කන බිසව් ගල් ගේ සොයාගිය දුෂ්කර ගමන

යාල දෙස් විදෙස් සංචා­ර­ක­යන්ගේ සිත්හි ජනිත කරන්නේ සහ සිහි­පත් කර­වන්නේ අලි – කොටි – වලස් ආදී වියළි කලා­පීය වන­පෙ­තක් තුළදී දැකිය හැකි වන ­ස­තුන් පිළි­බඳ වූ සිතු­ව­මකි. ඒ සැබෑ­වක් වුවත් පල­ටු­පා­නින් යාල වන­පෙත වෙත පිවි­සී­මට පෙර පල­ටු­පාන වන­ජිවී සත්ත්ව නිද­ර්ශක තබා ඇති ස්ථානයේ පසෙ­කට වන්නට ප්‍රද­ර්ශ­නය කර ඇති පැරණි කාකී ඇඳු­මින් සැරසී ඉණට අත තබා ගෙන සිට­ගෙන සිටිනා මිනිස් රුව කුමක් දැයි යන්න මද­කට හෝ විප­රම් කර­න්නට සංචා­රක ඔබ සිතා බැලු­වේද? ඔහු එංගල් බ්‍රෙක්ට් ය. යාල වන­පෙත සුර­ක්ෂිත වන­ජීවී රක්ෂි­ත­යක් බවට පත් වීම­ටද ප්‍රථම සිටම යාල දඩ කෙළිය සදහා නිර­න්ත­ර­වම පැමිණි සුදු ජාති­යන් සහ දඩ­ය­ක්ක­රු­වන් සමඟ ගැටෙ­මින් යාල රකි­න්නට වෙහෙ­සුණු උදා­ර­තර මිනිසා ඔහුය.

එංගල් බ්‍රෙක්ට් යාල වන­පෙත මධ්‍යයේ සිදු කළ රාජ­කාරී සංචා­ර­යක් අත­ර­තු­රදී කන ­බි­සව් ගල්ගේ නමැති පුරා විද්‍යා­ත්මක වැද­ග­ත්ක­මක් සහිත ස්ථානය වෙත පැමිණ තිබේ. ඒ බව සනාථ කරනු වස් එහි විහා­ර­යක් පැවැති බවට නට­බුන් සහිත හුනු බදා­ම­යෙන් පිරි­යම් කළ බිත්ති­යක් මත තැබූ තමන්ගේ අත්සන සොයා යාල ඉති­හා­සය පිළි­බඳ සිදු කරන අපේ ගවේ­ෂණ තුළදී ගිය ගමනේ වත – ගොත සමඟ මුසු කර­මින් එංගල් බ්‍රෙක්ට් යාල ආරක්ෂා කරනු පිණිස සිදු කළ නිහඬ මෙහෙ­වර පිළි­බද අතී­තා­ව­ර්ජ­නයේ යෙදෙන්නේ ඔහු ගේ නිහඬ මෙහෙ­වර ගෞර­වා­න්වි­තව සිහි­පත් කරනු පිණි­සයි.

යාල කලාප අංක දෙක තුළ පිහිටා ඇති කණ­බි­සව් ගල්ගේ සාමාන්‍ය සංචා­ර­ක­යන්ට ඇතුළු විය නොහැකි කලා­පය තුළ පිහිටා ඇත. යාල වන­පෙතේ සංචා­ර­යට කදිම හෝරාව ලෙස වන­ජීවී නිල­ධා­රීන් හඳුන්වන හිරු ගේ පළමු රැස් බිඳුව වන­පෙ­තට එල්ල වුණු යාමේ, ඒ කියන්නේ පාන්දර කළු­ව­රෙම අපි කණ බිසව් ගල් ගේ බලා යන දුෂ්කර චාරි­කාව ආරම්භ කළෙමු. ඒ යන ගමන අතර තුරදී එංගල් බ්‍රෙක්ට්ගේ අතී­තය ද සිහි­පත් කර­නුයේ ඔහුගේ ජීවන කථා­න්ත­රය තුළින් අපට උගත යුතු බොහෝ දෑ අන්ත­ර්ග­තව ඇති බැවිනි.

“යාල බිමේ අඟ­ලක් නෑර මම දන්නවා. මොකද මම මේ බිමට ආද­රෙයි. මේ අස්සක් මුල්ලක් නෑර මම හක්කලං කළ කැල­යයි. යාල කැලේ ඇති පරණ වැව්, කුඹුරු, ඉඩම්, වෙහෙර – විහාර නට­බුන්, මොන තරම් නම් මේ කැලේ වහන් වෙලා තියෙ­න­වාද? එවා වහ ගෙන කැලේ තමයි දව­සින් දවස මෝරන්නේ. ඒ වනය තුළ අහිං­සක විදි­හට ජිවත් වෙන වන­සත්තු සුද්දන්ට ගේ තුව­ක්කු­වට හොද ඉල­ක්ක­යක්.

ඒත් සත්තු­න්ට ගිනි බිඳින දඩ­ය­මට ලොල් වුණු දඩ­යක්කාර­යිනේ …. මින් මතු­වට යාලට එන්න­නම් හිත­න්න­වත් එපා. දඩ­ය­මයි, සත්තු රැකි­ල්ලයි දෙකක් කරන්න බෑ … දඩ­ය­මට නම් යාලට එන්න හිත­න්න­වත් එපා ” නිර­න්ත­ර­වම එංගල් බ්‍රෙක්ට්ගේ මුවින් පිට වී ඇත්තේ එබඳු වදන්ය.

යටත් විජිත සමයේ බ්‍රිතා­න්‍යයේ යුද සිර­ක­රු­වකු ලෙස දකුණු අප්‍රි­කාවේ ට්‍රාන්ස්වාල් ජන­ප­දයේ සිට අපේ රටට 1897 වස­රේදී පැමිණි එච්.ඊ. එංගල් බ්‍රෙක්ට්, බෝයර් සම්භ­ව­යක් සහිත මිනි­සෙකි. ඔහුගේ තීරණ සෘජුය. දැඩිය. යටත් විජිත වාදය තදින්ම පිළි­කුල් කළේය. එළි පිටම විවේ­ච­නය කළේය. එංග­ලන්ත අධි­රා­ජ්‍ය­වා­ද­යට විරුද්ධ වෙමින් සුද්දන් දුටු තැන බැණ වදි­මින් ඔවුන්ගේ ආණ්ඩුව විවේ­ච­නය කළේය. වර්ෂ 1897 ජූනි මාසයේ දිය­ත­ලාවේ හමුදා කඳ­වුරේ සිට කොළ­ඹ­ටත්, එතැ­නින් හම්බ­න්තො­ට­ටත් ඔහු රැගෙන ආවේ යුද සිර­ක­රුවකු ලෙසය. එසේ පැමි­ණි ­එං­ගල් බ්‍රෙක්ට් ලැගුම් ගත්තේ පැරැණි ඕලන්ද ගොඩ­නැ­ගි­ල්ලේය. මහ දවල් පවා නිරු­ව­තින් හම්බ­න්තොට මිනි­සුන් ගැව­සෙන නගර මධ්‍යයේ සුදු අධි­රා­ජ්‍ය­වා­ද­යට බැන අඩ ගස­මින් ඇවිද යාමේ පුරුද්ද නිසා මොහු කල් යත්ම විලි ලැජ්ජා නැති හෙළු වැලි සිර­ක­රුවා යන නමින් ආම­න්ත්‍ර­ණය කිරී­මට පවා දුටුවෝ පෙල­ඹුණහ. එවැනි වු බස් නෑසු කන්ව තම සුපු­රුදු දින චර්යාවේ නිරත වූ මොහු පාල­ක­යන්ට හිස­ර­ද­යක් විය. එබැ­වින් රජයේ රැකි­යා­වක් ලබා දී මොහු නිහඬ කිරි­මට සිතා ඔහුගේ ගති සෝබාව වන නොසෙ­ල්වෙන භාව­යට ගැළ­පෙන රැකි­යා­වක් වන යාල වන­පෙතේ ප්‍රථම භාර­කරු ලෙස ඔහු පත් කර හම්බ­න්තො­ටින් යාලට යවා ඇත.

එංගල් බ්‍රෙක්ට්ගේ ආග­ම­න­යත් සම­ඟම යාල මෙතෙක් පැවති දඩ­ කෙළිය කණ­පිට ගැසු­ණේය. විනෝ­දය පිණිස සහ දඩ­යම් පිණිස සතුන් සොයා වතු­ක­රයේ සිට නිවාඩු ගත කිරී­මට යාලට පැමිණි සුදු මහ­ත්තු­රුන්ට ආපසු ආප­යින්ම යාමට සිදු වූයේ නොනැ­මෙන, සෘජු තීරණ ගනි­මින් යාල රාජ­කාරී කළ එංගල් නිසාය. හොර රහසේ යාලට රිංග­මින් වන­ස­තුන් මර­න්නන් හසු වූ කල ඒ සතුන්ගේ මස් “මරා ගත්තා නම් අමු­වේම කාපන්” යැයි කිය­මින් සුද්දන්ට කැව්වේය. නොකල් හි වන­යට එබෙ­මින් නොසි­රිත්හි යෙදුණු වුන් හසු වු කළ ගස් බැද දිමි ගොටු ඇගට දැමුවේ යාලට පනවා තිබූ නීති­යට ගරු නොකළ බැවිනි. යාල කැලය වටා දඩ­යම් සිදු වීම වැළැ­ක්වී­මට මුර කරු­වන් යෙද­වු­යේය. යාල වන­ස­තුන් සහ කැලය ආරක්ෂා කිරී­මට සහ පනවා ඇති නීති කඩන සුද්දන්ට හිරි හැර විඳි­න්නට සිදු වූ නිසා එංගල් යනු සුද්දන්ගේ ඇහේ ඇනුණු කටු­වක් හා සමාන විය. එය අහක් කරගන්න තුරු ඔවුන්ට නිදි නොවීය.

වනා­න්ත­ර­යක, විශේ­ෂ­යෙන්ම වියළි කලා­පීය වන­පෙ­තක් තුළ සිදු කරන පා ගම­නක් යනු අති­ශය වෙහෙ­ස­කර වූ, දුෂ්කර වූත් කාර්ය­යක් බව කිව යුතු­මද? මෙවැනි ගමන් වළදී රැක ගත යුතු වටි­නාම අමිල වු සම්පත වන්නේ ජල­යයි. එබැ­වින් දැඩිව දැනෙන සා පිපා­සාව දිව විකා ගනි­මින් විඳ දරා­ගෙන කුඩු කිනි­තු­ල්ල­න්ගෙන් නිර­න්ත­ර­වම බැට කන සිරුරේ අඟ පසඟ අත පත ගාමින්, දහ­ඩි­යෙන් තෙත් වෙන සිරු­රට සම­තලා බිමේ සිට ක්‍රමා­නු­කූ­ලව ඉහළ නගින හුදෙ­කලා “කඳු තර­ණය කරනු” යන දැඩි වු නියෝ­ගය ලබා දෙමින්, අව­සන විද දරා ගත් සියලු දුක්ඛ දෝම­න­ස්ස­ සම­නය කරන දැකු­ම­කින් යුක්ත වු ගමන් ඉල­ක්කය වෙත සුපු­රුදු පරිදි අප කණ්ඩා­යම ළඟා වු බව පම­ණක් මෙහිලා සඳ­හන් කරමි.

කන බි­සව් ගල් ගේ…, දැන් හුදෙ­කලා වු කන්දක මුදුනට මඳක් පහ­ළට වන්නට පිහිටි ඉදි­රි­යට නෙරා ගිය ගල් පතු­රක් සහිත (සොබා­වි­කව පිහිටි ගල් ලෙනක්) ආධාර කර ගෙන එහි විහා­ර­යක් තනා ඇති බවට සාක්ෂි ඉති­රිවී ඇති නට­බුන් සහිත ස්ථාන­ය­කට අපි පැමිණ සිටි­යෙමු. යාල යනු පුරා­වි­ද්‍ය­ත්මක නට­බුන් ගහන වන බිමකි. වන­ජිවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙවැනි වන බිම් වන­ජිවී රක්ෂිත ලෙස ප්‍රකා­ශ­යට පත් කිරීමේ අර­මුණු සහ පර­මාර්ථ අතරේ සංස්කෘ­ති­මය වටිනා කම් සහිත පුරා­වි­ද්‍යා­ත්මක ස්ථාන ආරක්ෂා කිරී­මද ඇතු­ළත්ය.

මෙය දුරා­තී­තයේ ආරාම සංකී­ර්ණ­යක් ව තිබූ බවට ශේෂවූ නට­බුන් සාක්ෂි දරයි. මෙම ලෙන විහාර සංකී­ර්ණ­යක් තෙක් පුළුල් කර ඇති බවට ලෙන පිට­තින් ගඩො­ලින් බිත්ති බැදී­මත්, ගල් බිත්තිය දිගේ ගලා එන ජලය නැවැ­ත්වී­මට ගලේ කෙටූ කටා­ර­මත් නිද­සුන් වේ. ඉනිදු නොනැ­වතී තව දුර­ටත් විහා­රය වැසි දියෙන් ආරක්ෂා කිරී­ම­ටත් ගඩො­ලින් බැඳි බිත්තියේ ශක්තිය තර කිරී­ම­ටත් ස්තර සිටින සේ පියසි බිත්තියේ පිය­ව­රෙන් පිය­ව­රට සකස් කර ඇත. සිංහල මෝස්තර කලාවේ එන සංකේත කිහි­ප­යක් විහාර ඇතු­ළත හුනු බදා­ම­යෙන් පිරි­යම් කළ බිත්ති මත ඇද ඇත. ඒ අතර නට­බුන් වු බුදු රුව සහ වැට­කෙ­යියා මලක් යැයි සිතිය හැකි සිතු­වම් දෙක ප්‍රධා­නය. මේ බිත්ති­යේම අනෙක් පස පිහිටි බිත්තිය මාගේ අව­ධා­න­යට යොමු වුයේ අපගේ ගමනේ ප්‍රමුඛ සාක්ෂිය වු එංගල් බ්‍රෙක්ට්ගේ අත්සන එහි සට­හන්ව ඇති ආකා­රය දිස් වීමෙනි. එහි මෙසේ සට­හන් තබා ඇත.

යාල වන­පෙතේ පළමු භාර­කරු ලෙස තමන් වෙත ලබා දුන් රාජ­කා­රිය අකු­ර­ටම ඉටු කළ එංගල් බ්‍රෙක්ට් තම ධුර කාලය තුළ යාල වැද­ගත් ස්ථාන­යන් වෙත නිර­න්ත­ර­වම මුර සංචා­රයේ නිරත වු බවට යාල කලාප අංක 02 තුළ පිහිටා ඇති පුරා­වි­ද්‍යා­ත්මක වැද­ගත් ස්ථාන­යක් වන කන ­බි­සව් ගල්ගේ තුළ ඔහු විසින්ම 1919 තම ධුර කාලය තුළදී පැමිණ තබා ඇති මේ අත්සන වැද­ගත් වු සාක්ෂි­යක් වේ

සුදු ආණ්ඩුව විසින් එංගල්ට පැවරූ රාජ­කා­රිය ඔහු විසින් නිසි පරිදි සිදු කළත්, සුදු නිල­ධා­රීන් දඩ­යම් පිණිස යාලට පා තැබූ කල ඔවුන්ගේ යටත් විජි­ත­වා­ද­යට එදි­රිව එංගල් තුළ වු විරු­ද්ධ­ත්වය සුදු නිල­ධා­රීන් වෙත දණ්ඩන ස්වරූ­ප­යෙන් මුදා හැරු­ණේය. එංගල් බ්‍රෙක්ට් යාලට වී නිද­හසේ සිදු කරන මේ ආණ්ඩු විරෝධී ක්‍රියා කලා­ප­යන්ට නැව­තීමේ තිත තැබිමේ අව­ශ්‍ය­තාව බොහෝ දෙනකු වෙත වු බව එංගල් බ්‍රෙක්ට් යළිත් සිර මැදි­රි­යක් වෙත කොටු කරන තුරු සිදු වු සිදු වීම් දාම­යම සාක්ෂි දරයි..

සඳ­මල් රශ්මී ශ්‍රී බුද්ධික ගේ සටහනකි මෙහි අඩංගු ඡායා සියල්ල නවින් මාරපන මහතා සතුය.

 

Social Sharing
අවකාශය නවතම