රාජපක්ෂ අපරාධ රාජ්‍යය අවසන් ද?

අද අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින වෙත ගිහිං තිබෙනවා. දැනගන්න තිබෙන විදිහට ඔහුගේ ගමනාන්තය ඩුබායි රාජ්‍යය. ජනාධිපතිවරයා ගේ මේ රටින් පිටවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාව මැදිහත් වෙලා තිබෙනවා. කොහොම වුණත් ඔහු නිරුපද්‍රිතව රටින් ගිය එක හොඳයි. රටේ රාජ්‍ය නායකයා ජනතාවට ද්‍රෝහී වුණා කියලා ජනතාව සහ රට අඳුරු ආගාධයකට දැම්මා කියලා කිසිවෙක්ට ඔහුව ඝාතනය කරන්න හෝ නීතියට පිටතින් හිරිහැර කරන්න අයිතියක් නෑ.

මෙම පළායෑමත් සමග ලංකා ඉතිහාසයේ කුරහන් සාටක ආටක නාටක රාජපක්ෂ යුගය අවසන් වෙනවා. මේක ආටක නාටක කීවට සහාසිකත්වයේ අඳුරේ භීෂණයේ යුගයක්. මේ කාලය අස්සේ ලංකාව පැවතුනේ ‘රාජාපක්ෂ අපරාධ රාජ්‍ය’ විදිහට කියලා කියන්න පුලුවන්.

රාජපක්ෂ දේශපාලන ඉතිහාසය කියලා කියන්නේ භීෂණයේ හොරකමේ සහාසිකත්වයේ ඉතිහාසයට. කුරහන් සාටකය දාගන්න තැන ඉඳලා ඔවුන් කළේ ජනතාව රැවැට්ටීම. ජනතා අභිලාෂයන් මංකොල්ල කෑම. කුරහන් සාටකය පළඳා ගැනීමේ කතාව කියවා බලන්න. හම්බන්තොට රාජපක්ෂවරුන්ගේ දේශපාලන ඉතිහාසය කියවා බලන්න.

2005 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය බිත්තියට හේත්තු කරලා සටකපට විදිහට අපේක්ෂකත්වය අරගෙන එල්ටීටීඊයට මුදල් දී (ටිරාන් අලස් හරහා) උතුරේ ඡන්ද වර්ජනයක් මගින් තමයි මහින්ද රාජපක්ෂ බලයට එන්නේ. මුලින්ම මහින්ද රාජපක්ෂට තිබුණ අභිලාෂය තමයි ප්‍රභාකරන් සමග එකතුව මේ රට මංකොල්ල කෑම. ඒත් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ වගේ බලවේග නිසා එල්ටීටීඊය පරාජය කරන්න රාජපක්ෂවරුන් පෙරමුණ ගන්නවා.

එල්ටීටීඊය පරාජය කිරීමත් සමග තමයි රාජපක්ෂ දේශපාලනය ලංකාවේ මිනිස්සුන්ගේ ඇගේ ලේවලට කාන්දු වුණ රාජපක්ෂවාදයක් වෙන්නේ. 2009 ප්‍රභාකරන් සාධකය අවසන් වුණාට පස්සේ රාජපක්ෂ සාධකය ලංකාව අස්සේ ප්‍රමුඛ වෙනවා.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහමඟ මරලා දාන්නේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අණදීම යටතේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ගිරිතලේ බුද්ධි කඳවුරට උස්සගෙන ගිහිං අතුරුදන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ අණදීම යටතේ. මේවා සීඅයිඩී පරීක්ෂණ ඔස්සේ මේවෙනකොට තහවුරු වෙලා ඉවරයි.

පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගිහිං කප්පම් අරගෙන සහාසික වධහිංසන මැද ඝාතනය කරලා මුහුදට වීසිකරන්නේ නාවික හමුදා ඝාතකයෝ කල්ලියක්. මේකට අනුබල දෙන්නේ එවක රාජපක්ෂ වළල්ල අස්සේ සුරක්ෂිතව රාජකාරි කරපු වසන්ත කරන්නාගොඩ වගේ නාවික හමුදාවේ උසස් නිළධාරීන්. මේ ඝාතකයෝ පැහැරගෙන ගිහිං ඇත්තටම ඝාතනය කළ සංඛ්‍යාව 11ක් නෙවෙයි, ඒ ගාන 28ක්. මේ ඝාතන මෙහෙම සිදුවෙන්නේ රාජපක්ෂ අපරාද රාජ්‍යයේ ස්භාවය ඒක නිසා.

වසීම් තාජුඩීන් කියන රගර් ක්‍රීඩකයාගේ ඝාතනය තමයි රාජපක්ෂ පවුල් පාලනය අස්සේ පවුලට විරුද්ධ වුණ මිනිස්සුන්ට ඒ කාලේ වියහැකි දේ පිළිබඳ හොඳම උදාහරණය. මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂට වසීම් තාජුඩීන් සමග තිබුණ අතිශ්‍ය පුද්ගලික කෝන්ත්‍රරයක ප්‍රථිපලය තමයි මේ ඝාතනය.

මේ ඝාතනය සඳහා ජනාධිපති කාර්‍යාලයේ වාහන, නාවික නිළධාරීන් භාවිතා කළ හැටි ගැන තොරතුරු අනාවරණය වෙලා ඉවරයි. තාජුඩීන් ඝාතනය කරලා වාහනේ වම් පැත්තේ සීට් එකේ තියලා වාහනේට ගිනි තියපු වෙලාවේ ඉදලා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුණ විදිහ, වාහනේ ගිනි ගන්නකොට එතනට ආපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේක රිය අනතුරක් බවට පෙරළපු හැටි, ඊටපස්සේ හදිස්සි මරණ පරීක්ෂණය කළ මහාචාර්ය ආනන්ද සමරසේකර ඒ පරීක්ෂණය කළ ආකාරය, කලවා අස්ථීන් සොපින් බෑග් එකක දාගෙන ගෙදර අරගෙන ගිය විදිහ, මේවා තමයි මේ අපරාද රාජ්‍යයේ සහාසික ස්රූපය අපිට පෙන්වන අවස්ථාවන්.

සිවරාම් ඝාතනය, රවිරාජ් ඝාතනය වගේ ඝාතන වැලක් සහ සහාසික පහරදීම් වැලක් තර්ජනය කිරීම් කෝටියක් මේ යුගය ඉස්සරහා ලියවෙලා ඉවරයි. මේක ලෙයින් පෝෂණය වුණ ලේ උරා බීපු යකඩ යුගයක් කීවොත් හරියටම හරී. මේ කිසිම දේකට යුක්තිය සාධාරණත්වය ඉටුවුණේ නෑ. ඒක තමයි අපරාධ රාජ්‍යයක ස්රූපය. රාජ්‍ය තන්ත්‍රයම මේ අපරාදවලට සම්බන්ධයි.

2015 පාලන බලය වෙනත් පුද්ගලයෙක් අතට ගියත් අපරාධ රාජ්‍යයේ පදනම වෙනස් කරන්න ඒ බලහෝමාරුවට බැරිවුණා. ඒනිසාම මේ කිසිඳු ඝාතනයකට වංචාවකට දූෂණයකට කාටවත් දඬුවම් ලබුණේ නෑ. එහි අවසන් ප්‍රථිපලය මේ අපරාධ රාජ්‍යයේ ගහලයා විදිහට භෞතීස්ම කරලා හිටිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වීම.

මේ ජනාධිපති වීමේ කතාවත් මේ රාජපක්ෂ අපරාධ රාජ්‍යයේම ප්‍රථිපලයක්. නැගෙනහිර සහරාන්ලා වැඩකළේ වැඩුණේ ලේ උරා බීවේ මහින්ද රාජපක්ෂගේ කාලේ. 2015 සරළ ආණ්ඩු මාරුවක් පිටතින් සෝබනව සිද්ධ වුණත් ඇතුලේ මදය වුණේ රාජපක්ෂ අපරාධ රාජ්‍යය තමයි. සහරාන්ලා විතරක් නෙවෙයි සලේ වගේ හමුදා ලොක්කෝ වුණත් යෙහෙන් වැඩකරගෙන ගියේ ඒ සාරය නිසා. අවසන් ප්‍රථිපලය විශාල ජනසංහාරයක්. අද පාස්කු ප්‍රහාරය කියලා අපි හඳුනගන්න මේ සංසිද්ධිය තමයි ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ මෙහෙයුමේ ප්‍රධානම සිදුවීම.

මේ සිදුවීම් වලින් රාජපක්ෂ අපරාධ රාජ්‍යයේ සහාසිකත්වය ඒක කොතරම් ජනතා විරෝධීද කියන එක පෙන්න ඕනී. මේ සිදුවීම් පැත්තකට දැම්මත් අද අපි දන්නවා ‘රාජපක්ෂවරුන්ගේ ලංකාව’ මොනවගේද කියලා.

ගමේ චණ්ඩියාට ගම භාරදීමේ සංකල්පය හොඳටම ක්‍රියාත්මක කළේ රාජපක්ෂවරු. තමන් දූෂිතව හම්බකරන හැම සතෙන්ම කුඩා අංශුමාත්‍ර කොටසක් තමන් හදාවඩා ගන්න මේ තන්ත්‍රයට රාජපක්ෂවරුන් බොහොම ආදරෙන් බැරකළා. ඒ සොච්චම ගොඩක් වෙලාවට ගියේ කොමිස් විදිහට. රාජ්‍ය සේවකයින් තට්ටුවකුත් ඔවුන් දැනුවත්ව මේ විදිහට ගොඩනඟලා තිබුණා. ඒහැම කාටලයක්ම ක්‍රියාත්මක වුණේ ශක්තිමත් පවුල් පාලනයක් මේ රට අස්සේ ස්ථාපනය කරන්න. රාජපක්ෂ අපරාද රාජ්‍යය කියන්නේ ඒකට.

අද උදෑසන ගෝඨාභය රාජපක්ෂ රටින් පැනලා මාලදිවයිනට ගියත් මේ අපරාධ රාජ්‍යය අවසන් කරගන්න අපිට පුලුවන් වෙයිද? ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නය. මේ රාජ්‍යය අවසන් කරන්න පුලුවන් නීතිය බලාත්මක කිරීමෙන් විතරයි. රාජපක්ෂ අපරාද රාජ්‍යයේ වින්දිතයන් සැමට යුක්තිය නොපමාව ඉටුවීම තුළ විතරයි මේ අපරාද රාජ්‍යය අපිට අවසන් කරන්න පුලුවන්.

නීතියේ පාලනය රටතුළ ස්ථාපනය, මේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කිරීම, රටතුළ ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වංචාව දූෂණය නාස්තිය බිංදුව කිරීම අස්සේ විතරයි අපිට රාජපක්ෂ අපරාධ රාජ්‍යය විසුරුවා හරින්න පුලුවන්…!

බලමු මේ අරගලය අස්සේ ඒ අරමුණුවලට අපිට යන්නට පුලුවන් වෙයිද කියලා..!

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග