භාෂණයේ නිදහස ලබාගන්න, පොලීසියට ලියුමක්

සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

“සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කෙරෙහි සමාජ හා නව මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ කැපී පෙනෙන සහ තීරණාත්මක බලපෑම සඳහා ජාත්‍යන්තරව ප්‍රශංසනීය වේ. එසේම, ජනතාවගේ හඬ සහ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන මෙම මාධ්‍යවල ක්‍රියාකාරීන් ජාත්‍යන්තරව මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස පිළිගැනේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය මගින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මගින් මෙම නව මාධ්‍ය ප්‍රවණතා ආරක්ෂා කර ඇති අතර රාජ්‍යයේ නීති රාමුව ඔවුන්ගේ තීරණාත්මක බව පිළිගනී.

මෙවැනි පසුබිමක බලපෑම් කිරීමේ පියවරක් ලෙස හේතු නොදන්වා මාධ්‍ය ක්‍රියාකාරීන් කැඳවා ප්‍රශ්න කරමින් ඔවුන් බිය ගැන්වීමේ පුරුද්දක පොලිසිය නිරත වන බව දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය නීති සංසදය නිරීක්ෂණය කළේය.

පසුගිය කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු පොලිසියේ විවිධ අංශ මංජුල බස්නායක, දර්ශන හඳුන්ගොඩ, මනෝරම වීරසිංහ, තිසර අනුරුද්ධ බණ්ඩාර වැනි සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට කැදවා ඇත. මේ සෑම අවස්ථාවකදීම කැඳවීමට හේතුව හෙළි නොකිරීම විශේෂත්වයකි.

අලුත්ම සිදුවීම වන්නේ මාධ්‍ය ක්‍රියාකාරික තරිඳු උඩුවරගෙදරට 2022 ජූනි 28 වැනි දින පෙ.ව 9.00 ට CID පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් පණිවිඩයක් ලැබීමයි. ඔහු හිටපු සභාපති සහ වර්තමානයේ තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

එම පණිවිඩය එවා තිබුණේ බණ්ඩාරවෙල පිහිටි ඔහුගේ නිවසට කැඳවීමට හේතුවක් සඳහන් නොකරමිනි. වැඩි විස්තර සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ මහතා අමතන ලෙස එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ. උඩුවරගෙදර අදාළ නිලධාරියාට දුරකථනයෙන් කතා කළ විට ඔහු කියා සිටියේ උඩුවරගෙදරගේ යූ ටියුබ් නාලිකාවට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශය කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට තමා කැඳවා ඇති බවයි.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සහ පොදුවේ මාධ්‍ය නිදහසට බලපෑම් කරන බැවින් සමාජ හා නව මාධ්‍ය මත පදනම් වූ මාධ්‍ය ක්‍රියාකාරීන් හේතු දැක්වීමකින් තොරව පොලිසියට කැඳවීම සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු බව මාධ්‍ය නීති සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.
එබැවින් සමාජ හා නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ අයිතීන් පිළිගෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක් වන ඔවුන්ගේ වැඩකටයුතුවලට බලපෑම් කිරීමෙන් හා ඇඟිලි ගැසීමෙන් වළකින ලෙස මාධ්‍ය නීති සංසදය පොලිසියෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.”

( නිව්ස්පීඩියා )

Social Sharing
නවතම