රට විවෘත වීම හමුවේ කොරෝනා සැලකිලි වලපල්ලට

කොවිඩ් 19 ආසාදිත වු රෝගීන් 1789 ක් අද (04) දිනය වන විට වාර්තා වී ඇත. මරණ 11 කි. රජය දැන් පවසන්නේ සති කිහිපයකින් බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයෙකු වාර්තා නොවු බවය. දැන් වාර්තා වන රෝගීන් නාවික හමුදා පොකුරේ හෝ විදෙස් ගතව මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයින් වේ.

කොවිඩ් 19 ගෝලීය වසංගතය ආරම්භයේදි රජයට මෙන්ම රටේ ජනතාවටද කොවිඩ් 19 ගැන තිබු සැලකිල්ල ටිකෙන් ටික දැන් අඩු වෙමින් පවතින අයුරු දැකිය හැකිය. මේ වසංගතය තවත් මාස කිහිපයක් ඉදිරියට පවතිනු ඇති බව සෞඛ්‍ය අංශ දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ නිසා මෙම තත්ත්වයට අප සමාජය හුරු විය යුතුව ඇත. එය වරදක් නොවේ. එහෙත් තවමත් අප කොවිඩ් 19 ව්‍යාප්ති අවධානමෙන් අප මිදී නොමැති බව මතකයේ තබාගෙන ජන ජිවිත යථා තත්ත්වයට පත් කර ගත යුතුව ඇත.

එදා අනිවාර්ය කෙරුණු මුඛ ආවරණ දැන් රටේ සියලු දෙනාම පාහේ පළඳිනු දක්නට හැකිය. නමුත් එයද මෝස්තරයක් ලෙස පැළඳීමට ඇතැමෙකු ක්‍රියා කරයි. මුඛ ආවරණ පැළඳ සමාජයට ගියද එය මුඛයෙන් පහතට ඉවත් කර කථා කිරිමට බොහෝ අය පුරුදු වී සිටියි. එසේ නම් අප පළඳින මුඛ ආවරණයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.

මේ අතර රජය ජන ජිවිත යථා තත්ත්වයට පත් කරමින් සියලු ආයතන විවෘත කිරිමේදී ප්‍රකාශ කර සිටියේ ආයතනයට, වෙලඳසැලට ඇතුලු වන තැන ඊට ඇතුළුවන්නාට අත් සෝදා පිරිසිදු කර ගැනිමට සබන් හෝ විෂබීජහරණ දියරක් සමඟ ජලය තැබිය යුතු බවය. ආරම්භයේදී නම් සියලු දෙනා මෙය තරඟයට මෙන් තම ආයතන ඉදිරිපිට සකසන්නට විය. නමුත් අද වන විට බොහෝ තැන් වල දක්නට ඇත්තේ හිස් වු සින්ක් එකකි. නැතිනම් වතුර තිබුණත් සබන් නැත. ඒ ආයතන වල ප්‍රධානීන්නට ඒවා තැබීමට දැන් අවශ්‍යතාවයක් නැති බව පෙනෙන්නට ඇත.

පොලීසියද පහුගිය දිනවල ප්‍රකාශ කර සිටියේ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නවුන් සොයා වැටලිම් කර අත්අඩංගුවට ගන්නා බවය. මේ සඳහා කඩා පනින බුද්ධි අංශ නිලධාරීන්ද සිවිල් ඇඳුමින් සැරසි සිටින බව ප්‍රකාශ කළේය. එසේ නම් මෙලෙස ජනතාවට දෑත සෝදා ගැනීමට සබන්වත් නැති ස්ථාන ඕනෑ තරම් වැටලිය හැකිය.

එසේම මීටරය දුර පවත්වාගෙන යන්නේ නැති ස්ථාන බොහෝමයක් ඇත. එවන් ස්ථාන වැටලිය හැකිය. අද වන විට රටේ ජනතාවට මේ උපදෙස් වැදගත් වන බවක් පෙනෙන්නට නැත. මීට ප්‍රධාන ලෙසම බලපෑම් කරනු ලැබුයේ හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමණ් මහතාගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරුනු ආකාරයයි. පාර්ලිමේන්තුවේදි එක පොදියට දේහයට අවසන් ගෞරව දැක් වුයේ නම්, ඇඳිරි නිතිය නොසලකා ක්‍රියා කළේ නම් අපට මොන නීතිද කියා බොහෝ දෙනෙකු විමසන තත්ත්වයට අද රට පත්ව ඇත. මෙම වැරදි පුර්වාදර්ශය නිසා රටේ මෙතෙක් කල් සියලු දෙනා කැපවීමෙන් සිදු කළ සියල්ල යටපත් විය. ඉදිරියට එන්නේ මහ මැතිවරණයයි. එහිදි මෙම මොන සෞඛ්‍ය මාර්ගෝපදේශක තිබුණත් ඒවා නමට පමණක් සීමා කර අපේක්ෂකයින් කටයුතු කළ හැකිය.

රජය විසින් වහාම මෙම තත්ත්වය මැඩලීමට අවශ්‍ය පියවර නොගතහොත් ඔවුන්ට නැවත කොවිඩ් 19 මෙලෙස පාලනය කිරිමට නම් නොහැකි වනු ඇත.

-ශානිකා-

Social Sharing
නවතම