රාජපක්ෂවාදය අවසන් කළ යුතුය..!

-කේ. සංජීව-

මේ වනවිට රට ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී හමාරය. නහය උඩින් වතුර යන්නට ඇත්තේ තව පොඩි කාලයක් බව බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ ද සාමාන්‍ය ජනයාගේ ද මතයයි. දැන් අප කළ යුත්තේ කුමක්ද? බොහෝ දෙනෙක් වරනඟන ප්‍රශ්නය මෙයයි. බොහෝ දෙනෙක් තර්ක කරන්නේ රාජපක්ෂවරුන් පන්නා දැමීමේ ප්‍රොජෙක්ට් එක මෙම ආර්ථික අර්බුදය නිසා කල් දැමිය යුතු බවය. එහෙම නැතිනම් දැන් අපි මෙම සටන් පාඨය අමතක කර රනිල් වික්‍රමසිංහගේ නව ආණ්ඩුවට සහාය දිය යුතු බවය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියන විදිහට මේ පාර්ලිමේන්තුව නිසි කාලය ඔහුගේ අගමැති ධුරය සමග පසුකළත් මේ ප්‍රශ්නය විසඳන්නට ඒ කාලය මදිය.

මේ ඔහු නොකියා කියන්නේ ‘පිං අගමැති කාලය’ ප්ලස් තවත් කෙටි කාලයක් ඔහුට මේ සඳහා ලැබිය යුතු බවද? එහි තේරුම රට ආර්ථික වශයෙන් ගොඩගන්න නම් ඊළඟ ජනාධිපති තරගයෙන් තමන්ව ජයග්‍රහනය කරවිය යුතු බවද? වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග රනිල් වික්‍රමසිංහට තිබෙන රහස් එකඟතාවය තුළ සමහර විට තව මාස හයකින් අවුරුද්දකින් ජනාධිපති පුටුව ඔහුට දෙනවා වෙන්නටත් පුලුවන් ය. ඒක එහෙම වුණොත් රනිල් වික්‍රමසිංහ හට ඊළඟ ජනාධිපතිවරණයට ජනාධිපති ලෙස තරග කරන්නට අවස්ථාව උදාවෙනු ඇත. සමහර විට ඒ සඳහා පොහොට්ටු පක්ෂයේ ද සහාය ඔහුට ලැබෙනු ඇත.

රාජපක්ෂවරුන් රාජපක්ෂවාදය රට තුළ තවදුරටත් පවත්වාගෙන යන්නට සිහින දකිනවා නම්, ඒ සඳහා ඔවුන් තවදුරටත් දේශපාලනයේ නිරත වෙනවා නම්, මේ කියන දේ වෙන්නට ඉහළම හැකියාවක් ඇත. එය එසේ නැතිනම් රනිල් වික්‍රමසිංහ වෙනුවට ඒ සඳහා ඔවුන්ට ධම්මික පෙරේරා ආදේශ කරන්නටත් පුලුවන් ය. අමතර ක්‍රීඩකයෙක් ලෙස රාජපක්ෂවරුන් ධම්මික සංචිතයට කැඳවන්නේ ඒ උවමනාව නිසා වන්නටත් පුලුවන් ය. රනිල් වික්‍රමසිංහට බනිනකොට ඔහුගේ අමාත්‍යාංශයට තව තවත් ආයතන තෑගි ලැබෙන්නේ ඒ නිසා වන්නට පුලුවන් ය. අමාත්‍ය කංචන විජේසේකරට විරුද්ධවද රාජපක්ෂවරුන් යම් යම් දේවල් කරනු පෙනෙයි. ඩලස් අලහප්පෙරුමගේ සහ කංචන විජේසේකරගේ මාතර දේශපාලනයට පසුගිය දා බැසිල් බාල්දියක් පෙරලුවේ මේ නිසා වන්නටත් පුලුවන් ය. කොහොම වුණත් නාමල් කුමාරයා රටේ නායකයා කරන්නට නම් ඉදිරි අවුරුදු 05ක කාලය අසීරුවකින් තොරව පසුකර ගත යුතුය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ වගේම ධම්මික පෙරේරාද හොඳම අශ්වයන් ය.

මේ ආර්ථික අර්බුදයට ආර්ථිකමය වශයෙන් කොච්චර විසඳුම් මෙම දේශපාලන සංස්කෘතිය තුළ සෙව්වත් එය නොවිසඳෙනු ඇත. එයට හේතුව මෙහි මූලය දේශපාලන අර්බුදයක් නිසා ය. මේ තිබෙන්නේ ආර්ථික මූලෝපායන් පිළිබඳ ප්‍රශ්නයකට වඩා දේශපාලන ප්‍රශ්නයක් ය. එනිසා ආර්ථික විසඳුමක් සඳහා පදනම විය යුත්තේ දේශපාලන විසඳුමක් ය. මේ ආර්ථික අගාධයෙන් රට ගොඩට ඇදගන්නට නම් රාජපක්ෂවාදය අවසන් කළ යුතුයැයි කියන්නේ ඒ නිසා ය.

විධායක ජනාධිපති ක්‍රමය මෙන්ම දුර නොබලා කළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වල අවසන් ප්‍රතිඵලය සහ උතුරේ ජන අරගලය ලෙයින් මැඬීම ආදියේ අවසාන තෑග්ග රාජපක්ෂවාදය බව අප පිළිගත යුතුය. 2005 රාජපක්ෂවරුන්ගේ නැඟිසීටීම ගැන මොහොතකට සිතන්න. 2009 යුධ ජයග්‍රහනයෙන් පසු අවධියේ රාජපක්ෂ දේශපාලනය ගැන මොහොතක් සිතන්න. රාජපක්ෂවාදය අඳුරු කළු කුහරයක් මෙන් නලීන් ද සිල්වාමය සිංහල ජාතිකවාදය මෙන්ම ඥාණසාරමය අසාර ජාතිවාදය ද තමන් වෙතට අවශෝෂණය කරගෙන පිළිකාවක් සේ වර්ධනය වුණේ වැලි ගල් පස් කුඩු රාජ්‍ය සේවක ආදී වූ ජාවාරම්කාර තට්ටු කිහිපයක් සමාජ සාංස්ථාවන් ලෙස වර්ධනය කරමින් ය. නෙළුම් කුලුන රාජපක්ෂවාදයේ සංඛේතයයි. නෙළුම් පොහොට්ටුව රාජපක්ෂවාදයේ අවසාන නවාතැනයි. නෙළුම් මාවතේ නෙළුම් පොහොට්ටුවට නිතර යන එන්නන් ගැන මදකට සිතන්න. රාජපක්ෂවාදයේ නෙක පැහැයන් ඔබට එහිදී මුණගැසෙනු ඇත. සමන් මය ලාල් ලා මෙන්ම චරිතවත් චරිතලා ද ඔබට එහි දැක ගත හැකිය.

නවීන ලංකාවක් හදනවා නම් ( ශ්‍රී කෑල්ලත් හලා දමා) නූතන රාජපක්ෂවාදය මුලින් උපුටා දැමිය යුතුය. ඒ සඳහා රාජපක්ෂ පවුල නම් සැරවා ගෙඩිය සැත්කමකින් ඉවත්කර ඒ හරහා ශරීරයේ අනෙක් අංශ වෙත ව්‍යාප්තවූ පිළිකා සෛල කීමෝ තෙරපි මගින් විනාශ කර දැමිය යුතුය. ඒ සඳහා ප්‍රථම පියවර රාජපක්ෂ පවුල ලංකා දේශපාලනයෙන් අතුගා දැමීම විය යුතුය.

ඒ සඳහා දැනටමත් ලංකාව තුළ තියුණු ජනතා නැඟිටීමක් සිදුවෙමින් ඇත. එයද තවතවත් වර්ධනය විය යුතුය. ඒ අර්ථයෙන් එලබෙන ජූලි 09 දා කොළඹ කොටුවට ඔබ අනිවාර්‍යෙන් පැමිණිය යුතුය. ‍රාජපක්ෂවාදය මෙරට තුළ ශක්තිමත් කරන්නට භක්තිමත් කරන්න කටයුතු කළ දේශපාලන ව්‍යාපාරයන් රාශියක් ඒ සඳහා පෙරමුණ ගැනීම සතුට උපදවයි. එහෙත් රාජපක්ෂ පවුල රාජ්‍ය පාලනයෙන් උදුරා දැමූ පමණින් මේ පිළිකා සෛල විනාශ නොවෙනු ඇත. එනිසා මේ දේශපාලන පක්ෂ තමන්ගේ පක්ෂ අභ්‍යන්තරයේ මෙන්ම තම ආධාරකරුවන්ගේ ලේ ද වහාම මීට සමගාමීයව පිරිසිදු කළ යුතුය.

මේ ආර්ථික අර්බුදය වහාම විසඳා ගැනීම සඳහා රාජපක්ෂවාදය වහාම අතුගා දැමිය යුතුය. ඒ සඳහා පටු පක්ෂ පාට බේදයන්ගෙන් තොරව ජනතාව පාරට පැමිණිය යුතුය. එලබෙන ජූලි 9 ඒ සඳහා හොඳම දවස වෙනු ඇත.

Social Sharing
නවතම විශේෂාංග