සත්‍ය සෙවීමට ජනාධිපති කැමතියි!

දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියා කරමින් සිටින බව පසුගිය 25 දා දෙමළ ජාතික සංධානය හා පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ යැයි එම සාකච්ඡාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ලේකම් කාර්‍යාලය ප්‍රකාශ කරයි.

මෙහිදී එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමඟින් රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්  ප්‍රකාශ කළ බවද රටක් ලෙස අප එකතු විය යුතුයි, එක රටක්, එක ජාතියක් ලෙස ක්‍රියා කරමින් පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බවද,ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත් වනු දැකීමට තමන් ගේ අභිලාෂය බවද මෙහිදී ආර් සම්බන්ධන් ප්‍රකාශ කර ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.

දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, දීර්ඝ කාලයක් වගා සඳහා යොදා ගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම, උතුරු නැගෙනහිර සංවර්ධන අරමුදලක් ඇතිකිරීම වැනි යෝජනා මෙහිදී සලකා බැලුනු බව එම වාර්තාව ප්‍රකාශ කරයි.

මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයා ට සහ ආර් සම්නන්ධන්ට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, අලී සබ්‍රි, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිදාර්ථන්, එම්.ඒ. සුමන්දිරන්, චාල්ස් නිර්මලනාදන්, ශානක්‍යයන් රාජපුත්‍තිරන්, තවරාජා කලෙයි අර්සන් සහ මාවයි සේනාධිරාසා යන අය සහභාගීවී ඇත.

Social Sharing
නවතම