එන්න ගිනි කන්දක් ඇතුලට යන්න…!!

පෘතුවියේ සිදුවන බිහිසුණුම ස්භාවික සංසිද්ධියක් තමයි ගිනිකඳු කියන්නේ…ගිනි කන්දක් ඇතුලේ මොන වගේ ඇතිද…අයිස්ලන්තයේ Thrihnukagigur ගිනි කන්ද පැත්තේ ගියොත් නම් ගිනි කන්දක ඇතුළ මොන වගේද කියලා බලලා එන්න පුළුවන්.
විශේෂයෙන් ගිනි කන්දක හදවත විදිහට සැළකෙන මැග්මා චෙම්බර් එක (Magma chamber) ඒ කියන්නේ ද්‍රව පාෂාණ එහෙම නැත්නම් මැග්මා, පෘතුවිය මතුපිටට පැමිණෙන තෙක් රැස් වී තිබෙන තටාකය වැනි ස්ථානය නැරඹීමටත් Thrihnukagigur ගිනි කන්දේදී අවස්ථාව උදා වෙනවා.
අයිස්ලන්තය කියන්නේ ලෝකයේ ගිනිකඳු බහුල geological hotspot එකක්…අයිස්ලන්තයේ ඇයි එච්චර ගිනි කදු…එකට හේතුව තමයි The Mid – Atlantic Ridge එසේත් නැත්නම් මධ්‍යම අත්ලාන්තික් කදු වැටියෙන් කොටසක් පෘතුවි පෘෂ්ඨයෙන් මතුපිටට පැමිණෙන්නේ අයිස්ලන්තයේදී වීම.
දැන් මොකක්ද මේ The Mid – Atlantic Ridge කියන්නේ ??? … උතුරු ඇමෙරිකානු භූ තැටිය යුරේසියානු භූ තැටිය සමගද , අප්‍රිකානු භූ තැටිය දකුණු ඇමරිකානු භූ තැටිය සමගද , මුණ ගැසීමේ මායිම තමයි The Mid – Atlantic Ridge කියන්නේ…උතුරු ඇමෙරිකානු භූ තැටිය සහ යුරේසියානු භූ තැටිය මුණ ගැසිලා මුහුදෙන් උඩට මතු වුණු කොටස තමයි අයිස්ලන්තය…බේස් බෝලයක මැහුම් දාරය වගේ තියෙන The Mid – Atlantic Ridge එකෙන් සියයට 90 ක ප්‍රමාණයක් තියෙන්නේ අත්ලාන්තික් සාගර පතුළේයි.
හරි….දැන් කියා කියා හිටියේ Thrihnukagigur ගිනි කන්ද ගැනනේ…අයිස්ලන්තයේ අගනුවර වන රෙක්ජාවික් වල ඉදලා කි.මී 30 ක් විතර දුරින් තමයි මේ Thrihnukagigur ගිනි කන්ද තියෙන්නේ.
මේ ගිනි කන්ද අවසන් වරට පුපුරලා ගිහින් තියෙන්නේ මීට අවුරුදු 4,000 කට විතර ඉස්සර කියලයි කියන්නේ…ඒක දැන් ආයේ නැගිටින්නේ නැති විදිහට සදාකාලික නින්දට වැටුණු මළ යමහලක් / ගිනි කන්දක් විදිහට තමයි සැලකෙන්නේ.
Thrihnukagigur ගිනි කන්ද නරඹන්න යන සංචාරකයින්ට ගිනි කන්ද උඩට ගමන් කරලා , එකේ මුදුනේ තියෙන දිග මීටර් 4 ක් සහ පළල මීටර් 4 ක් පමණ වන විවරයයෙන් තමයි ගිනි කන්ද ඇතුළට ගමන් කරන්න අවස්ථාව උදා වෙන්නේ…මේ විවරය ඔස්සේ පහළට ගමන් කරන්න විශේෂයෙන් සැකසු කුඩා ක්‍රේන් එකක් ක්‍රියාත්මකයි.
හරියට නිකන් බෝතලයක් ඇතුළට ගමන් කරනවා වගේ ගිනිකදු විවරය ඔස්සේ මීටර් 120 ක් විතර පහළට ගමන් කරලා ගිනි කන්ද ඇතුළට ලගා වෙන්න පුළුවන්ලු…එතැනදී තමයි මැග්මා චෙම්බර් එක මුණ ගැසෙන්නේ…මේ මැග්මා චෙම්බර් එක කොච්චර විශාලද කියනවා නම් සුප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව උනත් එකේ ඇතුලේ තියන්න පුළුවන් කියලයි කියන්නේ…මැග්මා චෙම්බර් එකේ නිරිත දිග දිශාවට වෙන්න මීටර් 200 ක් විතර ගැඹුරට පොළොව අභ්‍යන්තරයේ මැග්මා ගලාගෙන ආපු මාර්ගයත් දැක ගන්න පුළුවන්ලු.
ගිනිකන්දේ ඇතුලේ බිත්ති නොයෙකුත් පාටින් වර්ණ ගැනිවීලා තියෙන්නේ ගිනි කන්ද තිබුන උෂ්ණත්වයට…ඒකෙන් මෙම ස්ථානයට එක කරන්නේ භයංකාරය මුසුවූ අමුතුම සුන්දරත්වයක්…සාමාන්‍යයෙන් ක්‍රියාකාරී මැග්මා චෙම්බර් එකක් ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,300 ක් විතර වෙනවලු.
සාමාන්‍යයෙන් අක්‍රීය / මළ ගිනි කන්දක මැග්මා චෙම්බර් එක නිරුපද්‍රිතව බලා ගන්න ලැබෙන අවස්ථාව බොහොම අඩුයි කියලයි කියන්නේ…මොකද මැග්මා චෙම්බර් එකේ තියෙන මැග්මා කාලයක් යනකොට සීතල වෙලා පාෂාණ (igneous rock) බවට පත් වෙනවා….එතොකොට වෙන්නේ මැග්මා චෙම්බර් එක සම්පුර්ණයෙන්ම පාෂාණයක් බවට පත් වෙලා ගිනිකදු මාර්ගය ඇහිරී යන එක.
නමුත් Thrihnukagigur ගිනි කන්දේ මැග්මා චෙම්බර් එකේ මැග්මා අතුරුදහන් වෙලා තිබීම භූ විද්‍යාඥයින් විසින් සළකන්නේ දුර්ලභ සිද්ධියක් විදිහට…ඔවුන් විශ්වාස කරනවා චෙම්බර් එකේ තිබුණු මැග්මා පෘථිවියේ ගැඹුරට ගමන් කරන්නට ඇති බව…ඒක හින්දම මේ ගිනිකන්ද අක්‍රීය ගිනි කදු අතර සුවිශේෂී ගිනි කන්දක් විදිහට තමයි සැළකෙන්නේ…
උපුටාගැනීම  – පියැසි කවුළුව
Social Sharing
අවකාශය නවතම විශේෂාංග