රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්‍යක්ෂම කිරීමට පියවර.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය ලිහිල් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛණයක් නිකුත් කර තිබේ.

ඒ 1980 අංක 31 (එල්. ඩී. ඕ. 32/2011) දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන සංශෝධන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත ප්‍රකාරවය.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින්  2020 නොවැම්බර් 20 වන දින නිකුත් කර ඇති අංක 04 දරණ චක්‍රලේඛණය මඟින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය කල් ගතවන සහ වියදම් අධික ක්‍රමවේදයක් බවට පත් කර තිබූ අතර මෙම නව අංක 06 දරන චක්‍රලේඛණය මඟින් එම ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම වෙනස් කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ බොහෝ විට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන අවමංගල්‍යාධාර සමිති, සුබ සාධක සමිති වැනි ආයතන වීමයි.

එවැනි සංවිධාන වල ලියාපදිංචිය කාර්‍යක්ෂම කිරීමටත් වියදම අවම කිරීමටත් සලකා බලා අදාළ චක්‍රලේඛණය නිකුත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සංජීව විමලගුණරත්න කටයුතු කර තිබේ.

 

Social Sharing
නවතම