– කරුණාත්න අමරසිංහ –
(2022 ඔක්තෝබර් 4 වැනිදාට යෙදෙන 58 වන අභාව අනුස්මරණය අරභයා)
“හැම ප්‍රභාතයක් පාසා වංග දේශයේ මහා කවියාගේ හෘද ස්පන්දනය මට දැනෙයි .හේ නොමළේය. ඔහුගේ ජීවයවර්ණයන්ගේ සදා කාලික පරිවර්තනයෙහි වූ අලුත් පුෂ්පයන්ගේ විකාශනයයි.”
භාරතීය මහා කවි රබීන්ද්‍රනාථ ඨකූර් නමැති විශ්ව විද්වතා අරභයා ප්‍රකාශිත ක්ෂුද්‍ර සෞන්දර්ය විවරණයක් වන් මේ රමණීයරසාත්මක කාව්‍යමය වාක්‍යය මවිසින් උපුටා ගැනුණේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, මා මිත්‍ර එඩ්මන්ඩ් ජයසූරිය සූරීන්ගේ‘ගීතාංජලී ‘ සිංහල පරිවර්තනයට ලියූ උත්කෘෂ්ට ප්‍රස්තාවනාවෙනි. මියෙන්නට පෙර කෙසේ හෝ මෙය සොයා ගෙන වරක් හෝකියවීමෙන් සරස හෙළ බස ඔබ මව් බස වීමේ දුලබ පින් පලය නොතිත් ලෙස විඳිත්වායි මගේ ළබඳ එෆ්,බී සාහිත්‍යරසකාමීන්ට ඉත සිතින් ආරාධනා කරම්හ.
සෞන්දර්යයේ පරම මූර්තියක් වන් රබීන්ද්‍රනාථ ඨකූර් කිවිඳුන්ට තම ‘ගීතාංජලී‘ කෘතිය උදෙසා නොබෙල් ත්‍යාගය පිරිනැමූණේ1913 වසරෙහිය. එහි සිංහල පරිවර්තනයට 1960 වසරෙහි හෘදයානන්දකර ප්‍රස්තාවනාව ලියූ සෞන්දර්ය නිකේතනයක් වන් ශ්‍රීචන්ද්‍රරත්න මානවසිංහයන් මෙලොවින් පළමු හුස්ම පොද තම ළය තුළට ඇදගත්තේද 1913 වසරේම වීම ආකස්මිකආශ්චර්යකි.තමා ඨකූර් කිවිඳුන් අරභයා ප්‍රකාශ කළ අභිරමණීය අභිවාදන පාඨය මානවසිංහ කිවිඳුන්ටද එක සේ සාධාරණවෙතියි හඟිමි. ඒ මන්ද? හැම ප්‍රභාතයක් පාසාම ලංකා දේශයේ මේ මහා කවියාගේ හෘදය ස්පන්දනයද එසේම දැනෙනහෙයිනි. හේද නොමළේය .ඔහුගේ ජීවයද වර්ණයන්ගේ සදා කාලික පරිවර්තනයෙහි වූ අලුත් පුෂ්පයන්ගේ විකාශනයක්මමැයි. මානවසිංහයෝ එතරම්ම සෞන්දර්ය රස කාමයෙන් ප්‍රමත්තව සිටියහ.ඔහු ලියූ ගැදි ,පැදි, ගී ආදියෙහි යෙදුණු මුදු සිනිඳු, සියුමැලිකොමල ,මට සිලිටි, ළපලු මල් පෙති වන් වදන් හිතින් පමණක් නොව අතින්ද පිරිමැද බලන්නට සිතෙයි .
හෙළ බසෙහි මිහිර කවියෙන් මහද ගැල්වූ පුරාතන නූතන සුමියුරු කිවියන් දෙතුන් දෙනා අතර මානවසිංහ කිවිඳාණෝ පළමුපෙළෙහි වැජඹෙති. ‘ගීත ගෝවින්ද‘ මාධූර්යයෙන් රසාවිෂ්ට මානවසිංහයන් කුලුපගව ඇසුරු නොකරන්නට මා සංස්කෘත භාෂාවටමෝහනය වී එය හදාරන්නට කිසි දා නොපෙලඹෙන්නටද ඉඩ තිබුණි. ඔහු මා සංස්කෘත සාහිත්‍ය සාගරයේ පිහිනීමට පුරුදු කළේභාරත කාව්‍ය කුරවීක ශ්‍රී ජයදේවයන්ගේ වාගාමෘත කල්ලෝල මාලා ආලෝලිත ‘ගීත ගෝවින්ද‘ කාව්‍ය රසෝඝයේ නිදැල්ලේ පාකර හරිමිනි.
ඇසුරෙන් නිබඳ මානවසිහ
අරවින්ද
මහදෙහි පිරුණි සකු සාහිත
මකරන්ද
ඔබමය රහස සකුවට මා පෙම්
බැන්ද
කවියකි ඔබ නමද කිවිඳුනි
මනනන්ද
මානවසිංහයන් දිවමන් කල මෙන්ම දිවංගත වීමෙන් පසුවද ඔහුගේ ලේඛන කෞශල්‍යය ,වාග් චාතූර්ය හා අපූර්ව උත්පාදකශක්තිය යන ත්‍රිවිධ ගුණ විශේෂයන්,ප්‍රමාණවත් නොවන ලෙසින් වුවද විමර්ශනයට ලක් වී ඇතත්, පාලි ,සංස්කෘත උභය භාෂාවිෂයෙහි ඔහු තුළ පැවති විශේෂ ප්‍රාගුණ්‍යය එපමණින් වත් විශ්ලේෂණාත්මකව සාකච්ඡාවට භාජනය වූ බවක් මගේ සිහියට නම්නොනැගේ.මේ ලිපිය වූකලී එවැන්නකට දැරූ බින්දු මාත්‍ර තැතකි. මෙය මානවසිංහයන් විසින් රචිත පෙළ හා සකු ගීත දෙකකටපමණක් සීමා වෙයි .
සංස්කෘත,පාලි ,වංග සහ සිංහල යන චතුර්භාෂා විෂයෙහි එක සේ හසළ දැනුමැති මානවසිංහයන් ,සකු බස හැදෑරීමෙහිලා මාතුළ ජනිත කළ නොසන්සිඳෙන අභිරුචිය උදෙසා ඔහුට කරන බුහුමනක් වශයෙන් පහත දැක්වෙන මගේ මේ ප්‍රණාම පාඨය සකුබසින්ම ලියන්නේ අප්‍රමාණ කෘතවේදී හැඟීමෙනි.
.
“මානවසිංහායමානස්‍ය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කවීන්ද්‍රස්‍ය අප්‍රතිම උදාර ගුණගණමහං අතීව සාදරං සර්වදා මනසාස්මරාමි!”
.
(මිනිස් සිංහයෙකු වැනි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කිවිඳුන්ගේ අසමාන උසස් ගුණ සමූහය මම ඉතා ආදරයෙන්
හැම දා සිතින් සිහිකරමි.)
රති සුඛ සාරේ ගතමභිසාරේ මදන මනෝහර වේෂම්
න කුරු නිතම්බිනි ගමන විලම්බන මනුසර තං හෘදයේෂම්
ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වනමාලී
ගෝපී පීන පයෝධර මර්දන චංචල කර යුග ශාලී
අනුප්‍රාසයෙන් අලංකෘත වූ,
එනිසා ම,ශ්‍රවණ රමණීය වූ මේ ගීත ගෝවින්ද පද්‍යය ශ්‍රී ජයදේවයන්ගේ වාග් අමෘතයක් වැනිය. මේ පද්‍යය අසන සිංහල පමණක්දන්නා රසිකයෙකුට එය සංස්කෘත භාෂාවෙන්ම රචිත වූවක් ලෙසමැ හැඟෙනු නිසැකය.එහෙත් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින්රචිත සරස්වතී අභිනන්දන ගීතය අසන විට සිංහල අපට හැඟෙන්නේ එය සිංහල භාෂාවෙන්ම රචිත වූවක් ලෙස නොවේද ?
ජගන්මෝහිනී– මධුර භාෂිණී
චාරු දේහිනී කමල වාසිනී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී
අමර භූෂිණී මන්ද හාසිනී
විජය රංජනී ශාස්ත්‍ර ධාරිණී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී
කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා
මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භමිව පීන පයෝධර පූරිතාමෘත ධාරා
භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර
සුරකුල වර අභිරූපා
දේහි දේහි වර දායක හස්තේ ශුභ මංගල මුද්‍රා
මේ ගීතය සංස්කෘත භාෂාවේ ව්‍යාකරණානුකූලව විරචිත වූවක් බව බොහෝ අය නොදන්නා කරුණක් යැයි සිතමි. හුදෙක්මෙමගින් ප්‍රකට වන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සතුව පැවති උභය ශූරත්වයකි. එකක් නම් ඔහු තුළ වූ සංස්කෘත භාෂාඥානයයි. අනික වූකලී මිශ්‍ර සිංහලයේ නිතර ව්‍යවහාර වන සංස්කෘත වාංමාලාව සිංහල ස්වරූපයට ගැළපීමේ
සාමර්ථ්‍යයයි. අපට මෙය සිංහල ගීතයක් ලෙස හැඟෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙහි ඇතුළුව ඇති සංස්කෘත ව්‍යාකරණප්‍රයෝග වටහා ගත හැක්කේ ඒ බස දත් අයට පමණි.ඒ ප්‍රයෝග කවරේදැයි දැන ගැනීම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සංස්කෘතභාෂා ඥානය අවබෝධ කර ගැන්මට රුකුලක් වෙතියි සිතමි.මේ ගීතයෙන් උපුටා පහත දැක්වෙන සියලු යෙදුම් සංස්කෘතව්‍යාකරණානුකූලව ගළපා ඇති බව ඒවා පාදක කොට ගෙන මවිසින් ඉදිරිපත් කැරෙන නිරුක්ත්‍යාර්ථ මගින් ඔබට ඉඳුරා පසක් වනුඇත.
ජගන්මෝහිනී
මෙය ‘ජගත්‘ සහ ‘මෝහිනී‘ යන වචන දෙක සන්ධි වී සෑදී ඇත. විසන්ධි වූ කල එය ‘ජගත්‘+’මෝහිනී‘ ලෙස සිටියි. මෙහි පළමුපදයේ අග ඇත්තේ ‘ත්‘ ශබ්දයයි. දෙවෙනි වචනයේ මුල ඇත්තේ ‘මෝ‘ ශබ්දයයි‘.ම‘නාසික්‍ය ශබ්දයකි. නාසික්‍ය ශබ්දයක් සන්ධිවිය යුත්තේ තවත් නාසික්‍ය ශබ්දයක් සමගය. එය සංස්කෘත සන්ධි නීතියකි.පළමු පදයේ ‘ත්‘ ශබ්දයට අයත් නාසික්‍ය ශබ්දය ‘න‘ කාරයයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින්‘ජගත්‘+’මෝහිනී‘ විසන්ධිය ‘ජගන්මෝහිනී‘ ලෙස සන්ධි වූයේ එකී සන්ධි නීතියඅනුවය.
වන්දේ
මෙය සංස්කෘතයේ උත්තම පුරුෂ ඒකවචන, වර්තමාන කාල ආඛ්‍යාත පදයයි.’වඳිමි‘ යනු එහි අර්ථයයි.
පාද සරෝජේ –කටී තටාකේ– වර දායක හස්තේ
සංස්කෘතයේ සප්‍තමී විභක්තියෙහි (ආධාර විභක්තියෙහි ) වැටෙන යෙදුම් තුනකි මේ. පිළිවෙළින් ඒවායින් ‘පා පියුමෙහි‘ -‘ උකුළු විලෙහි‘ -‘වරම් ලබා දෙන අතෙහි‘ යන අර්ථ ප්‍රකාශ වෙයි.
කූජිත –කම්පිත–අංකිත
මේ සංස්කෘතයේ අතීත කෘදන්ත පද තුනකි. පිළිවෙළින් ඒවා ‘හැඬැවුණු‘ ‘සෙලවුණු‘ ‘ලකුණු වුණු‘ යන අර්ථ ප්‍රකාශ කරයි .
පූර්ණකුම්භමිව
මෙය විසන්ධි වූ කල ‘පූර්ණකුම්භං‘ +’ඉව‘ ලෙස සිටී. ‘පූර්ණකුම්භං‘ යනු පුන්කලසයි. ‘ඉව‘ යනු ‘ වැනි‘ යන අර්ථය දෙනනිපාත පදයකි.ඒ දෙපදය සන්ධි වූ කල ‘පූර්ණකුම්භමිව‘ යන සංස්කෘත සන්ධි පදය සෑදේ. එහි අර්ථය ‘පුන්කලස් වැනි‘ යන්නයි .ශ්‍රීචන්ද්‍රරත්න මානවසිංහයන් එය යොදා ඇත්තේ පීන පයෝධර (පුන් පියයුරු ) යන්නට උපමා වශයෙනි.
පූරිතාමෘත ධාරා
මෙය විසන්ධි වන්නේ ‘පූරිත‘+’අමෘත ධාරා‘ ලෙසය.’පූරිත‘ යනු ‘පිරුණු‘ යන අර්ථය දෙන අතීත කෘදන්ත පදයකි. එය අන්තවන්නේ ‘අ‘ ස්වරයෙනි ‘අමෘතධාරා‘ යන සමාස පදයේ මුල ඇත්තේද ‘අ‘ යන ස්වරයයි. එසේ ‘අ‘ ඇති දෙපදයක් සන්ධි වෙද්දී අගමුල ‘අ‘ ස්වර දීර්ඝ වෙයි . සංස්කෘතයේ මේ සන්ධිය හැඳින්වෙන්නේ ‘සවර්ණ්දීර්ඝ(සමාන ශබ්ද දික්වීම)යන නමිනි .
මානවසිංහයන් අතින් ‘පූරිතාමෘතධාරා‘ (අමා දහර පිරුණු) යන අනුප්‍රාස සහිත සමාස පදය යෙදුණේ ඒ අනුවය.
දේහි දේහි
සංස්කෘතයේ ‘දෙන්න‘ යන අර්ථය දෙන විධි ක්‍රියාව ‘දේහි‘ යන්නය. මානවසිංහයන් මෙය දෙවරක් යොදා ඇත්තේද සංස්කෘතආලංකාරිකයන්ගේ උපදේශයක් අනුවය.”අධික වචනමධිකාර්ථං ගමයති” යනු ඒ උපදේශයයි “වැඩි වචන යෙදීමෙන් වැඩි අර්ථයක්හැඟවෙයි .” යනු එහි අර්ථයයි
.
ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහයන් සංස්කෘත භාෂාව විෂයෙහි පමණක් නොව පාලි භාෂාව විෂයෙහි ද විශාරදයෙකු වූ බවට ඔහුවිසින් පාලියෙන් රචිත බුද්ධජයන්ති ගීතය ප්‍රත්‍යක්ෂ සාක්ෂ්‍යයක් වෙයි. එයද පාලි භාෂාවෙහි ව්‍යාකරණ සිද්ධාන්ත මත පිහිටා කළරචනයකි.මානවසිංහයන් පාලි භාෂාවේ ව්‍යකරණානුකූලව රචනය කළ බුද්ධජයන්ති ගීතයයි මේ.
පාතුරහෝසී බුද්ධජයන්තී ධම්ම සමය උදපාදී
උට්ඨහථ නිසීදථ ධාරේථ ධම්මං
ආරභථ නික්ඛමථ චරථ චාරිකං
අරියං සච්චං ධම්මං ඤාණං ආලෝකෝ උදපාදී
පාතුරහෝසී බුද්ධජයන්තී ධම්ම සමය උදපාදී
සම්බෝධි පාරමී පූරේථ නිච්චං
රක්ඛේථ සාධුකං පටිපත්ති අග්ගං
සචකිත පවනේ තරු වන ගහනේ ලම්බිත ලීලා කේලී
පල්ලව කුසුමාවලි ගායන්තී බුද්ධ බුද්ධ අනු ගීතං
පාතුරහෝසී
බුද්ධජයන්තී ධම්ම සමය උදපාදී
මේ බුද්ධජයන්ති ගීතයේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, වාක් ලාවණ්‍යයෙන් අනූන වන ආකාරයෙන් පාලි වදන් හා යෙදුම්භාවිතයට ගෙන ඇත.ඔහු සතුව පැවති පාලි භාෂා ඥානය විශද කොට දක්වන ආකර්ෂණීය නිදර්ශනයක් ලෙස එය හැඳින්වියහැකිය. ව්‍යාකරණානුකූල පාලි භාෂා භාවිතයෙහි ලා ඔහු තුළ වූ රචන පරිචයෙහි මහිමය , ඒ ගීතයෙන් උපුටා ගත් මේ වදන් හායෙදුම් සඳහා කැරෙන මගේ අර්ථ විවරණයන් ගෙන් මනාව සනාථ වෙනු ඇත.
පාතුරහෝසී
පාලියෙහිදී මෙය විසන්ධි වූ කල ‘පාතු‘+’අහෝසි‘ යනුවෙන් සිටී. .’අහෝසි‘ යන පදය මුල ඇත්තේ ‘අ‘ ස්වරයයි. එසේ වූ කල‘පාතු‘ යන පළමු පදයත් ‘අහෝසි‘ පදයත් අතරට ‘ර්‘ ශබ්දය ආගම වීම(අතරට පැමිණීම )පාලි සන්ධි නීතියකි. ඒ අනුව ‘පාතු‘+ ‘අහෝසි‘ යන විසන්ධිය ‘පාතුරහෝසී‘ ලෙස සන්ධි වෙයි .’පහළ වීය‘ යනු එහි අර්ථයයි.
උදපාදි
‘උදාවිය‘ යන අර්ථය දෙන අතීත ආඛ්‍යාත පදයකි.
උට්ඨහථ –නිසීදථ–ධාරේථ– ආරභථ –නික්ඛමථ– චරථ –පූරේථ– රක්ඛේථ .
මේ පාලි විධි ක්‍රියා පද අටකි. ඒවායේ අර්ථ පිළිවෙළින් මෙසේ වෙයි.
නැඟිටිනු,හිඳිනු,දරනු,අරඹනු, නික්මෙනු ,සරනු, සපුරනු, රකිනු.
පවනේ – තරුවනගහනේ
මේ යෙදුම් දෙක සප්තමී (ආධාර) විභක්තියෙන් යොදා ඇත.
‘පවනේ‘ යන්නෙන් ‘සුළඟෙහි‘ යන අර්ථයද‘තරුවනගහනේ‘ යන්නෙන් ‘ගස් සහිත වන සමූහයෙහි‘ යන අර්ථයද ප්‍රකාශ වෙයි .
ලම්බිත–සචකිත
‘ලම්බිත‘ යනු ‘එල්ලුණු‘ යන අර්ථයද, ‘සචකිත‘ යනු ‘සැලුණු‘ යන අර්ථයද ප්‍රකාශ කරන අතීත කෘදන්ත පද වෙයි.
ලීලා කේලී
‘ලීලා‘ යනු ‘අඟරදඟර‘යි.’කේලී‘ යනු ‘ක්‍රීඩා‘ හෙවත් ‘සෙල්ලම්‘ය.
පල්ලව –කුසුමාවලි
‘පල්ලව‘ යනු දලුය.’කුසුමාවලි‘ යනු මල් වැල්ය. එය බහු වාචීව යෙදී ඇත.
ගායන්ති
ප්‍රථම පුරුෂ බහු වචන වර්තමාන කාල ආඛ්‍යාත පදයකි. ‘ගයති‘ යන බහු අර්ථය දෙන රූපයයි. ‘පල්ලව කුසුමාවලි‘ යන බහුවාචී උක්ත පදය හා ව්‍යාකරණානූකූලව ගැළපී සිටී.
බුද්ධ බුද්ධ අනුගීතං
‘බුද්ධ‘ ‘බුද්ධ‘ යන හඩ නංවමින් ගැයෙන ගීතය යන අර්ථය දීම සඳහා මානවසිංහයන් විසින් නිපදවන ලද රමණීයඅලංකාරෝක්තියකි. මීට සමාන අලංකාරෝක්තියක් මානවසිංහයන් විසින්ම රචිත සිංහල ගීතයකද ” ‘මහ මුනි‘ ‘මහ මුනි‘ කියලයි කොළ නැටවෙන්නේ” යනුවෙන් එයි.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් විරචිත බුද්ධජයන්ති ගීතයෙහි අවසාන දෙපාදයේ ගැබ් වුණු මනෝරම්‍ය රසාත්මක අර්ථයමෙසේය.
“වනයේ ගහ කොළවල අතුපතරේ එල්ලෙමින්,හමන පවනේ සැලි සැලී නටන දලු හා මල් වැල්හු ‘බුද්ධ‘ ‘ බුද්ධ ‘ රැවු නඟනගීය ගයති.”
උපුටාගැනීම : ෆේස්බුක්