ගැලවීමට මගක් තිබේද?

ලංකාව මේ අවස්ථාවේ සිටින්නේ දැන් වැටී සිටින අගාධයේ සිට ඊට පහළින් තිබෙන වඩා බිහිසුණු අගාධයකට වැටෙන්න ආසන්න තත්වයකය. දැන් සිටින අගාධයෙන් පහළට ඇද නොවැටී ඉන් ගොඩ ඒමට අසමත්ව ඊලඟ අගාධයට ඇද වැටුනහොත් ඉක්මණින් ගොඩ ඒමට පහසු නැති අශීලාචාර තත්වයකට රට ඇද වැටෙනු නොවැලැක්විය හැකිය. මේ මොහොතේ ලංකාවට අදාල එම බිහිසුණු යථාර්තය තේරුම් ගැනීමට රටේ දේශපාලන තන්ත්‍රය, ක්‍රමය හෝ රෙජීමය වෙනස් කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින සටන් කාමී බලවේගයන් හෝ සමාජය තෙරුම් ගෙන ඇති බව පෙනෙන්නේ නැත. මෙම විශේෂ දේශපාලන මොහොත පාලක පක්ෂය වහා වෙනස් කල හැකි මොහොතක් නොවේ. එය දූෂිත හා ප්‍රතිගාමි බලයක් ලෙස සලකා සහාය දීමෙන් වැලකී සිටීමට සුදුසු මොහොතක් ද නොවේ. පාලක පක්ෂයේ දූෂිත අධම ස්වරූපය නොසළකා ඔවුන් සමග එකතු වී ලංකාව ඊළඟ අගාධයකට ඇද වැටීම වලකා ගනිමින් ලංකාව දැන් සිටින අගාධයෙන්ද ගොඩ ගැනීම සඳහා ක්‍රියා කල යුතු විශේෂ මොහොතක් ලෙස සැළකිය හැකිය. ක්‍රමය වෙනස් කිරීම, රෙජීමය වෙනස් කිරීම වැනි ඕනෑම දෙයක් සිදුවිය යුත්තේ ඉහත පෙන්වා දෙන ලද මූලික අරමුණට හානියක් නොවන මේ විශේෂ මොහොතේදී ලංකාවට දරාගත හැකි ව්‍යවස්ථාමය රාමුවකය.

“ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන ව්‍යාපාරය” සිය ප්‍රතිසංස්කරණ වැඩසටහන සැලසුම් කොට රාමු ගත කර තිබෙනුයේ අර්බුදයේ අප දැන් සිටින සුවිශේෂ මොහොත සැළකිල්ලට ගනිමිනි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ අන්තර් වාර සර්ව පාක්ෂික පාලන රාමුවකට ගැනීමට හේතුවන ලෙස හා ඒ මගින් එකට එකතුවී ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීම සදහා ක්‍රියා කරන අතර ක්‍රමයේ ගැඹුරු වෙනසක් සඳහා වන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ද අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කල හැකි ආකාරයටය. ප්‍රතිසංස්කරණ වැඩසටහන අදියර දෙකක් යටතේ සිදූවන දෙයක් බවට පත් කර ඇත්තේ ද මෙම අර්බුදය විසඳා ගැනීම සදහා ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමද අත්‍යාවශ්‍ය වැදගත් කොන්දේසියක් ලෙස සලකාය. ඒ අනුව වැඩසටහනේ පළමු අදියරයට ඇතුළත් ප්‍රධානතම දෙයක් වනුයේ සුදුසු ආණ්ඩු ක්‍රමයක් තෝරා ගැනීමෙන් පසු එහි ව්‍යවස්ථාදායකය සඳහා නියෝජිතයින් පත් කර ගැනීම සදහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශය මැතිවරණ නීති ඇති කර ගැනීම හා ඉන් පසුව මැතිවරණයක් පැවැත්වීමය. එය ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට නියෝජිතයින් තෝරා පත්කර ගන්නා මැතිවරණයක් ද විය යුතුය. සමස්ථ ප්‍රතිසංස්කරණ වැඩසටහන සැලසුම් කරනු ඇත්තේද, කෙටුම්පත් කටයුතු කරනු ඇත්තේද, පළමු අදියර අවසානය තෙක් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ වල බලධාරියා වශයෙන් ක්‍රියා කරනු ඇත්තේ ද, පාර්ලිමේන්තුව විසින් තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 50 ක ගෙන් හා මහජන නියෝජිතයින් 100 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක කමිටුව විසිනි. දෙවැනි අදියරේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ වැඩසටහන සැලසුම් කොට කෙටුම් පත් කරනු ඇත්තේද එම කමිටුව විසිනි. එය මැතිවරණයෙන් බලයට පත්වන ආණ්ඩුව හා පාර්ලිමේන්තුව විසින් අනිවාර්‍යයන් සම්පූණ කල යුතු ව්‍යවස්ථාපිත වගකීමක් ලෙස නීති ගත කෙරෙනු ඇත. ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අදියරය එක වසරකට නොවැඩි කාලයක් තුල අවසන් කල යුතු අතර “මහජන සහභාගි” ව්‍යවස්ථා සම්පාදනය සමඟ දෙවැනි අදියරයට ඇතුළත් අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු තුන් වසරකට නොවැඩි කාලයක් තුල අවසන් කළ යුතුය. බලයට පත්වන්නේ කවර ආණ්ඩූවක් වුවත් ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තෙක් තිබිය යුත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකි.

යථාර්තයක් බවට පත් කිරීම.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනට ප්‍රතිසංස්කරණ යෝජනා ඇතුලත් කර තිබෙනූයේ ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහනක තිබිය යුතු දිග පළල හා ගැඹුර තේරුම් ගැනීමට ලබා දෙන ආදර්ශයක් වශයෙන් මිස ඊට ඇතුළත් යෝජනා ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය යැයි කියන අදහසකින් නොවේ. මෙය මහජන සහභාගි ප්‍රතිසංස්කරණ වැඩසටහනකි. ඒ නිසා යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය මහජනයාට හිමිය. සමස්ථ වැඩසටහන ක්‍රියාත්මකවනු ඇත්තේ ද පාරදෘෂ්‍ය ආකාරයකට හා මහජනයාට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ විය හැකි අකාරයටය. මෙම වැඩසටහ

(අ) ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය විසඳා ගැනීමට අවශ්‍ය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ලබා දෙයි.
(ආ) මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන මේ මොහොතේ ලංකාවට ජාත්‍යන්තර ආධාර ලබාගැනීමටද ශක්තිමත් පදනමක් ලබා දෙයි.
(ඇ) ගඳ ගහන තරමටම කුණුවී තිබෙන ක්‍රමයේ ගැඹුරු විපර්‍යාසයක් ඇති කර ගැනීමටද ශක්තිමත් ව්‍යවස්ථාපිත රාමුවක් ලබා දෙයි.
(ඈ) කළු සල්ලි නැතිව තරඟ කල හැකි ඉක්මන් මැතිවරණයක් ලබා දෙයි.
(ඉ) කැබලි වී තිබෙන ජාතිය සමගි කොට සමානතා පදනමක් මත නූතන ජාතිය ගොඩනගා ගැනීමට ශක්තිමත් පදනමක් ලබා දෙයි.
(ඊ) නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක නව ආණ්ඩු ක්‍රමයක් හා මහජන සහභාගි ක්‍රමයට තනා ගත් නවීන ව්‍යවස්ථාවක් ද රටට ලබා දෙයි.

එම ප්‍රතිසංස්කරණ වැඩසටහනට පළමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේද පසුව අගමැති රනිල් වික්‍රමසිංහ ගේද අනුමැතිය ලැබී තිබුණි. ජූනි 10 වනදා විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ඒ ගැන පැවති සාකච්ඡාවක දී ඒ මහතා එම ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිගත්තා පමණක් නොව එම ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන දැනුවත් කිරීම සදහා වඩා පුළුල් සාකච්ඡාවක් කැඳවීමට ද ක්‍රියා කළේය. ජූනි 13 පැවති එම සාකච්ඡාවට සජබෙ නිලධර මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් හා විරුද්ධ පක්ෂ සන්ධානය නියෝජනය කරන දේශපාලන නායකයින් හා මන්ත්‍රීවරුන් ඇතුළත් කණ්ඩායමක් ද සහභාගි විය.

පාරලිමේන්තුව නියෝජන කරන විරුද්ධ පක්ෂ අතරින් මෙම අවස්ථාවට සහභාගි නොවූයේ චම්පික රණවකගේ පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණය. සංවාදය පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ ඉතාමත් උද්‍යෝගිමත් ආකාරයෙන් සිදුවූ අතර මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන හෝ එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක අවශ්‍යතාව සියළු දෙනාගේ පිළිගැනීමට හේතු විය. ප්‍රමාද කිරීමකින් තොරව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව ගැනද එහිදී අදහස් පලවිය.

ලංකාවේ දේශපාලන තන්ත්‍රය ක්‍රමයෙන් ක්‍රමයේ ගැඹුරු හා යහපත් විපර්යාසයක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කිරීමේ වැදගත්කම පිළිගන්නා තත්වයකට පැමිණෙමින් තිබෙන බව පෙනේ. එය ඉතා වැදගත් නැඹුරුවක් බව අමුතුවෙන් කිවයුතු නැත. අපි මේ ගැන ජවිපෙ සමග ද, 43 වැනි සේනාංකය සමග ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ද, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන විවිධ මන්ත්‍රී කණ්ඩායම් සමග ද කතා කිරීමට බලාපොරොත්තු වෙමු. සර්ව පාක්ෂික පොදු එකඟතාවක් ඇති කර ගැනීම ප්‍රමාද නොකොට ඉක්මණින් සිදුවිය යුතුය. මට හිතෙන විදිය නම් ජනාධිපති, අගමැති හා විරුද්ධ පක්ෂ නායක යන ත්‍රිත්වය මේ අර්බුදයේදී රට මෙහෙයවන ප්‍රධාන බල කණු තුන බවට පත් කල යුතුය. ජනාධිපති රාජ්‍ය නායකයා වශයෙන් රාජ්‍යයේ සියළු කටයුතු බලාගන්නා බලධාරියා ය. අගමැති ගෙවුම් ශේෂ අර්බුදය හා ආණ්ඩුවේ කටයුතු බලා ගන්නා බලධාරියා ය. විපක්ෂ නායකයා ප්‍රතිසංස්කරණ වැඩසටහන බලා ගන්නා බලධාරියා ය. එවැනි සංයුතියක් රට එක්සත් කිරීමට ද රට ඊළඟ අගාධයට ඇද වැටෙන්නට ඉඩ නොදී දැන් සිටින අගාධයෙන් ගොඩ ඒමට ශක්තිමත් පදනමක් ද ලබා දෙයි. අවසානයේ තරුණ පරපුරේ ඉල්ලීම් රළු පරුෂ ලෙස නොව සුමුදු ව්‍යවස්ථාමය රාමුවක් හරහා රටට ලැබෙන දෙයක් බවට පත්වනු ඇත◼️

උපුටා ගැනීම : විකටර් අයිවන්ගේ ෆේස්බුක් පිටුවෙන්..

Social Sharing
නවතම විශේෂාංග