මහා සටනක් ජනතාව විසින් ඇරඹිය යුතුව තිබේ

general-elections-current-political-situation-in-sri-lanka-rohan-samarajeewa

-කොළඹ හිටපු දිසාපති සුනිල් කංනන්ගර-

පළාත් පාලන මැතිවරණය සඳහා යලිත් දින නියම කර ඇත. එදාටත් මැතිවරණය පැවැත්වීමට ලැබේයැයි කිසිඳු විශ්වාසයක් නැත. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන පක්ෂ විපක්ෂ මතවාදයන් රටේ පවතී. ඒ මැතිවරණයෙන් තමන් කුජිත වෙතැයි හිතන පක්ෂ වලට අනුව නම් මේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලයක් නොවේ. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින අවස්තාවකදී ඒ සඳහා පිලියම් යොදනවා මිස මැතිවරණ පැවැත්වීම නුසුදුසු බව ඔහුන්ගේ තර්කයයි.

මැතිවරණයෙන් ජයග්‍රහණය ලබාගෙන බලය ලබා ගැනීමේ ක්‍රියාවලියේ පළමු පිම්ම පැනීමට හැකියැයි සිතා සිටින දේශපාලන පක්ෂ වලට අනුව නම් මැතිවරණය කලට වේලාවට පැවැත්වීම අනිවාර්‍යවේ. එය ජනතාවගේ අයිතියකි. ජනතා පරමාධිපත්‍යයේ කොටසකි. ඒ නිසා ඔවුන්ට අනුව අනිවාර්‍යෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුමය. පලාත් පාලන මැතිවරණය ගැන බොහෝසේ උනන්දුවන අනික් කණ්ඩායම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වේ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පළාත් පාලන මැතිවරණය සලකන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් ලෙසය. ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ජනතාවට අහිමිවීම ඔවුහු නොඉවසති. ඒ නිසා වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටිති.

මේ සියල්ලෝම අවංකව කතා කරන අය යැයි විශ්වාස කරොත් එය ලොකුම මෝඩකමක් වනු ඇත. පළාත් පාලන මැතිවරණය මේ අවස්තාවේ පැවැත්විය යුතු නැතැයි කියන උදවිය එසේ කියන්නේ මැතිවරණය පැවැත්තුවහොත් තමන්ට අත්වෙන ඉරණමට මුහුණදීමට ඇති බිය නිසාය. යම් හෙයකින් මේ මැතිවරණය ඔහුන්ට ජයග්‍රහණය කල හැකි තත්වයක් තිබුනේ නම් ඔහුන් මේ කතාව කියන්නේ නැත. මැතිවරණය අනිවාර්‍යෙන්ම පැවැත්විය යුතුයැයි කියා හඬ නගන ප්‍රධාන දේශපාලන පක්ෂ අවංකව මහජන අයිතිය පිළිබඳව ඇති උනන්දුව හෝ කැපවීම නිසා එම ඉල්ලීම කරනවායැයි සිතිය හැකිද?. එසේත් නැත. ඔහුන් එසේ කියන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම ස්ථාපනය කර ඇති පළාත් සභා ඡන්දය ගැන ඔහුන් කිසිඳු හඬක් නොනඟන්නේ ඇයි?.

මැතිවරණ පැවැත්වීම නිසි කලට සිදුකිරීම අත්‍යාවශ්‍ය යැයි ඔහුන් අවංකව ම කල්පනා කරන්නේ නම් කළ යුතුව තිබුනේ වහාම පලාත් සභා මැතිවරණ පවත්වා ජනතා නියෝජිතයන්ට ඒ ඒ පළාත් සභා පාලනයට සම්බන්ධවීම ට ඉඩදිය යුතුය යන සටන මීට සෑහෙන කලකට පෙර ආරම්භ කිරීමය. ඒ සඳහා කිසිඳු හඬක් නොනැගූ මේ දේශපාලන පක්ෂ පළාත් පාලන මැතිවරණය ගැන පමනක් උනන්දුවීම හාස්‍ය ජනකය.

අනික් අතට මැතිවරණය කල් දැමීම නොඉවසන ඇතැම් පක්ෂ පළමු ප්‍රාදේශිය සභා මැතිවරණයේදී දේශපාලන පක්ෂ හා ස්වාධීන කන්ඩායම් වලට එම මැතිවරණයට ඉදිරිපත්වීම තහනම් කලේ එසේ තරඟ කලහොත් දඬුවම මරණය යැයි තර්ජනය කරමිනි. එසේ වෙනත් කිසිවෙකු තරඟ කිරීම වැලැක්වූ බැවින් එවක අප රාජකාරි කළ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කීපයකටම සන්නද්ධ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නාම යෝජනා භාරදුන් එවක ආණ්ඩුවේ දේශපාලන පක්ෂයේ අපේක්ෂකයෝ නිතරඟයෙන්ම පත්වීම් ලැබීමට සමත් වූහ. අනිකුත් පළාත්වල කිසිවෙක් තරඟ කිරීමට ඉදිරිපත්නොවූ බව මට මතකය.. මේ කලට වෙලාවට මැතිවරණ පවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය බලය පරිහරණයට ඉඩදිය යුතුයැයි වර්‍ර්තමානයේ කියන අයගේ අතීතයය. අතීතයේ එසේ වූවාට වර්තමානයේ අදහස වෙනස් කරන්නට බාධාවක් නැත. එහෙත් ඊට පෙර අතීතයේ වැරදුනු බවත් ඒ වරද යළි නොකරන බවටත් පිළිගැනීමට තරම් නිහතමානීත්වයක් පෙන්විය යුතුවේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වල උනන්දුව ගැනද කිවයුත්තේ එයමය. ඔහුන්ටත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම පළාත් සභා මැතිවරණය කල් දැමීම ගැන සිහිපත්වී නැත. මෙ පරිද්දෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණය කොරෝනා කියා කල් දැමීම හා ඒ මැතිවරණය පැවැත්වූ අක්‍රමවත් ආකාරය ගැන කිසිඳු උනන්දුවක් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දැක්වූයේ නැත.

2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියම කර තිබුනේ අප්‍රියෙල් 25 වන දිනයේය. නාම යෝජනා භාරගෙන අවසන්වූ මාර්තු 19 දිනම මැතිවරණ කොම්සම එදිනට මැතිවරණය පැවැත්විය නොහැකි බවට ප්‍රකාශ කර වෙනත් දිනයක් ඉදිරියේදී නියම කරන බව ප්‍රකාශ කලහ. මෙසේ වෙනත් දිනයක් නියම කිරීම යම් හදිසි හෝ අවස්තානුගත තත්වයක් යටතේ නියම කළ දිනට මැතිවරණය පැවැත්විය නොහැකි අවස්තාවකදී පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තියෙන් පවරා ඇති බලතල යටතේ කල හැකිව තිබුනු කාර්‍යකි.. මේ යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මට මතක හැටියට ජුනි මාසයේ දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම තීරණය කරන ලදී. එහෙත් එදිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ නැත. එය යලිත් වරක් කල් දැමීමට මැතිවරණ කොමිසම ක්‍රියා කල බව කවුරුත් දනිති. අවසානයේ අගෝස්තු 5 දිනයේ දී පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදී.

මේ අන්දමින් පාර්ලිමේන්තු මැතිවරණය දෙවෙනි වරටත් කල් දමා අගෝස්තු 5 දිනය තීරණය කිරීමට සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබුනේ කවර නීතියකින් දැයි කිසිවෙක් උනන්දුවෙන් හොයා බැලුවේ නැත. ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ගැන බොහෝ උනන්දුවක් දක්වන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වල නිරීක්ෂණයට මේකරුණ ලක්වුනේ නැත.

එනමුදු සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එකී පණතේ 24(3)යටතේ වෙනත් දිනයක් නියම කල පසුව එදිනටත් මැතිවරණය පැවැත්විය නොහැකි වුවහොත් ගතයුතුව තිබූ නෛතික පියවර නොගෙන වෙනත් දිනයක් යලිත් නියම කරමින් මැතිවරණ කොමිසම කල බලාත්‍රික්‍රමනය නිරීක්ෂණ සංවිධානවල හෝ දේශපාලන පක්ෂ වල නිරීක්ෂණයට ලක්වුනේ නැත.

මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් ඒ නඩුව ප්‍රතික්ෂේප වූ බවට පිළිතුරක් සපයා නිදහස් වෙන්න හිතා සිටින උදවියට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේ මැතිවරණය දින නියමයකින් තොරව කල්ගිය නිසා විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියෝගයක් ඉල්ලමින් මිස වෙනත් කරුණකට නොවන බව සිහිපත් කරවිය යුතුය. ඒ නිසා නිරීක්ෂණ සංවිධාන ඒවායේ දී නිරීක්ෂණය කලේ කුමක්ද යන්න සිතා ගත නොහැක.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ද පළාත් පාලන ඡන්ද විමසීම් පණතේ 38(1) වගන්තිය ප්‍රකාරව නිකුත් කළ යුතු ඡන්ද විමසීම පිළිබඳ ව වූ ගැසට් පත්‍රය අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිසි අන්දමින් නිකුත්කර නොතිබුනු බව නිරීක්ෂණය කලෙමි. නාම යෝජනා අවසානයේදී ඒ ඒ පළාත් පාලන ආයතනය සඳහා එක් නාම යෝජනාවකට වැඩියෙන් පිළිගැනීමකට ලක්ව ඇති අවස්තාවලදී නාම යෝජනා භාර ගත් තේරීම්භාර නිලධාරියා විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත ඒ බවටවූ වාර්තාවක් දිය යුතු අතර ඒ වාර්තාව ලැබීමෙන් පසු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා විසින් කොමිෂන් සභාවේ එකඟත්වය ඇතිව තීරණය කල ඡන්ද විමසීමේ දිනය ඇතුලත් කර ඡන්දය පවත්වන පළාත් පාලන ආයතනය ඡන්දය විමසන දිනය වේලවන් ඡන්ද මධ්‍යස්ථානවල නම් තරඟකරන අපේක්ෂකයින්ගේ හා පක්ෂ හා කන්ඩායම්වල නම් ඇතුලත් ගැසට් නිවේදනයක් පණතේ 38(1)වගන්තිය ප්‍රකාරව නිකුත් කල යුතුය.

නමුත් මේ සම්පූර්ණ ගැසට් නිවේදනය වෙනුවට නිකුත් කර තිබුනේ අදාල පළාත් පාලන ආයතනයේ නම ඡන්දය විමසන දිනය හා වේලාව පමනක් ඇතුලත් ඇතුලත් ගැසට් නිවේදනයකි. මේ අනුව පළාත් පාලන මැතිවරණය පැවත්වෙන බවට වූ නිසි නෛතික නිවේදනයක් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් සිදුකර නොතිබුනු බව කිව හැකිවේ. එසේ මැතිවරණ දිනය ඇතුලු තොරතුරු නෛතිකව නිසි ලෙස ප්‍රකාශයට පත්කර නැති අවස්තාවක වෙනත් දිනයක් නියම කිරීම කරන්නේ කෙසේ දැයි නොවැටහේ. මැතිවරණ නිරීක්ෂණය යනුවෙන් සිදුකරන නිරීක්ෂණයන්ට මේවාත් ඇතුලත්විය යුතු බවත් නිරීක්ෂණ සංවිධාන තේරුම් ගන්නේ නම් අගනේය.

පළාත් පාලන මැතිවරණය අද වනවිට කොතරම් දුරකට දේශපාලනීකරණය වී ඇත්දැයි තේරුම් ගැනීමට මේ දිනවල ඒ මැතිවරණය වෙනුවෙන් ඇතිවී තිබෙන පොරකෑමෙන් තේරුම්ගත හැකිය. කණ්ඩායමක් මැතිවරණය පැවැත්තුවොත් ඉන් පරාජයවී තමන්ගෙ බල අධිකාරයත් අභියෝගයට ලක් වී චුතවී යනු ඇතැයි බියෙන් සකලවිධ උපායන් මගින් මැතිවරණය නොපැවත්වීමට අර අඳිමින් සිටිති. තව පිරිසක් මේ මැතිවරණයෙන් ජයගෙන ඒ පදනම මත ඉතුරු මැතිවරණත් ජයගෙන තමන් අතට බලය ගතහැකියැයි සිතා මැතිවරණය වහා පවත්වනු යැයි කියා සටන අරඹා ඇත.

මේ අරගලය අස්සේ මහ ජනතාව කළ යුත්තේ පළාත් පාලනයෙන් දේශපාලන පක්ෂ ලෙස කරන බල අරගලය පලවා හැර ස්වාධීන මහජන නියෝජිතයින්ට පමනක් තරඟ කර පත්විය හැකි සැබෑ මහජන නියෝජනය සහිත බිම් මට්ටමේ රාජ්‍ය බලයෙන් කොටසක් ඉටුකරන අයතනයක් බවට පළාත් පාලන ආයතන පත්කර ගැනීමේ සටන මේ අවස්තාවේ ඇරඹිමය.

දේශපාලන පක්ශවල ඕනෑ එපාකම් සම්පූර්ණ කිරීමට හදාගෙන ඇති සමානුපාතික නියෝජන ආදී ක්‍රම පළාත් පාලන ආයතනවලින් ඉවත් කර කොට්ටාශයේ නියෝජිතයා තෝරා ගැනීමට කොට්ටාශයේ මහජනතාවට ඇති අයිතිය ආරක්ෂා කර ගැනීමටත් ඕනෑම අවස්තාවකදී කොට්ටාශයේ ජනතා බහුතරය ඉල්ලා සිටින්නේ නම් ඔවුන් පත්කල නියෝජිතයා ඉවත්කර නව නියෝජිතයෙකු පත්කර ගැනීමටද හැකි විධිවිධාන ඇතුලත් කිරීමටත් කොට්ටාශ වල නියෝජිත ධුර සඳහා දේශපාලන පක්ෂ මගින් තරඟ කල නොහැකිවන ලෙසටත් නීති වෙනස් කර දේශපාලන පක්ෂවල කොන්ත්‍රාත්කරුවන් වෙනුවට සැබෑ ප්‍රජා නායකයින් මගින් පළාත් පාලන ආයතන පාලනය කරන නව ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට වහා ක්‍රියා කරන ලෙසටත් වූ මහා සටනක් ජනතාව විසින් ඇරඹිය යුතුව තිබේ. මේ අදහසට වර්තමාන ප්‍රධාන දේශපාලන පක්ෂ නම් එකඟ වීමට ඉඩකඩ ඇත්තේම නැති තරම් ය.

Social Sharing
නවතම විශේෂාංග