ආදරණීය ලාල් අයියාට දිගාසිරි.
තෙල් පෝලිමේ සිටි පීඩිත තරුණයාට එල්ල වූ තිරශ්චීන සෙබළ පා පහර ගැන කතාවට අද දවස ගත වුණා. ඒ අතරේ අප ළයාදර ලාල් හෑගොඩ නම් අතිවිශිෂ්ටයාගේ , කිවිවර උදාර පුරුෂයාගේ ජන්ම දිනය මතකයෙන් රූරා යන්න හැදුවේ. ඔහු වන් කිවිවරුන්සිය කවි බසින් මිහිරි කළ අපේ ලෝකය අර වගේ නොමිනිසුන් නිසා අපායට ඇදලා දැමෙනවා. උතුරේ වාර්ගික යුද්ධය නන්දිකදාල්වලින්– ඒ අරුතෙන් අවසන් වූ පසු අප හමුවේ ශේෂ වූ විපාක සිත් රිදවමින් මතු වෙනවා. උතුරෙන් ගලවා ගෙන ආඋළුවහු ජනෙල් අගනුවර ඕසෙට විකිණුනා. ලාල් හෑගොඩ , සරත් චන්ද්‍රජීව මේවා හඹාගෙන ගියා. ෆොටෝ ගැහුවා. චිත්‍ර ඇන්දා. සුනිල් විජේසිරිවර්ධන අපට දැනුම් තේරුම් දුන්නා. සරත් සර් ඒ පොත කවදා හෝ කරාවි. රණවිරු ආලේපිත තිරිසන් පා පහර ලද අපි රිදුනු සිතින් අද දවස ගෙවීමු. යුද්ධෙන් පස්සේ කොළඹ ආ උළුවහු ජනෙල්, හිස් ආර්ටි පිත්තල කොපු ඇසුරින් සරත් සර්ගේ පොතට මා ලියූ කවිය උපන් දාතිළිණය ලෙස බෙදා ගන්නම්.
සුන්දර්ම්පුර ජනෙල් පියන්පත
ඇල්සේෂන් – පොමනේරියන් බල්ලන් ද සමග
නෝනලා – බේබිලා ජොගින් ගිය’තුර
වෙඩිබෙහෙත් ගඳ කිසිත් නැති
ලස්සන ම වීර විභුෂනවල
දුහුලි පිස දමන්නට
සාලයට ආ කෝකිලා
ළඟ දි සාලයට ගෙන ආ කැටය’මැති
වාර්නිෂ් සුවඳ’ති උළුවස්ස හා ජනේලය
විදුලියක් ද කෙටුවේ හිත තුළ
කාන්දමක් සේ පොලා පැන
කොපොළක් සේ සිම්බාය ඈ
පරපුරු දෙකක් පැරණි මහගෙදර උළුවස්ස
සුන්දරම්පුර මහගෙදර හැමදා ම
අප්පා හේත්තු වී සිටි තැන පැල්ලම
වාර්නිෂ් කාරම කපාගෙන ආ
බේත් තෙල් සුවඳින් පිරුණා ය කෝකිලා
මල්වර වූ දා පිච්ච මල් සුවඳ හමා ආ
ඒ සොඳුරු ජනේලය
ගනේෂ්ගේ මිහිරි සීනු නාදයට
අත වැනූ–අගුල ඇරි
උණුසුම කාමරයට ම කැන්දූ
බුරුල් කර තිබූ ජනෙල් කූරු සමග ම
දෙවියනි– කොළඹ ඇවිත්
‘ එම්ප්ටි ආර්ටි දෙකකට
පිළිමතලා පිත්තල පහන් එකයි ‘
මධුසාද රැයේ යුනිෆෝර්ම් සිනා හඬ අතරේ
පශ්චාත් යුද පැතුම් ඉතිරේ
සුන්දරම්පුර අපේ ගම්කොරටුව
විසුණු කළ එම්ප්ටි ආර්ටිය ද මේ
දෙසවන් වසා ගති කෝකිලා දෑතින්ම
මිග් මිගිඳු ගෝරනාඩුව සිහි වී
සිංහල බෞද්ධ සාලයක
ඔප දෑමූ ආර් පී ජී –ආර්ටි
පිත්තල පතුරම් කොපු අතර
නූතන විසිත්ත කාමර කැටයමක් ව
සුන්දර්ම්පුර ජනෙල් පියන්පත
අමුතු සංහින්දියාවක
– හිනිදුම සුනිල් සෙනෙවි –
2021. 03. 11
උපුටා ගැනීම : ෆේස්බුක්