අරගලයට ඒකාධිකාරයක් කුමකටද?

අරගලය විසින් පෙරටුගාමීන්ගේ බලය හඳුනාගත් සේම, පැතුම් කර්නර් වැනි තරුණයන් විශාල ප්‍රමාණයක් ද දේශපාලන නායකයන් වශයෙන් ස්ථාපිත කොට ඇත. ඔවුන් පිළිබඳව විනිශ්චය කිරීමට යන සමහර අය වඩාත් ද්වේශ සහගතව හැසිරෙන බවක් පෙනෙයි. මුලදී අරගලයේ ග්‍රාමීය කෘෂක භූමිය තුළ හා ප්‍රදේශීය නගරවල වඩාත් සක්‍රීය වුනේ ජවිපෙ හා සජබයයි.

සජබය ගෝල්ෆේස් හිදී පැවැත්වූ උද්ඝෝෂණයට පැමිණි පීඩිත ජනයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය පලමු වතාවට ආක්‍රමණය කිරීමට උත්සාහ කලා අපට මතකය. නමුත් #gotagohome අරගල භූමිය තුළ මුල සිටම පෙසප, අන්තරය ඇතුළු බලයන් විශාල කාර්යය භාරයක් ඉටුකොට ඇත.

එසේම නාගරික අරගල අවකාශය තුළ පෙසප ඉදිරියට පැමිණීම ද මගේ එක නිරීක්ෂණයකි. එම පක්ෂය පසුගිය දශකයකට අඩු කාලය තුළ අන්තරය හරහා බිහිකල නායකයන් විශාල වශයෙන් දේශපාලන අරගලවල මූලිකත්වය ගන්නා බවක් පෙනෙයි.

ජවිපෙ එක පැත්තකින් පාර්ලිමේන්තු බලය හඹායාම නිසාම ජන අරගලවල දී ටිකක් පසුපසින් සිටි නමුත්, ඔවුන්ගේ සමහර කොටස් වන සමාජවාදී සිසුන්, කම්කරු සංගම් ඉදිරියට එන්නේ පෙසප විසින් සටන් භූමියට ඒකාධිකාරයක් පනවනු ඇතැයි යන බියෙන් බව පෙනේ. ගෝල්ෆේස් වැනි මෙට්‍රෝ පොලිටන් අරගලයක් ජවිපෙට තනිව දියත් කිරීමට කිසිදා ඒ පිළිබඳ න්‍යායික දැක්මක් නොපැවතිණ නමුත් පෙසප සියලු අරගල අවකාශ එකතු කරන, ඒවාට ඉඩ දෙන පීඩිත භාවයේ පවතින බහුවිධතාවය පිළිබද යම් සාධනීය කියවීමක් ඇති පක්ෂයක් නිසා ගෝල්ෆේස් අරගලය තුළ බහුවිධ පීඩිත අනන්‍යතාවයන්ට ඉඩකඩ සැළසිණ.

කෙසේමුත් ගෝල්ෆේස් වල එක පක්ෂයක්වත් තම අනන්‍යතාවය ස්ථාවර කරගැනීමට නොගිය නිසාම එය විශාල මහජන අරගලයක් බවට පත්විණ…!

-අතුලසිරි සමරකෝන්-

Social Sharing
නවතම විශේෂාංග