“මම විහිළු කරනවා නොවෙයි, පෙට්රල්වලින් ‘මාස්ක්’ සෝදන්න” – පිලිපීන ජනාධිපති

“මම විහිළු කරනවා නොවෙයි, මුඛ ආවරණ පෙට්රල්වලින් සෝදාගන්න,” පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ නැවත වරක් තම ජනතාවට කියා සිටියේය.

ඔහු මෙයින් දින කීපයකට පෙරත් සිය ජනතාව අමතමින් පෙට්රල්වලින් මුඛ ආවරණ සෝදාගන්නා ලෙස කියා තිබුණි. එහෙත් එම ප්‍රකාශය සමඟ වහාම ක්‍රියාත්මක වූ පිලිපීන ආණ්ඩුවේ නිලධාරීන් ජනාධිපතිවරයා නිවැරදි කරමින් කියා සිටියේ ඔහු “විහිළුවක්” කළ බවය.

රෙදිවලින් සකස්කළ මුඛ ආවරණ සාමාන්‍ය පරිදි සෝදාගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීන් ද පවසති. එහෙත් ඔවුන්ගේ උපදේශය වන්නේ සායන මුඛවැසුම් පාවිච්චියෙන් අනතුරුව ඉවත දමන ලෙසය.

මේ අතර ජනාධිපති ඩුටර්ටේ සිය පළමු ප්‍රකාශය යළිත් පෙරට තබමින් පසුගිය ජූලි 24 දා මෙසේ සඳහන් කර තිබුණි.

“මම මීට ඉස්සෙල්ලා කිව්වෙත් ඇත්තක් … ඉන්ධන පිරවුම් හලකට යන්න.”

පෙට්රල්වලින් මුඛ ආවරණ ජීවහරණය කළ හැකිද? යන්න පිළිබඳව සාක්ෂි නොමැත.

කෙසේවුවද, ඒවා දීර්ඝ වේලාවක් පෙට්රල් සමඟ තිබීම හානිකර වියහැකිය. එසේම පෙට්රල් දියරය ගිනිගැනීම් වැනි අනතුරු ඇතිකිරීමට ඉඩකඩ ඇත.

ඩුටර්ටේ කිව්වේ මොනවාද?

සිය පළමු ප්‍රකාශය ගැන යළි සඳහන් කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

“විවේචකයන් කියනවා ඩුටර්ටේ ට පිස්සුය කියල. මෝඩයා! මට පිස්සුනම්, ජනාධිපති වෙන්න ඕන ඔහුයි. මම නොවෙයි.”

“මම කිව්වේ මොකක්ද? ඒක ඇත්ත! මධ්‍යසාර නැත්නම්, විශේෂයෙන්ම දුප්පත් මිනිස්සුන්ට ඒවා නැත්නම්, ඉන්ධන පිරවුම් හලකට යන්න. පෙට්රල් යොදාගෙන ‘මාස්ක්’ පිරිසිදුකර ගන්න.”

“මම විහිළු කරනවා නොවෙයි. ඔව්! මම විහිළු කරනවා නොවෙයි. ඔබ…ඔබ උත්සාහකරන්න – මගේ මොළේට ඇතුල්වෙන්න.”

පිරිසුදු කිරීම සඳහා යොදාගනු ලබන දේවල් නොමැති ජනයාට ඉන්ධන පිරවුම්හල් කරා ගොස් පෙට්‍රල් මගින් මුඛ ආවරණ ජීවහරණයකර ගැනීමට හැක්වනු ඇතැයි ඔහු පළමු ප්‍රකාශය මගින් කියා තිබුණි.

“දවස අවසානයේ මාස්ක් එක කොහේ හරි එල්ලන්න. ඔබට වියදම දරාගන්න පුළුවන් නම්, මාස්ක් එකට ‘Lysol’ ඉහින්න.”

ජනාධිපති ඩුටර්ටේ එම උපදේශය දුන්නේ පිරිසිදුකිරීම් සඳහා බෙහෙවින් පාවිච්චියට ගනුලබන ‘Lysol’ දියරය ගැන සඳහන් කරමිනි.

“Lysol නැත්නම්, මාස්ක් පෙට්‍රල් එහෙමත් නැත්නම් ඩීසල්වලින් පොඟවන්න. පෙට්රල් ටිකක් සොයාගෙන මාස්ක් එක අතට අරන් අත පෙට්රල් භාජනය ඇතුළට දමන්න.”

එහෙත් එම ප්‍රකාශයෙන් පසු ජනාධිපති ප්‍රකාශක හැරී රොක් (Harry Roque) වහාම එය නිවැරදි කළේය.

“මට හිතාගන්නවත් බැහැ, ජනාධිපති හැටියට අවුරුදු හතරකට පස්සෙවත් ඔබට තවමත් ඔහු තේරුම්ගන්න බැරිවීම ගැන. ඔහු කළේ විහිළුවක්! ඇයි? අපි සෝදා පිරිසිදු කිරීම්වලට පෙට්රල් යොදාගන්නේ?” ජනාධිපති ප්‍රකාශක හැරී රොක් ‘Rappler’ මාධ්‍ය ආයතනයට ප්‍රකාශ කළේය.

ඒ අතරවාරයේ අදහස් දැක්වූ සෞඛ්‍ය නිලධාරිනී මරියා රොසාරියෝ (Maria Rosario Vergeire) රෙදිවලින් සකස් කරනු ලැබ ඇති මුඛ ආවරණ සාමාන්‍ය ආකාරයට සෝදාගැනීමට හැකි අතර, සායනික මුඛ ආවරණ පාවිච්චියෙන් පසු ඉවත දමන ලෙස උපදෙස් දුන්නාය.

පිලිපීනයේ කොරෝනා තත්වය

පිලිපීනයේ කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සිකුරාදා වනවිට අනූදහසකට ආසන්න මට්ටමක විය.

පසුගිය සිකුරාදා වනවිට පිලිපීනයේ කොරෝනා මරණ සංඛ්‍යාවත් දෙදහසකට ආසන්නව පැවතුනි.

ඒ අතර ප්‍රකාශයක් කළ ජනාධිපති ඩුටර්ටේ මැනිලා අගනුවර බල පැවැත්වෙන තහංචි අගෝස්තු මාසයේ මැදභාගය තෙක් බලපැවැත්වෙනු ඇතැයි සඳහන් කළේය.

මැනිලා අගනුවර දැනට පවතින්නේ මහජනතාව පොදු ප්‍රජාමය මට්ටමින් හුදෙකලාකරනය (general community quarantine ) කරනු ලැබ ඇති තත්වයකය. එම කොන්දේසි යටතේ ළමුන් සහ වැඩිහිටියන් එහාමෙහා සංචාරය කිරීම සීමාකොට ඇති අතර වෙනත් තහංචි ද බලපැවැත්වෙයි.

එන්නතක් ලද අවස්ථාවක පහල ආදායම් ලබන ජනතාවට ප්‍රමුඛතාව දෙමින් එම එන්නත නොමිලේ ලබාදෙන බවට ජනාධිපති ඩුටර්ටේ ප්‍රතිඥාවක් දී ඇත.

BBC සිංහල

Social Sharing
විදෙස්