විජේ, දුර්ලභ මිනිහෙක්..!

1985 අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ තිබුණු විශාලතම විප්ලවකාරී දේශපාලන ව්‍යාපාරය වගේම හතරවන ජාත්‍යාන්තරයට තිබුණු විශාලම පක්ෂය, කම්කරු විප්ලවවාදී පක්ෂය කැඩුන. හීලී [ජෙරී හීලී] නායකය, පක්ෂයෙන් නෙරපුනා. එතකොට එම පක්ෂයේ ලේකම් මයික් බන්ඩා[මයිකල් වැන්ඩපූටන් – ලංකාවේ උපන්නෙක්, මැණිකා වැන්ඩපූටන් ගේ තාත්තා] හදිසි පණිවිඩයක් ආවා මධ්‍යම කාරක සභාව රැස්වෙනවා. වහාම මරදානේ කාර්යාලයට එන්න. මම වහාම ගියා. මධ්‍යම කාරක සභාව පටන් ගන්න සුචරිත[ මහාචාර්ය සුචරිත ගම්ලත්] විජේ [ඩයස්] දෙන්නම සොයා ගන්න නෑ. කීර්ති [ බාලසූරිය – නියම නම ධර්ම කීර්ති ජයසේකර] සභාවේ යතුරු පැදි තියෙන දෙන්නෙකුට කීව ගෙවල්වටම ගිහින් අරන් එන්න කියලා.

ප්‍රමාදවෙල ආවත් විජේ වගේම සුචරිත හිටියෙත් බලවත් මානසික පීඩනයක. දෙන්නම විශ්ව විද්‍යාලයේ තනතුරු අහිමිව නැතිව දේශපාලනය කරමින් සිටියේ. විජේ එතන සිටි වටිනාම කැප කිරීම කරපු කෙනා. විජේ මට මතක හැටියට කොළඹ සරසවියේ ඉතිහාස දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරයෙක්. පසුව ආචාර්ය උපාධිය කරන්න ලන්ඩනයට ගිහින් උපාධි විසී කරල එහේදීම පුර්ණකාලීන කවිපයේ වැඩට බැස්ස කෙනෙක්. එයා ජීවත් වුණේ පියසීලි ගේ [මහාචාර්ය පියසීලි විජේගුණසිංහ] පඩියෙන්. සමහරවිට විජේ මේ බ්‍රිතාන්‍ය කැඩීම දරාගන්න බැරිවෙන්න ඇති. එයා ලෝක විප්ලවය වෙනුවෙන් බුද්ධිමතෙකු වීම අත්හැර දැමීම නිසා.

ඒ කාලේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය [දැන් සමාජවාදී සමානතා පක්ෂය] කියන්නේ සරසවියක්. ලංකාවේ හිටපු හොඳම ට්‍රොස්කිවාදීන් එතන. කීර්ති, විජේ, සුචරිත, පියසීලී, රත්නායක [කේ – කම්කරු මාවත කතෘ හා මගේ පත්තර ගුරුවරය] නන්ද [වික්‍රමසිංහ] වක්කුඹුර, [ආනන්ද] පියසිරි [කුලරත්න], දේශපාලන මණ්ඩලය වාඩි වුණාම රුසියන් කොමියුනිස්ට් පක්ෂයේ මුල නායකයෝ වට මේසෙක ඉඳගත්ත වගේ. මම එතනට ගත්තා ආධුනිකයෙක් හැටියට. න්‍යායික කඩු ලෙල දෙනවා. හරස් වෙනවා. සමතයකට එනවා. දුම් ගොටුවලින් කාඹරය පිරිලා. සුචරිත ගේන බ්‍රිස්ටල් 20 පැකට්ටු තමයි නිතරම එහාමෙහා යන්නේ. මං ලඟටත් විසී වෙනවා. මට නම් ගබන් උපාසක දේව සභාවක වාඩි වුණා වගේ.

මම විකොසට ගියේ ජවිපේ අවුරුදු 8 පූර්ණකාලීනයෙක් වෙලා. 1983 ජවිපේ තහනමෙන් පස්සේ මම දකුණෙන් කොළඹට පැන්නා. තහනම යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ අංශයයි, කලා අංශයයි දෙකම බාර ගත්තා. ‘නිර්මාණ සංවාද කුලකය’ පටන් ගත්තේ 83 අග [ඒක වෙනම කතාවක් හා පොතක්. සිරිමල් විජේසිංහ හා සමන් වගාරච්චි මාත් එක්ක සමාරම්භකයෝ වුණා] අපිට කලාව ගැන කතා කරන්න ජවිපේ ට හිතවත් බුද්ධිමතුන් හිටියේ නෑ. ඒ කාලේ සුචරිත- පියසීලී නැතුව කලාව කතා කරන්න බෑ. අපි කොළඹ මහජන පුස්තකාලයේ කැන්ටිමේ පදිංචිවෙල හිටියේ. ජවිපේ දේශපාලනය විවේචනය කළත් මාසිකව මේ දෙපොලත් ඇතුලත්ව සම්මන්ත්‍රණ සංවිධානය කළා. වැඩේ නැඟල යනව. අපේ ගහපු වේදිකාවේ සුචරිත – පියසීලී ජවිපේ දේශපාලනයට බැටේ දෙනවා. එතකොට ජවිපේ කලා අංශය එහි මධ්‍යම කාරක සභාව වෙනුවෙන් නියෝජනය කලේ පෙරේරා අංකල් නමින් පෙනී සිටි නන්දතිලක ගලප්පත්ති. මම තමයි කුලකයේ සිටි පක්ෂයේ නියෝජිතයා. මේ අරවුල බේරන්න ගිහින් නතර වුනේ 1985 මැද දී මම ජවිපේ දේශපාලනයෙන් සමු අරන් ‘සුචරිත සරණ’ යමින් කම්කරු මාවතට සේන්දු වුණා.

පක්ෂයේ මුද්‍රනාලය [ආර්. පී. පියදාස මුද්‍රනාලය- මහරගම] තිබුනේ විජේ යටතේ. විජේ පක්ෂයේ දෙවැනි නායකයා. මම කැමති එයාගේ ලියන කියන සිංහල බසට. උපහාසය, ඉතිහාසය, ජනවාසය, මාක්ස්වාදය, ඕක්කොම එකට අඹරල, පතඅට එකට හින්දල දෙන්නේ දේශපාලන කසාය. මම කම්කරු මාවත කතෘ මණ්ඩලයේත් සමාජිකයෙක්. වාක්‍යක් ලියල කොපිය තියල යන්න බෑ. ඒ වාක්‍ය ලියපු හේතුව අහනවා. එහි දේශපාලන අර්ථය අහනවා. හරියටම මිලිටරි පුහුණුවක් වගේ. ඊට පස්සේ කොපි අරගෙන මයුර ලේන් [පිටකොටුව] වලින් කඩදාසි රිමක් බස් එහෙකට දාගෙන මහරගමට යනවා. ඊළඟට අකුරු අමුණනවා. අච්චු ගහනවා. කපනවා. නවනවා. ගෙන්ගෙට විකුණනවා.

‘කලාව යතාර්ථය ජය ගැනීමෙ භාවිතයකි’ තමයි පියසීලී ගේ කලාව පිළිබඳ ප්‍රවාදයට කීර්ති පරම හතුරුයි. පක්ෂය සරත්චන්ද්‍ර [ මහාචාර්ය එදිරිවීර] සුචරිතගේ කලා විචාරයට “දෙන්නම් බැටේ විචාරය” නමින් නමක් පට බැන්දම ඒකට උත්තර දුන්නේ ‘කල්පනාලෝකවාදය, සාහිත්‍යකලා හා මාක්ස්වාදය’ නමින් ශාස්ත්‍රිය ග්‍රන්ථයක් ලිවිමෙන්. ඒක සරත්චන්ද්‍රට විතරක් නෙවෙයි, පියසීලී හා අපටත් දුන් උත්තරයක්. මොන විදිහේ මාරාන්තික විවාද තිබුණත් රැස්වීම අවසානයේ කිර්ති අහනවා,
‘දැන් කොහොමද පියසීලී ගෙදර යන්නේ?
‘විජේ එක්ක පිටකොටුවට ගිහින්’
ඒත් අපි දන්නව විජේ යන්නේ කොළඹ සරසවිය ලඟට විතරයි. එතනින් කොලෙජ් හවුස් එකේ බාර් එකට. පරණ යාලුවො සැට් එක ඉන්නව. නිව්ටන් [ ආචාර්ය ගුණසිංහ] වගේ අයත් එක්ක වාදකරනවා. අඩි ගහනවා.

පියසීලී කියන්නේ පිරිමියෙකුට ලැබෙන දිව්‍යාංගනාවක්. සරසවි පෙම්වතා දේශපාලනයට ජීවිතේ කැප කරාම, එයත් ඒකට එකතු වුණා. මම දන්න පමණට විජේ ගාල්ලෙ රිච්මන් විද්‍යාලයේ ආදි සිසුවෙක්. ගම ඩයස්ලට ප්‍රසිද්ධ මාජුවාන කෙරදේවල – බද්දේගම. පේරාදෙණියේ හිටපු ශිෂ්‍ය සංගම් නායකයෙක්. දේශපාලනයේ ෆුඩ් බෝඩ් එකේ නෙවෙයි මුළු ජිවිත කාලෙම මනසින් ශරීරයෙන් ඇතුලේ හිටියේ. මමයි සිරිමලයි [විජේසිංහ] විජේරාමේ කුලී ගෙදර ඉන්න කාලේ කුලකයේ වැඩකට ගියා. කට්ට අව්වේ දාඩිය පෙරාගෙන ගියේ. පියසීලී අපට වාඩිවෙන්න කීවා.

‘සහෝදරවරුන්ට වෙලාවේ හැටියට සීතල බිමක් දෙන්න ශීතකරණයක් නම් නෑ. උනුසුම් තේ කොප්පයක් දෙන්න ද ?’ කියල ඇහුවා. නිහතමානිකම දෝරේ ගලනවා.
විජේගේ රාත්‍රි මධු පානය ගැන අපි කතා නොකරම කිවා,
‘මාර්ක්ස්, එංගල්ස් වගේ අයත් මධු රස බලපු උදවිය’
මම ඒ කාලේ පක්ෂයේ ප්‍රචාරක වැඩට දුර පළාත්වලට යන කොට මගේ එවකට පෙම්වතිය රේණු [රේණුකා ගුණතිලක] නවත්තල යන්නේ විජේගේ ගෙදර. විජේ ජීවිත කාලයම හිටියේ කුලියට. කිසිම තැවීමක් තිබුනේ නෑ දේශපාලනයට ජීවිතේ කැප කරාට. කීර්ති අකාලේ මැරුණම පක්ෂයේ නායකත්වය ගියේ විජේ ට. විකොසේ [සසප] හිතුවේ පක්ෂය ඔළු ගෙඩි එකතු කිරීමට නෙවෙයි, දියුණු බුද්ධිමත් කේඩරයක් හදන්නයි. ඒ නිසා ඔවුන් අනික් පක්ෂ වගේ සෙනඟ එකතු කරන්න ගියේ නෑ. පක්ෂය අතැරපු අපිට කීවේ ‘භ්‍රෂ්ඨයෝ’ කියලා. වචනේ දුන්නේ සුචරිත. සුචරිතටත් ඒකෙන්ම වැදුන. මේ මහා කැප කිරීමක් කරන මිනිස්සු භ්‍රෂ්ඨයන් එක්ක හිටියේ කෝපයෙන්. ඒක ‘හොරට නිදා ගන්න එකා’ එක්ක තියෙන කෝපය.

දවසක් මට පුදුමාකාර වැඩක් වුණා. මම බීබීසියේ වැඩට යන්න පිකඩලි උමං දුම්රියට දුවල ගිහින් නැඟ්ගා. වටපිට බලන කොට මෙන්න යකෝ විජේ සහෝදරය ඉන්නවා. ඊට එහායින් රජිත [රාජපක්ෂ] ඊටත් එහායි කවිපේ මම දන්න ඉංග්‍රිසි සහෝදරියක්. දවසකට මිලියන ගානක් යන ලන්ඩන් උමං දුම්රියක අහම්භයක් මේ. මම සතුට නිසා විජේ ලඟට ගියා, කතා කරන්න.

විජේ සහෝදරය..!
විජේ අහක බලා ගත්ත. ඊලඟට මම ගියා රජිත ලඟට. රජිත පක්ෂයට බඳව ගත්තේ මම.
රජිත…!
රජිතත් අහක බලා ගත්තා. මට සිදු වූ ලජ්ජාව දුටු ඉංග්‍රිසි සොහොයුරිය කතා කළා.
කොම්රේඩ්, උඹ වැඩට යන ගමන් ද?
මම එයා එක්ක වචන දහයක් පහලොවක් කතා කරලා, ඊළඟ ස්ටේසමේ දී වෙන මැදිරියකට මාරු වුණා.
මම තරහට නෙවෙයි ලීවේ. කැප කරපු එකාට දාල ගිය එකා කෙරේ තියෙන කෝපය පෙන්නුම් කරන්න. මට පක්ෂය එක්ක තරහක් නෙවෙයි, විවේචනයක් තිබුනේ. 1994 මැයි දිනේ වාර්තාකරණ අතරේ මම ලීවේ මාක්ස්වාදී සමාජවාදි පක්ෂ රැලි ගැන. මගේ හිතුවක්කාර අතින් ලියවුනා, විකොස ථෙරවාදී මාක්ස්වාදය [එකායන ලෝක විප්ලවය] ජවිපේ මහායාන මාක්ස්වාදය [ අවධි විප්ලවය] තවමත් මැයි දිනයේ දේශනා කරමින් සිටින වග. මොනව කරන්න ද අපේ රටේ දී විවේචකයා හතුරෙක්.

ලංකාවේ දී ට්‍රොට්ස්කිවාදී මාක්ස්වාදයේ උරුමක්කාරයා හා ආරක්ෂකයා සසප. 1980 ගණන්වල කොල්වින් [ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා] පවා කියන්න පුරුදුවෙල හිටිය,
‘දැන් මාක්ස්වාදය ඉගෙනගන්න ඕන නම් විකොසට යන්න’
1964 සමසමාජය [එවකට ලෝකයේ තිබුණු විශාලතම ට්‍රොට්ස්කිවාදී පක්ෂය] සිරිමගේ [බණ්ඩාරනායක] සභාගෙට රිංගුවට පස්සේ එහි උරුමය සමසමාජ [විප්ලවකාරී] ශක්ති කණ්ඩායම හා විකොස හරහා සසපයට ආවේ.
විජේ දුර්ලභ මිනිහෙක්. සරසවි ශිෂ්‍යයෙක් කලේ තමන් අවංකව ව්ශ්වාස කල දේ වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කළා. ඔහු මුණගැසීම, ඔහු සමඟ වැඩකිරීමට ලැබීම, මනුෂ්‍යයෙක් හැටියට ඉපදීමේ එක භාග්‍යයක් හැටියට මට දැනෙනව.
විජේ ඔබට සුභගමන්…!

නන්දන වීරරත්න
28/07/2022

Social Sharing
පුවත් විශේෂාංග