පොලිස් අධි රංගනයන් දෙකක්, එක කතාවක්..!

– කේ. සංජීව – 

පසුගිය කාලයේ සීඅයිඩීය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙව්වේ රෙද්ද කඩාගෙනය. එහෙත් ඔහු ඇවිත් ඇපගෙන යනකම් පොලීසියට සොයාගන්නට නොහැකි විය. කුරුණෑගල බඩු එහෙමය. කුරුණෑගල රාජසභා ගොඩනැඟිල්ල ඩෝසර් කළ නගරාධිපති උතුමා සොයාගන්නට එකළ කුරුණෑගල පොලීසියට නොහැකිවිය. තත්ත්වය එසේ වුණත් සාමාන්‍ය ජනතාවට පිස්තෝල ඇද පෙන්වන තග දාන පොලිස්කාරයන් කුරුණෑගල සුලභය. ලංකාවේ හැමතැනකම එහෙව් ලයිසන් චන්ඩීන් ඕනෑ තරම් සිටී. එයින් පෙනෙන්නේ පොලීසිය තවමත් මහජනතාවට වඩා සෑහෙන්න දුරින් සිටින බවය.

පසුගිය 17 දා හවස කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් හතරක් විතර එහායින් පුත්තලම පාරේ මාස්පොත තිබෙන තෙල් පිරවුම්හල අසලදී සිදුවීමක් සිදුවිය. තෙල් පෝලිමේ සිටින මිනිසුන් කලහාකාරී විදිහට හැසිරෙනවා යැයි ලැබුණ පණිවිඩයකට එම ස්ථානයට පැමිණි කුරුණෑගල පොලීසියේ පරිපාලන අංශයේ ස්ථානාධිපතිවරයා යැයි කියන සීඅයි ධර්මවර්ධන එම ස්ථානයේ තම යතුරු පැදියට තෙල් ගසාගන්නට පැමිණ සිටි අහිංසකයෙක් අත්අඩංගුවට ගන්නේ ඔහුට විරුධව දැවැන්ත හිංසනයක් මුදාහරිමින් ය.

පිස්තෝලය ඇද පෙන්වමින් මෙම අහිංසකයාට මරණ බිය ඇති කරන මේ පොලිස් නිළධාරියා, මෙම අසාධාරණ අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වෙන තවත් තරුණයෙක්ට දැඩි ප්‍රහාරයක් එල්ලකර ඔහු හැඳ සිටින කමිසයද ඉරා දමයි. මෙම සිදුවීම සිරස නිව්ස්ෆර්ට් මුලු රටටම පෙන්නුවේය. පාරේ ගමන් කරන ජනතාවට කිසිඳු කරදරයක් නොවෙන ලෙස පාරෙන් ඈත යතුරු පැදි පෝලිමේත් මැදසිටින තරුණයෙක් අල්ලාගන්නට වියරුවෙන් නළාගිරි සේ දිව එන පොලිස් ලොක්කා මෙහිදී කැමරාවට හොඳින් හසුවෙයි. මෙම හැසිරීම අධි රංගනයක් බව බැලූ බැල්මට පෙනෙයි. මෙහි අරමුණ නැඟ එන ජනතා විරෝධය බිය ගන්වා මුලු ගැන්වීමද? ප්‍රශ්නයක් ය.

මෙහෙම බයවෙන මිනිසුන් මාස්පොත සිටියත් ලංකාවේ සෑම තැනම මෙලෙස නොවෙන බව අප පොලීසියට මතක් කළ යුතුය. එනිසා ප්‍රවේශමෙන් පොලීසිය හැසිරිය යුතුය. ජනතාව කබලෙන් ළිපට වැටී තිබෙන මේ වෙලාවේ ඔවුන් අවුස්සාගෙන මර්දනය දියත් කිරීමට පොලීසිය කල්පනා කරන්නේ නම් රට හෙට දවසේ ලේ විලක් වෙනු ඇත. පැඳුරෙන් බිමට වට මිනිසුන්ට තවත් වැටෙන්න තැනක් නැති බව දේශබන්දු පන්නයේ පොලිස් ලොක්කන් කල්පනාවට ගත යුතුය.

මෙම අධි රංගනයේ නිරත පොලිස් නිළධාරියාගේ පොලිස් ඉතිහාසය එතරම් හොඳ එකක් නොවෙන වග ප්‍රකාශ කරන්නේ පොලිස් නිළධාරීන්මය. කුරුණෑගල මිනිසුන් කියන්නේ මේ පොලිස් නිළධාරියා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ගේ හිතවතෙක් බවය. මේ නිළධාරියා පහුගිය කාලයේ ජොන්ස්ටන් ගේ දේපළ ආරක්ෂා කරගන්න සෑහෙන්න වෙහෙසුන පොලිස් නිළධාරියෙක් බව කුරුණෑගල ජනතාව ප්‍රකාශ කරයි. එනිසා දේශපාලන උණ නිසා මිනිසුන්ට පහර දෙන්නට බුරාගෙන පනිනවා නම් ඒ ගැන දෙපාරක් නොව හතර පාරක් පමණ කල්පනා කරන්න යැයි අපි මෙවැනි පන්නයේ පොලිස් ලොක්කන්ට කිවයුතුය. මෙම බුරා පැනීමේ රංගනයෙන් පසුව 10 දෙනෙක් අහිංසක පුද්ගලයින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. තෙල් නැත. අත්අඩංගුවට ගැනීම් ඇත. මොකද්ද මේ ක්‍රමය? අපි ප්‍රශ්න කළ යුතුය.

ඊයේ (17) හවස අතුරුගිරිය පොලිස් බල ප්‍රදේශය තුළද මෙවැනිම ආකාරයේ සිදුවීමක් සිදුවී ඇත. දැන් එම සිදුවීමේ වීඩියෝ පටයන්ද සමාජ මාධ්‍යයේ සැරිසරමින් තිබෙයි. එහි දිස් වෙන්නේ ද බිහිසුනු පොලිස් ප්‍රහාරයක් ගැන චිත්‍රය බව කිව යුතුය. වළං කඩේට පැන්න හරකා සේ පොලීසිය ජනතාව අතරට කඩාපැන දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදාහරියි. මෙලෙස තෙල් පෝලිම් අස සිටින මිනිසුන්ට විරුද්ධව පොලීසිය හැසිරෙන්නේ නිසි සැළසුමකට අනුවද? මේ සිදුවීම් දෙක එකට තබා බැලීමේදී අපිට එසේ සිතෙයි. මෙහිදී පොලීසිය ප්‍රකාශ කරන්නේ ජනතාව තමන්ට ප්‍රහාරයක් එල්ල කළ බවය. මෙම අතුරුගිරිය සිදුවීමෙන් පොලීසියේ නිළධාරීන් 09 දෙනෙක් තුවාල ලැබූ බව කියන්නේ පොලීසියමය. කෙසේ හෝ අවසානයේ මෙම සිදුවීම නිසාත් තෙල් ගන්නට පෝලිමේ සිටි මිනිසුන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙවැනි සිදුවීම් නිසා අවසානයේ වෙන්නේ නීතිය සහ සාමය පවත්වාගෙන යාමට සිටින පොලීසිය පිළිබඳ ජනතා විශ්වාසය බිංදුවට වැටීමය. එවිට පොලීසියට ජනතාව පාලනය කළ නොහැකිවනු ඇත. එවැනි තත්ත්වයක් ලේ වැකි සමාජයකට පාර කපනු නියතය. එනිසා පොලිස් ලොක්කන් තමන්ගේ මහන්තත්ත්වය පසෙක තබා මෙම දුෂ්කර අවස්ථාව පසුකරගැනීම සඳහා ජනතාවට සහාය විය යුතුය.

Social Sharing
නවතම විශේෂාංග