනි.”
…………..

කුඩා එහෙත් ව්‍යංග්‍යර්ථය පිරි යෙදුම් හා සිද්ධි රැසක්ද කතුවරිය විසින් කතාවේ බොහෝ තැන්වල යොදාගෙන තිබුනි. කුඩා වැකියකින් කතුවරිය මතු කරනා මහ විසල් යටිපෙළ ඇත්තෙන්ම පුදුමාකාරය.

” බිච්” ඔහු කිව්වේ යන්නට හැරී නැවතත් ඇය දෙස බලමිනි.
.
” ඔහු සෙමෙන් ඇවිදගෙන ගොස් පිටවෙනවා ඇය දුටුවාය. ඒ උස ගේට්ටුවත් සමඟ බලද්දී ශෝන් කොතරම් මිටිදැයි ඇලීෂා සිතුවාය. විශාල පිනිමාර ගස් හා සසඳද්දී ශෝන් නිකන් කුරුමිට්ටෙකු සේය. ‘ පව්’ ඇය අවසන සිතුවාය.
……….
” ඇඳක් මතදී ඇය ප්‍රථම වරට පිරිමියා සම්පූර්ණයෙන්ම අමතක කර සිය සිරුරෙන් ප්‍රහර්ෂයට ලක් වෙමින් වුන්නාය..”
……..
දේවන් අවසන් උගුරද ඇද දමා කංසාවැටිය රන්දාර මල් ගස මුලට විසි කළේය. රන්දාර ගසත් මත් වෙනවා නම් හොඳය. එවිට හිත පතුළේ, හිතක් නැත්තන් ගස් පතුළේ හිරව ඇති දුක හෝ අතු අගට විත් මල් පුබුදුවනු ඇත.
……

මේ ආකාරවූ භාෂාමය ප්‍රයෝග රැසකින් බීර සුවඳැති හාදු පෝෂණය කිරීමට කතුවරිය ගෙන ඇති වෑයම අති සාර්ථක වෑයමක් යැයි ඉහතාකාරවූ නිදසුන් ඇතුලු තවත් බොහෝ දෑ තුළින් අපට කියවාගත හැක.

විචිත්‍රවත් සේම වර්ණවත් සංකල්ප රූප ජනනය වන, විවිධ භාෂා උපක්‍රමාදියෙන් සරුසාර කෙරූ පරිපූර්ණ රසපූර්ණ භාෂා හරඹයකින් හැඩ කොට ඇති බීර සුවදැති හාදු අවසානය ද අප කිසිසේත්ම අපේක්ෂා කරන තාලේ එකක් නොවේ. අතකින් කතුවරිය අප අතරමං කර තබනවා යැයි ද කිව හැකිය.

කෙසේ නමුත් ඕනෑම කලා නිර්මාණයක අවසානය ඇත්තේ රස විඳිනා අප අතේය. ඉතිරිය අපේ පරිකල්පනයට භාර කළ යුතු ය. එසේ භාර කිරීමට අවශ්‍ය අවකාශයක් නිර්මාණය දක්ෂ කතුවරයෙකුගේ කුසලතාවක් ය. එකී කුසලතාවය දිල්ෂි තත්සරණි තරුණ ලේඛිකාව විස්මිතාකාරයෙන් කොට ඇත.

බීර සුවඳැති හාදු ශ්වේත වර්ණිත හෝ කාල වර්ණිත හෝ කතාවක් නොවේ. එය එකී වර්ණයන් මිශ්‍ර වූ මැද තැනක එකකි. බීර සුවඳැති හාදු ඔබත් මාත් ස්වයං ප්‍රශ්නාවලියකට භාජනය කරයි. අවසානයේ අපට අපව හෙළිදරව් කරයි.

ලේඛිකාවක් ලෙස දිල්ෂි තත්සරණි අබේරාජ මෙරට නවකතාකරණයට බරසාර ආයෝජනයක් යැයි ද නොකියාම බැරිය.

” ඇත්තේ ජීවිතයේ අවධි නොවේය, ආදරයේ අවධිය. ජීවිතය සෑඳී ඇත්තේ ආදරය නැතුවම බැරි අවධියකින් සහ ආදරය ළඟටවත් ගන්නට නොසිතෙන අවධියකිනි. ”

– ක්‍රිස් ටෙලන් සියඹලාපිටිය –
උපුටාගැනීම – ෆේස්බුක්

 

Social Sharing
අවකාශය නවතම