මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු “දළදා පෙරහැර” අත නොහරියි!

නිරෝධායන පනතේ බලතල සම්බන්ධයෙන් පවතින ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් නොදීම නිසා කොවිඩ් – 19 ඇතුළු වසංගත රෝග පාලන කටයුුතු වලින් ඉවත්ව සිටියත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා සම්බන්ධ රාජකාරී කටයුතු පෙර පරිදිම කිසිදු අඩුවකින් තොරව සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් ශාඛාවේ  සභාපති අසංක රාජපක්ෂ මහතා පවසයි.

මෙරට ප්‍රධානතම ජාතික හා ආගමික උත්සවයක් වන දළදා පෙරහර වීදි සංචාරය කරන කාලය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රාජකාරී රැසක් පැවරෙන බවත් කොවිඩ් – 19 වසංගතය තාමත් රටින් තුරන්ව නොමැති නිසා මෙවර එම වගකීම තවත් ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවර යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට් හෝටලයේදී ඊයේ  (23) පැවැති මධ්‍ය හමුවකදී අසංක රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පෙරහරට සම්බන්ධ වන ශිල්පීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම, ඔවුන් පදිංචි ප්‍රදේශවල නිරෝධායනයට ලක්වෙමින් සිටින්නේද ආදි කරුණු රැසක් සම්බන්ධව මෙවර අවධානය යොමුකළ යුතුව තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

මව් සංගමය හා සාකච්ඡා කිරීමෙන් පසු මහනුවර ඇසළ පෙරහර වීදී සංචාරය කරන කාල සීමාවට පමණක් යටත්වන සේ අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග අත්හරින බවත් එය වලංගු වන්නේ පෙරහර හා සම්බන්ධ කටයුතු වලට පමණක් බවත් සභාපතිවරයා කීවේය.

මහනුවර ඇසළ පෙරහර සමයේ මහනුවර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 10 දෙනට අමතරව තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 දෙනෙකු පමණ සේවයට එක්වන බවද ඒ මහතා කීය.

මෙතෙක් පැවැති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් ශිල්පීන්ටත්,ඇත් ගොව්වන් හා සෙසු රාජකාරි වල නිරත අයටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෞඛ්‍ය නිර්දේශ ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු බවත් එය තරමක ගැටලුකාරී තත්ත්වයක් බවත් හෙතෙම පැවසුවේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පෙරහර රාජකාරී අවසන් වන්නේ මහනුවර ඇසළ පෙරහර අවසන් වීමෙන් පසුද සති දෙකකට පමණ පසු යැයිද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ප්‍රකාශක ලලිත් කොළමුණ්න මහතා ද මෙහිදී අදහස් පළ කළහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම