චොකා මල්ලිත් නිදොස්කොට නිදහස්…

මරණ දඬුවම නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට 2020 වසරේ ජූලි මස 31 වනදා රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළා.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාම සිය අභියාචනා තුළින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් , අද (31) අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ, ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා චෝදනාවලින් නිදහස් කරන ලෙසයි.

Social Sharing
නවතම