රටක් බලා හිඳින ප්‍රේම හසුන් පත, සමනැලයෙක් අතේ එව්වා හම්බ වුණාද?..

මිනිස්සු වුණ අපි මොකක් හරි වෙනකම් බලාගෙන ඉන්න හරිම ආසයි. ඉස්සර අපි ඕසෙට ලියුම් ලියලා ඒවා පොත් අස්සේ දාලා හොවමාරු කරලා ඒකට පිළිතුරු එනකම් ඇස් රිදෙනකම් බලගෙන ඉන්නවා. ඒ කාලේ අස්සේ අපි පිළිතුරු ලිපිය අපේ හිතින් පරිකල්පනය කරනවා. ඒක මාර ප්‍රේමනීය චාරිකාවක්. අපි යන්න පුලුපුලා සිටින ඉසව්වලට ගුහාවලට රමණස්ථානවලට අපි හිතින් ඒ පරිකල්පන විජිතය හරහා රෝස පිහාටුවක් වගේ සරණවා. ඒක ඉතිං මාර සොමියක්. සමහර පරිකල්පන යතාර්ථයට ගොඩාක් ඈතයි කියලා සමහර පිළිතුරු ලිපි කියෙව්වාම අපිට හැඟෙනවා. ඒත් අපි වැඩේ අතාරින්නේ නෑ ආයෙත් ඊළඟ ලියුම එනකම් ඇස් පියාගන්නවා. ඒත් ඉතිං සමහර ලියුම්වලට තවමත් උත්තර නෑ. දැන් අපිට ඒවා දිහා බලා ඉන්නත් අමතක වෙලා.

මේ ෆේස්බුක් යුගය කියලත් අපි නිකං ඉඳලා නෑ. රෑ 9ට 10ට මැසේජ් එකක් දාලා අපි ඒක සීන් වෙනකම් බලන් ඉන්නවා. ඊටපස්සේ පිළිතුරු එනකම් බලන් ඉන්නවා. සමහර ඒවට ඉතිං පැය 12 ගිහිනුත් රිප්ලයි නැතිවෙලා තියෙනවා. ඒත් අපි බලාගෙන හිටිය එක අතෑරියද නෑ. දිගටම බලාගෙන ඉන්නවා.

දැන් අපි රටක් විදිහට නන්දිසේනගෙ ලව් ලෙටර් එක එනකම් බලන් ඉන්නවා. මිනිහා මාලේවලට ගිහිං ලියන්න හිටියා ඒත් බැරිවුණා. දැන් මිනිහා සිංගප්පූරුවට යන්න බලන් ඉන්නවා අර්ජුන් මහේන්ද්‍රන් එක්ක එකතුවෙලා මේ ලව් ලෙටර් එක ලියන්න. දැනගන්න තියෙන විදිහට ඒකටත් අවස්ථාව නෑ. මම නම් කියන්නේ නන්දිසේන කියන්නේ අපි වගේම කරුම ප්‍රේමවන්තයෙක්.

මිනිහට ඔය ප්‍රේම පිහාට්ට උඩ ඔය ප්‍රේම හසුන ලියලා මෙහෙට පාකරන්න වෙන්නේ උගන්ඩාවට ගිහිං. ඒකට ඉතිං ටික කලක් යයි. ඒත් අපි බලන් ඉන්න ආසයි. ඔව් බලන් ඉන්නවා බලන් ඉදලා ආයෙත් බලන් ඉන්නවා. සමහර වෙලාවට ඔය ප්‍රේම හසුන්පත උගන්ඩාවේ ඉදලා එනකොට මඟදි නැතිවෙන්නත් පුලුවන්. කමක්නෑ අපි බලන් ඉන්න ආසයි වස්තුවේ…!!

 

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග