මගේ ජීවිතේ වුණු හොඳම දේවල්වලින් එකක් විදිහට මම දකින්නේ ගෑනියෙක්වෙලා ඉපදුණු එක.

-කාංචනා ප්‍රියකාන්ත –

ගෑනියෙක් වෙන එක පවක් දුකක් විදිහට හඳුන්වපු ආගමික, සමාජ සහ සංස්කෘතික පසුබිමක ගෙවුණු ළමා කාලයක් උරුමවෙලා තිබුණත් මොකක්දෝ හොඳ වෙලාවකට මගේ යටි හිත හැමවෙලේම කිව්වේ ඒක එහෙම නොවෙයි කියලා. ඒක එහෙම තමයි කියන්න ඇස් පනාපිටම හේතු පිට හේතු මගේ ඉස්සරහ මම දකිද්දිත් ඒක එහෙම නොවෙයි කියලම තමයි මගේ හිත දිගින් දිගටම කිව්වේ. ලෝකය පවත්වාගෙන යන්න සංසාරයට ජීවය අල්ලලා ගැටගහගන්න පුළුවන් තරම් බලවන්තකමක් තියෙන ගෑනු ශරීරයක ගෑනු ආත්මයක තියෙන සුන්දරත්වය , ආදරණීය බව, ශක්තිමත් බව , සෞම්‍යබව, සුකොමල බව, වැඩිහිටියෙක් වෙද්දී පරිණත වෙද්දී තව තවත් වැටහෙනකොට ගෑනියෙක් වුණු එක ගැන මට ආයේ ආයෙමත් දැනෙන්නේ සතුටක් ආඩම්බරයක්.. ජීවත් වෙන්න, ඉහළට නගින්න , ගෑනියෙක්ට පිරිමියෙක්ට වඩා අමාරුයි කියන තර්කයෙන් මේ සටහනටත් මටත් දමලා ගහන්නට කෙනෙක්ට හිතෙන්නේ පුළුවන්. ඒත් ඇත්තටම ගත්තොත් ගෑනියෙක් ළඟ තියෙන දරා ගැනීමේ හැකියාව ඉවසිලිවන්තකම සමාව දීමේ ගුණය , කරුණාවන්තකම විශාල ශක්තියක් බවට පත්වෙලා අභියෝගයන්ට පවා අභියෝගකරන්න පුළුවන් අසීමිත හැකියාවක් හැම ගෑනියෙක්ටම තියෙනවා. මම කියන්නේ බොරු නම් මේ කියන දේට විරුද්ධ කාන්තාවන්ට ඉවසිලිවන්තව තමන් තුළට එබිලා බලන්න පුළුවන්. කාලයත් එක්ක මම කියන්නේ ඇත්ත කියලා තේරුම් යාවි.

ගෑනියෙක්ට නිදහසේ ජීවත්වෙන්න තරම් ආරක්‍ෂිත වටපිටාවක් සමාජයක් නැති රටක ගෑනු වෙලා ජීවත් වෙන එක වාසනාවක් වෙන්නේ කොහොමද කියලා ආයෙත් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ගෑනු හෝ වේවා පිරිමි හෝ වේවා වෙනත් ඕනෑම කෙනෙක් හෝ වේවා ගහ කොළ සතා සිව්පාවා හෝ වේවා , හැමකෙනෙක්ටම , නිදහසේ සතුටින් තෘප්තිමත් ජීවිතයක් ගතකරන්න පුළුවන් සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් , ආර්ථික ක්‍රමයක් සහ නීති පද්ධතියක් රටක සමාජයක ස්ථාපිත කරන්න පුළුවන් පිරිසක් අතට දේශපාලනික බලය ලැබෙන්නට සලස්වන එක ඒකට තියෙන එක විසඳුමක් . ඒ වගේම තමන්ට පුළු පුළුවන් විදිහට තමන්ගේ කාර්යභාරය කුමක් හෝ වේවා එය නොපිරිහෙලා ඉෂ්ට කරන එක තවත් විසඳුමක්. එතැනදී ස්ත්‍රී පුරුෂභාවය අදාල වෙන්නේ නැහැ. . එහෙම නැත්නම් එහෙම සමාජයක පිරිමික් නොවෙයි දෙයියන්වහන්සේ වෙලා ඉපදුනත් වැඩක් නැහැ කියන එකත් කියන්න ඕනේ.

අද ජාත්‍යන්තර කාන්තා දිනය.. විශේෂයෙන් ආයෙත් ආයෙත් කාන්තාව ගැන කතා කරාවි. ගෑනු මොන තරම් විචිත්‍රද ඒ විචිත්‍රත්වය ලෝකය මොන තරම් ආලෝකමත් කරනවද වර්ණවත්කරනවද , ගෑනුන්ගේ ආදරය සෙනෙහස දිගින් දිගටම ජීවය පවත්වගන්නවද කියන එක ගැන හිතුවම ආයේ ආයෙමත් ගෑනියෙක් වුණු එක ගැන මම ආඩම්බර වෙනවා සතුටු වෙනවා ..වැරදිලා හරි ආයේ ආයෙත් මේ ලෝකෙට ආවොත් මම ඒත් කැමති ගෑනියෙක් විදිහටම එන්න . ඉතිං හැම ගෑනියෙක්ටම තමන්ගේ ස්ත්‍රීත්වයේ සුන්දරත්වය සෞන්දර්යාත්මකබව විඳගන්න ඉඩ ලැබෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.

උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග