පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රනයක්, වහා මැදිහත්වන්න

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය දිනාගැනීමේ ක්‍රියාන්විතයට මැදිහත් වන්නැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සීලය අමතමින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය පෙබරවාරි 07 දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අමතමින් අගරදගුරු හිමියන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරයෙන් සිදුවූ සමූල ඝාතනය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ වැඩක් බව මුලින් ප්‍රකාශ වුවත්, ඉන් අනතුරුව සිදු වූ විමර්ශනවලදී එය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බව අනාවරණය වී ඇති බවය.

මෙම අපරාධය සිදුවී වසර තුනක් යන තුරුත් එහි සත්‍ය හෙළිනොවීම අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස අහිමි කළ අවස්ථාවක් බව ප්‍රකාශ කළ උන්නාන්සේ, කතෝලික සභාව මෙන්ම මේ පිළිබඳ සත්‍යය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලීම් කළ ද වින්දිතයින් හට යුක්තිය ඉටු කිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී ඇතැයි ප්‍රකාශ කළහ.

මෙම ප්‍රහාරය පිළිබඳ සත්‍යය සොයාගැනීමට අරගලයේ නිරත පුද්ගලයින් වෙත ආණ්ඩුව විසින් කරන හිරිහැර සහ බියගැන්වීම් පිළිබඳව ද මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමුකර ඇති කාදිනල් හිමිපානන් මෙම තත්ත්වය නිසා පාස්කු ප්‍රහාරය තුළ සැබැවින්ම සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව තවමත් අඳුරේ සිටින්නට සිදුව ඇතැයි ද ප්‍රකාශ කළහ.

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා පුද්ගලයින් 269 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, 500කට වැඩි පිරිසකට තුවාල සිදුවිය.

Social Sharing
නවතම