වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි?

Import restrictions on 367 essential items Basil Rajapaksa

-අජිත් පැරකුම් ජයසිංහ-

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීමට හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කළහොත් තම සංගමය වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඔහු වෙත දැනුම් දෙන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එවකට සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හා එහි ලේකම් වෛද්‍ය හරීන් අලූත්ගේ ඇතුළු පිරිසක් 2015 මැද හරියේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහු පහත දැක්වෙන ප්‍රකාශය සිදුකළ බව 2015 ජුලි 17දා සිළුමිණ පුවත්පත වාර්තා කළේය: “ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද වෛද්‍යවරු යනු වරප්‍රසාදිත පිරිසකි. අධ්‍යාපනයෙන් ද වෘත්තීය ගුණාත්මකභාවයෙන් ද වැටුප් හා අනෙකුත් පහසුකම් සැලකීමේ දී ද වෛද්‍යවරුන් යනු වරප්‍රසාද බහුල පිරිසකි. ඒ නිසා වරප්‍රසාද අහිමි ලෝක කම්කරු ප්‍රජාවට ඇති වැඩවර්ජනය කිරීමේ අයිතිය වෛද්‍යවරයාට ද ඇතැයි මම විශ්වාස නොකරමි. ඒ නිසා වෛද්‍යවරුන් කරන වැඩවර්ජන මට මනරංජන වැඩවර්ජන නොවේ. මා ඒවා හඳුන්වන්නේ අතිදුර්ජන වැඩවර්ජන ලෙසටය.” මනරංජන වැඩවර්ජන යනු 1965දී හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ නාට්‍යයකි.

වර්තමානයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයකු වන හරිත අලුත්ගේ පසුගිය දිනවල නැවතත් වැඩවර්ජන නාටකයක ප්‍රධාන චරිතයක් රඟදැක්වූයේය. 15දා වන විට රට සම්පූර්ණයෙන්ම වසාදමන බව කීව ද 15දා ඇත්තෙන්ම සිදුවූයේ වර්ජනය වසාදැමීමයි. දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව කී මාර්තු 15දා පැවැත්වුණු වර්ජනය සාර්ථක වූයේ 50%ක පමණ ප්‍රමාණයකට බව පෙනේ. ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති වර්ජනය වෙනුවට ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාරයක් පමණක් දියත් කළහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනය කළමුත් රෝහල්වල ශල්‍යාගාර පවා ක්‍රියාත්මක විය. අක්‍රිය වූයේ බාහිර රෝගී අංශ හා සායන පමණි. බස් ප්‍රවාහනය ක්‍රියාත්මක විය. සමස්තයක් ලෙස පෞද්ගලික අංශය වැඩවර්ජනයට කිසිදු සහායක් දුන්නේ නැත.

උපයනවිට අයකරන පුද්ගල ඉහළ ආදායම් බද්ද (APIT) වහා සංශෝධනය කිරීම මෙම වර්ජනයේ ප්‍රධාන ඉල්ලීම විය. එහෙත්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අතරින් 1%ක්වත් ආදායම් බදු නොගෙව්වත්, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සංගම් ද වැඩ වර්ජනය කළහ. පාසල්වල වර්ජනය සාර්ථක වන්නට ප්‍රධාන හේතුව විදුහල්පතිවරුන්ගේ වර්ජනයයි. විදුහල්පති සේවයට උසස්වීම් ලබාදීම සඳහා තරග විභාග ක්‍රම සම්පාදනය කිරීම හා ඒ වෙනුවෙන් ගුරු සංගම් විසින් නඩු කීම හේතුවෙන් මේ වන විට විදුහල්පති සේවයේ සිටින සැලකිය යුතු පිරිසක් පසුගිය කාලයේ ගුරු සංගම් ක්‍රියාධරයන් ලෙස සේවය කර උසස් වීම් ලැබූ අයයි. මේ අයට එම අවස්ථාව ලැබුණේම ගුරු සංගම් විසින් කරන ලද අරගල හේතුවෙනි. ඒ නිසා ඔවුන් අනුරාගී වෘත්තීය සමිතිකාරයන් වී සිටින අතර, මේ අන්දමින් සාධාරණ හේතුවක් නොමැතිව වාර විභාග පවතිද්දී පාසල් වසාදැමීමට පවා විදුහල්පති සේවය සමත් වී තිබේ.

ගුරුවරුන් අතර ප්‍රබල වෘත්තීය සමිති වන ලංකා ගුරු සංගමයේ නායකත්වය මතවාදීමය වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සමීපය. ලංකා ගුරු සේවා සංගමය ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානයකි. අනෙකුත් බොහෝ සංවිධාන මේ සංගම් සමග පෙළගැසුණු ඒවාය. විදුහල්පති සංගම් ද මෙම ගුරු සංගම්වල නායකත්වයේ බලපෑමට යටත්ය. ලක්ෂ 40ක් පාසල් සිසුන්ගේ බොටුව මිරිකීමේ අතිධාවනකාරී මූලෝපාය පසුපස තිබෙන්නේ ඉතා පැහැදිලි දේශපාලන මෙහෙයවීමකි.

මුළු රටම වසා දමන අඛණ්ඩ වැඩ වර්ජනයකට 15දා සිට යොමුවන බවට වහසි බස් දොඩමින් ආරම්භ කළ මෙම අතිධාවනකාරී වැඩ වර්ජනය කිසිදු ඉල්ලීමක් දිනා නොගෙන කල්දැමීමට වෘත්තීය සමිති හිටිහැටියේ තීරණය කළේ ඇයි? එයට හේතුව, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්ට වඩා දුරදිග දැකීමේ උවමනාවක් ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්තට තිබුණු නිසාය. මාර්තු 15දා වැඩ වර්ජනයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන නමුත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට මේ මොහොතේදී තම පක්ෂය සූදානම් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක කේ.ඩී. ලාල් කාන්ත පැවසීය. ජවිපෙ මෙම ස්ථාවරයට පැමිණියේ ඇයි?

මෙම මොහොත වනාහි ශ්‍රී ලංකා රාජ්‍යය විප්ලවීය පරිවර්තනයකට ලක්වෙමින් තිබෙන අවධියකි. එහිදී සිදුවන මූලික දෙය වන්නේ මෙතෙක් ණය මත රඳාපැවති රජය බදු ආදායම් මත රඳාපවතින තත්වයට පරිවර්තනය වීමයි. ජනතාවට බදු බර ඍජුව දැනෙන විට ආණ්ඩුවට බදු සම්බන්ධයෙන් වගකියන්නට සිදු වේ. එසේම, මෙතෙක් කල් වක්‍ර බදු හා දේශීය හා විදේශීය ණය මගින් ජනතාවට පොදුවේ ලබාදුන් සහනාධාර කප්පාදු කරන්නට ද සිදු වේ. වැඩි මිලට ආනයනය කළ ඉන්ධන තවදුරටත් අඩු මිලට ලබාගත නොහැකිය. විදුලිය වෙනුවෙන් නිෂ්පාදන වියදම ගෙවන්නට සිදුවී තිබේ. ජලය වෙනුවෙන් ද මෙම තත්වය ඉදිරි කාලයේදී සිදු වේ. රජය සල්ලි අච්චු ගහන්නේ ඉතා සීමිතවය. විනිමය අනුපාතික පාකර ඇත. මෙම පියවරවල ආදීනව ජනතාවට ඉතා දරුණු අන්දමින් දැනේ. මෙතෙක් ගත කළ පාරිභෝජනවාදී ජීවිත වෙනස් කිරීමට සිදු වීම මධ්‍යම පන්තිය මුහුණදෙන ප්‍රධාන ගැටලුවයි. උදාහරණයක් ලෙස පොදුවේ සියලු දෙනාට දුන් සහනාධාරය පාවිච්චි කරමින් තීරුබදු රහිතව ආනයනය කරගත් තමන්ගේ එස්යූවී රථවලට තෙල් ගසාගෙන හිතුමතේ රවුම් ගහන්නට දැන් පහසු නැත.

ආර්ථික අර්බුදයේ වැඩිපුරම බැටකන්නේ දිළිඳු ජනතාවයි. අති විශාල දිළින්දන් ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇත. ආදායම් අඩු වී ඇත. ජීවිතය ගැටගසාගැනීමට කරන අරගලය මැද ඔවුන්ට මධ්‍යම පන්තිකයන්ගේ වැඩ වර්ජන ගැන හිතන්නට තියා හුස්ම ගන්නටවත් වෙලාවක් නැත. රජය හඳුන්වා දෙන්නට යන සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනෙන් සහන ලබාගැනීම සඳහා පවුල් ලක්ෂ 40කට ආසන්න පිරිසක් අයදුම් කර තිබීමෙන් තත්වය සැකෙවින් පැහැදිලි වේ.

ජනතාව සමස්තයක් ලෙස සිටින්නේ ආණ්ඩුව සමග බද්ධ වෛරයෙනි. හේතුව පැහැදිලිය. ආණ්ඩුව කළ බොහෝ නායකයන්ට දූෂණ චෝදනා තිබේ. එහෙත්, ආර්ථික අර්බුදය නිර්මාණය වන්නට ප්‍රධාන හේතුව දූෂණය නොවේ. ඡන්ද බලාගෙන ගත් ජනප්‍රිය තීරණ එයට ප්‍රධාන හේතුවයි. එසේ වුවද, ජනතාවාදී ලෙස මතුපිටින් ප්‍රදර්ශනය කරන ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ පවා කරන්නේ ජනප්‍රිය දේශපාලනයයි. මහජනතාවට මුහුණදෙන්නට සිදුවී තිබෙන වර්තමාන තත්වයට හේතුව දූෂණය බව ද, හොරුන් අල්ලා ඔවුන් පැහැරගත් ධනය ප්‍රති පැහැර ගැනීමෙන් ආර්ථිකය ගොඩගත හැකි බව ද, ප්‍රභූ දේශපාලකයන්නේ පළිගැනීමෙන් සැනසීම ලැබේ යයි ද ඔවුන් ඉතා භයානක මතයක් ගොඩනගමින් සිටිනු දක්නට ලැබේ.

ජනතාව තුළ වෛරය ගොඩනැගීම ඉතා පහසුය. එහෙත්, ඒ වෛරය කොතැනින් පුපුරා යයිද යන්න අපැහැදිලිය. වැඩ වර්ජනය දිගට ගෙන ගියා නම්, ජනතා වෛරය පුපුරා යන්නේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබෙන නිසා නොවේ. උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි කියන තැනෙනි. වර්ජනය නිසා පළමු රෝගියා මැරෙන එක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් වළක්වා ගත්තේ මෙම අවබෝධය නිසාය. ගුරුවරුන් එක් දින වැඩ වර්ජනයකට එක් වුණේ ජෝසප් ස්ටාලින් සතුටු කරන්නට විය හැකිය. එහෙත්, එම වර්ජනය දිගට ගෙන යන්නට ගියහොත්, ජෝසප් ස්ටාලින්ට කලින් පාසලේ වර්ජක විදුහල්පති අමාරුවේ වැටෙන තත්වයක් නිර්මාණය වෙමින් තිබිණි. වර්ජනය අකුළන්නට වගකීමක් සහිත වෘත්තීය සමිති නායකයන් හා ඔවුන්ගේ දේශපාලන පක්ෂ තීරණය කළේ මෙම සංදර්භය තුළයි. දේශපාලන පක්ෂ විසින් ගසන ලද හුළංවලින් පිම්බී සිටි හරිත අලුත්ගේ, ජෝසප් ස්ටාලින් වැනි අයගේ හුළං නිකම්ම බැස්සේ ඒ නිසාය. ඇත්තම කීවා නම් වුණේ ගැට නොගසා අල්ලාගෙන සිටි බැලුමේ කට හිටිහැටියේ අතහැර දැමීම වැනි දෙයකි.

ඉල්ලීම් කිසිවක් ලැබී නැත. වහසි බස් පමණක් ඉතිරි වී ඇත. ආණ්ඩුවට මෙම ඉල්ලීම් ලබාදීමේ කිසිදු හැකියාවක් නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා කැපවී කටයුතු කරමින් තිබේ. ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවට ඔවුන්ට පැහැදිලි අවබෝධයක් තිබේ. වැඩකට නැති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඔවුන් දැඩි අවදානමක් ද රැගෙන තිබේ. අනතුරුදායක තත්වයන්හිදී රටකට අවශ්‍ය වන්නේ අවදානම ගැනීමට සූදානම් නායකත්වයකි. කඩාකප්පල්කාරීත්වය ප්‍රවර්ධනය කිරීම ඉතා පහසු දේශපාලනයකි. එමගින් බලය ලබාගන්නට හැකි වුවත්, බලය පවත්වාගෙන යන්නට බැරි බව වගකිවයුතු දේශපාලකයෝ දනිති.

 

Social Sharing
නවතම විශේෂාංග