දේශපාලන වේයෝ, ගිලපු පොලීසිය..!

පසුගිය දවසක අපි දැක්කා ඊළඟට පොලිස්පති වෙන්න හීන දැක්ක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහපාරේ මිනිස්සු ගහපු විදිහ. ඒ ගහන ගමන් මිනිස්සු කීවේ මොනාද? ඒ කියපු දේවල් මතක නම් ඔබට තේරෙන්න ඕනී පොලීසිය ගැන මිනිස්සුන්ට දැන් තියෙන්නේ මොනවගේ අප්‍රසාදයක් ද කියන එක.

කෑගල්ලේ ඩිවිෂනය භාරව හිටපු කීර්තිරත්න ගැන කතාව අද වෙනකොට අපි සේරම දන්නවා. ඒ තමන් විශ්වාස කරන, තමන්ට උඩට උඩට යන්න උදව් ලැබුණ මහින්ද රාජපක්ෂ දේශපාලනය ආරක්ෂා කරන්න නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග කරපු නිසා. ඒ නියෝගය නිසා රඹුක්කන තරුණයෙක් ඝාතනය වුණ නිසා. නැත්තං කීර්තිරත්නගේ සත් කීර්තිය පොලීසිය ඇතුලෙම තිබිලා වියැකිලා යන්න ඉඩ තිබුණා.

පසුගිය දවසක මයිනාගෝ ගමට එළිවෙන පාන්දර පොලීසිය ප්‍රහාරයක් එල්ලකරනවා. ඒක මෙහෙයවලා තිබුණේ බම්බලපිටිය පොලීසියේ OIC, මිනිහාට හෝමාගම උසාවියේ නඩුවක් තියෙනවා. එහෙම නඩුවක් තියෙන මිනිහෙක් කොහොමද OIC පුටුවේ වාඩිවෙලා රාජකාරි කරන්නේ? එහෙම රාජකාරි කරනවාට ගෙවන්න වෙන දේවල් තමයි ඔය පහරදීම්වලින් ගෙවන්නේ..!.

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහුගිය කාලේ කොච්චර චෝදනා එල්ලවුණාද? පාස්කු කොමිසමේ නිර්දේශවලත් මිනිහගේ නම තියෙනවා. එහෙම තියෙන දේශබන්දුට මොකද්ද වුණේ? මොකවත් නෑ. පොලීසිය තියෙන්නේ නීතියේ පාලනය පවත්වාගෙන යන්න. නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න. එහෙම තැනක වැඩකරන මනුස්සයෙක්ට විරුද්ධව චෝදනාවක් ආවාම ඒ ගැන සාධාරණ පරීක්ෂණ සිදුවෙන්න ඕනෑ. අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒත් රාජපක්ෂ යුගය කියලා කියන්නේ ඒ හැමදෙයක්ම බල්ලට දාපු යුගයක්.

2015 ඉවරවුණ ඒ යුගය ආයෙත් ඇවිත් කියන එක තමයි රඹුක්කන සිදුවීම වගේම ගෝල්ෆේස් ප්‍රහාරයත් අපිට කියන්නේ. ගෝල්ෆේස් ප්‍රහාරය වෙනකොට එතන හිටපු මනුස්සයෙක් මේ ලියන්නා. පොලීසියේ තරුවළලු මහත්වරු සහාසික පොහොට්ටු උන්මාදකයන් රැල අරගෙන පස්සෙන් පස්සට එනවා දැක්ක මනුස්සයෙක් මේ ලියන්න. පොලීසිය කොතරම් නින්දිත තැනකට වැටිලා තියෙනවද කියන එකට හොඳම සාක්ෂිය තමයි මේක.

නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තාජුඩීන් ඝාතනයට අදාළ සිදුවීමේදී සාක්ෂි සඟවන්න කටයුතු කළේ ඇයි? ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණවලදී හිටපු පොලිස්පති ඇතුලු උසස් නිළධාරීන් සාක්ෂි සඟවන්න කටයුතු කළේ ඇයි? හේතුව හරිම පැහැදිලියි. හේතුව තමයි දේශපාලන බැඳියාව. තාජුඩීන් ඝාතනය කරලා කාර් එක ශාලිකා ක්‍රිඩාංගනය ළඟට ගෙනත් දැම්මට පස්සේ එතනට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සෝටක් ගහගෙන ආවා කියලා තමයි කතාව තියෙන්නේ. මෙහෙම කතාවන් යනකොට පොලීසිය ඒ ගැන වෙනම විමර්ශනය කරන්න අවශ්‍ය නැද්ද?

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ භාරත ලක්ෂ්මන් ඝාතන සිදුවීම අතර යම් යම් දේවල් ගැන චෝදනා කයි කතරන්දර තිබෙනවා, මේවා ගැන අභ්‍යන්තරව පරීක්ෂණ කරන්න පොලීසියට යුතුකමක් සහ වඟකීමක් නැද්ද? පොලීසිය තමන්ගේ ගෞරවය රැකගන්න කටයුතු කරන්න ඕනෑ නැද්ද?

මැයි 09 වෙනිදා සිද්ධියෙන් පස්සේ කොළඹ පොලීසිය නැතුව පාරවල් පාළු වෙනකොට මම මගේ මිත්‍රයෙක් වුණ උසස් පොලිස් නිළධාරියෙක්ට කතාකරලා මේ ගැන ඇහුවාම මිනිහා හරි අපූරු උත්තරයක් දුන්නා. මිනිහා කිව්වේ දැන් පොලීසිය දකිනකොට මිනිස්සු ඇවිස්සෙනවා කුපිත වෙනවා කියලා. මේ කතාව මොකද්ද කියන්නේ? පොලීසිය ඇතුලේ ඉන්න අය දන්නවා පොලීසියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා.

සරත් වීරසේකර පොලිස් ඇමති වුණාම පොලීසියේ මේ සෝදාගෙන යෑම නායේ යෑමක් වුණා. පොලීසියේ උසස් නිළධාරීන්ට හෝ කාටවත් මේ නාය යාම වළක්වන්න උවමනාවක් තිබුණේ නෑ.

ඒ අහු අස්සේ පසුගිය දා ජනාධිපතිවරයා පොලිස්පතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මැදට ගෙනල්ලා අතෑරලා. ගෙවල් ගිනි ගත්තට පස්සේ මීයෝ වගේ හිටපු මන්ත්‍රීවරුන් වෘක්කයෝ වගේ වෙලා පොලිස්පතිට බැන්නා කියලා තමයි කතාව.

ඒත් ඇත්තම ඇත්ත මොකද්ද? දේශපාලකයෝ පොලීසියේ ඉහළ ලොක්කෝ එක්ක එකතුවෙලා වපුරපු බීජවල අස්වැන්න තමයි මේ ලැබිලා තියෙන්නේ.

ඔන්න ඊටපස්සේ පොලිස් ගෞරවය ගැන මතක් වුණ පොලිස්පති මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්ට රහසිගත ලියුමක් ලියලා. ඒ ලියුම ගැන මවුරට වෙබ් අඩවිය කරුණු වාර්තා කරලා තිබුණා.

ඒ ලියුමට අනුව 2021. 01.01 ඉඳලා 2021.11.03 වෙනකම් අලුතින් දුන්න ස්ථානාධිපති තනතුරු 184ක් අතරින් නිශ්චිත ක්‍රමවේද සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන තිබෙන්නේ, පොලිස් ස්ථානාධිපතිවරුන් 02ක් විතරයි. කොහොමද කෙළිය?

මේ ලියුමට අනුව ස්ථානාධිපතිවරුන් 182ක්ම පොලිස්පතිවරයා ගේ නිර්දේශ නැතුව පොහොට්ටු ලොක්කන්ගේ බලපෑම උඩ තමයි මේ පත්වීම් අරගෙන තියෙන්නේ. මෙහෙම පත්වීම් ගත්තාම ඒ පත්වීම ගන්න පොලිස් ලොක්කා ජනතාවට සේවය කිරීම පැත්තකට දාලා තමන්ව පුටුව උඩට වීසිකරපු දේශපාලකයාට ඕනී විදිහට වැඩ කිරීම අපිට හිතාගන්න අමාරු නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20 ගෙනල්ලා බලය අතට ගත්තේ කොමිසන් සභාවලට කෙළවලා ඇරියේ මේ සූදුවට තමයි කියලා අපි එදාම කිව්වා.

පසුගිය 14 දා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ආපු පොලිස් ලොක්කට පවුලේ අය සිහිවෙන්න මන්ත්‍රීවරුන් දෙසාබානකොට පොලිස්පතිතුමාට පොලිස් විනය සහ වර්තමාන ආණ්ඩුව පොලීසිය දේශපාලනීකරණය කිරීම ගැන මතක් වෙලා. උන්දැ ඒ ගැන මන්ත්‍රීවරුන්ට කයියක් ගැහුවා කියලා තමයි ආරංචිය.

පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පෞරුෂය, විනය සහ වගකීම හැඩගස්වමින් එම ධුරය සඳහා පොලිස් නිලධාරියෙක් පුහුණු කරන සම්ප්‍රදාය ගැන කරුණු 09ක් ඔස්සේ කරුණු කියපු පොලිස්පතිවරයා එම ක්‍රමය බිඳුනාම සමස්ථ පොලීසියටම වෙන්න පුලුවන් දේත් පැහැදිලි කළා කියලා තමයි මවුරට වෙබ් අඩවිය කරුණු වාර්තා කරන්නේ. අනේ වර්තමාන පොලිස්පතිතුමාට එවැනි මොළයක් හෝ පහළ වුණානම් හොඳයි කියලා තමයි මේ ලියන්නාට හිතෙන්නේ.

2021. 01.01 දා ඉඳලා 2021.11.03 තනතුරු ලබාගත් පොලිස් ස්ථානාධිපතිවරුන් 184ගෙන් ස්ථානාධිපතිවරුන් තෝරා ගනු ලබන සම්මුඛ පරික්ෂණයටවත් නොපැමිණ එම තනතුරු ලබාගත් නිලධාරින් ගණන 126ක්. කොහොමද සෙල්ලම. සම්මුඛ පරීක්ෂණයට ඇවිත් ඒකෙන් අසමත් වුණ නිලධාරීන් 03ක් දේශපාලන බලපෑම් උඩ පොලිස් ස්ථානාධිපති වෙලා තියෙනවා කියලා තමයි මේ ලියුම කියන්නේ. කෑගල්ලේ රාජකාරි කරපු කීර්තිරත්නලාම කීයක් මේ ලිස්ටෙකේ ඉන්නවාද? පොලිස් සේවය මෙහෙම බල්ලට දානකොට නියමිත සුදුසුකම් සපුරපු විනයවත් නියම සුදුස්සන්ට මොකද හිතෙන්නේ?…

මින් පෙර කිසිඳු පොලිස් ස්ථානයක ස්ථානාධිපති කමක් නොකර A1 හෝ A2 පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයට නිලධාරීන් 13ක් පත් කරලා තියෙනවා. මීට පෙර කිසිම පොලිස් ස්ථානයක ස්ථානාධිපතිකමක් නොදැරූ නිලධාරීන් 21කට A3 පරිපාලන ඛාණ්ඩයේ පොලිස් ස්ථානවල ස්ථානාධිපති පත්වීම් ලබාදීලා තිබෙනවා.

B හෝ C ශ්‍රේණියේ පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයක් දරමින් සිට කෙලින්ම A3, A2 හෝ A1 ශ්‍රේණියේ ස්ථානාධිපති ධුරයට පත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් ගණන 19ක්.

මෙහෙම වේයෝ කාපු පොලීසියක් ගෝල්ෆේස් සාමකාමී අරගල භූමියට සහාසිකයන් රැගෙන පැමිණීම ගැන කවර කතාද? ගෝල්ෆේස් කඩාවැදීමට කළින් පොලිස් ලොක්කෝ සහ ඩෑන් ප්‍රියසාද් අතර සාකච්ඡාවක් තිබුණා කියලත් කතා තිබෙනවා. මේවා ඇත්තනම් වර්තමාන පොලිස්පතිතුමාට වහා කන්න තමයි වෙන්නේ.

දැන් පොලිස්පතිතුමාට තියෙන්නේ පොලිස් සංගායනාවක් කරන්න..!

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග