කවුද ගන්නේ ශ්‍රීලංකන්?

වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාභ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008 මාර්තු 31 දින සිට නැවතත් රජයට පවරා ගනු ලැබුවා.

පහතින් තියෙන්නේ 2008 මාර්තු අවසානයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් – රුපියල් බිලියන 51.3යි.

බැරකම් – රුපියල් බිලියන 28.5යි.

ශුද්ධ වටිනාකම – රුපියල් බිලියන 22.8යි.

රජයට පවරාගත් මෙම ආයතනයේ අද මූල්‍ය තත්ත්වය කෙසේද?

පහතින් තියෙන්නේ 2021 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් – රුපියල් බිලියන 154.4යි.

බැරකම් – රුපියල් බිලියන 443.6යි.

ශුද්ධ වටිනාකම – රුපියල් බිලියන සෘණ 289.3යි.

පොදු අරමුදල් වලින් ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය – රුපියල් බිලියන 82.5යි. (මෙම ගණනට 2020/21 මූල්‍ය වර්ෂය තුළ රජය විසින් ශ්‍රීලංකන් සමාගම වෙනුවෙන් යෙදවූ රුපියල් බිලියන 27.7ක මුදලක් සහ ඊට පෙර යෙදවූ මුදල් ඇතුළත්.)

රජය විසින් යෙදවූ මුදල් වාෂ්ප වී අවසන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ මුදල් වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න සිදු වී තිබෙන්නේ රටේ බදු ගෙවන ජනතාවටයි. වත්කම් හා බැරකම් අතර රුපියල් බිලියන 289.3ක හිඟයක් තිබෙන්නේ ඊට අමතරවයි.

මුදල් අමාත්‍යංශයට අනුව 2021 වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් රුපියල් බිලියන 170.6ක ශුද්ධ අලාභයක් ලබා ඇති අතර, 2022 පළමු මාස හතර තුළ තවත් රුපියල් බිලියන 248.4ක ශුද්ධ අලාභයක් ලබා තිබෙනවා. මේ අනුව, සමාගමේ ශුද්ධ සෘණ වටිනාකම මේ වන විට රුපියල් බිලියන 700ක් පමණ විය හැකියි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරනවා නම් කළ හැක්කේ මෙසේ එකතු වී ඇති ණය ආපසු ගෙවීමේ බර බදු ගෙවන ජනතාව මත පැටවිය හැකිනම් පමණයි. නිකම් දුන්නත් ණයකට කර ගහන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ.

ඇතැම් අය යෝජනා කරනවාක් මෙන් තෙල් සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි ආයතන විකුණා ලැබෙන මුදලකින් රජයට ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. මේ ආයතන විකිණුවත්, තියා ගත්තත් මේ ආයතන වල ණය ගෙවන්න සිදු වී තිබෙන්නේත් අනාගතයේදී බදු ලෙස එකතු කරගන්නා මුදලකින්ම තමයි. ඒ විදිහට හෝ ණය නොගෙවුවොත් වෙන්නේ මේ ආයතන කඩා වැටෙනවාට අමතරව මේ ආයතන වලට ණය දී තිබෙන රාජ්‍ය බැංකුත් කඩා වැටෙන එකයි.

– ඉකොනොමැට්ටා –

Social Sharing
ආර්ථික නවතම