තත්ත්වය බැරෑරුම් ලයිට් නැතුවම ඉන්න වෙයිද?

එලබෙන සඳුදායින් ආරම්භවන සතිය තුළ විදුලි කප්පාදු කාලසටහන තවත් දික් වෙන්නට පුලුවන් බව මහජන උපයෝගීතා කොමිසම දෙසින් එන වාර්තාවලින් දැනගන්නට ලැබේ.

මේ අනුව ආසන්න වශයෙන් පැය 8ක විදුලිය සිඳලීමක් සිදුවිය හැකි බව ප්‍රකාශ වෙන අතර මේ පිළිබඳව ප්‍රකාශයක් කරන එම කොමිසමේ සභාපති කියන්නේ ලංකාවේ මේ මොහොතේ තිබෙන්නේ විදුලි අර්බුදයක් නොව ඉන්ධන අර්බුදයක් බවය. එහෙත් විදුලි බලමණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටින්නේ ජල විදුලි බලාගාර පිහිටි ජලාශවල ජල මට්ටම් 60%කින් පමණ පහළ බැස ඇති පසුබිමක ඉදිරියේදී ජල විදුලි බල ධාරිතාවයද තවත් අඩුවිය හැකි බවයි.

කෙසේ උනත් උගුරට හොරා බෙහෙත් කන මහජන උපයෝගීතා කොමිසම කියන්නේ තත්ත්වය බැරෑරුම් බව පමණි. කොළඹ නගරයේ විදුලිය සිඳලන්නේ නැති බව ප්‍රකාශ කරන එම කොමිසම, කොළඹට අවශ්‍ය අමතර විදුලිය ජනන යන්ත්‍ර භාවිතයෙන් නිශ්පාදනය කරන බවද ප්‍රකාශ කරයි. මේ ප්‍රකාශ පිළිබඳව අනෙක් පළාත්වල ජනතාව ප්‍රශ්න කරන්නේ කොළඹට පමණක් ඉන්ධන ප්‍රශ්නයක් නැත්තේ ඇයිද යන්නයි.

වර්තමාන යුක්‍රේන රුසියා යුධ තත්ත්වය තුළ ලෝක වෙළඳපොළේ තෙල් මිල තවත් ඉහළ ගිය අතර, මෙම තත්ත්වය තුළ ලංකාවේ විදුලිය සිඳලීමේ කාල සටහන එලබෙන සතිය තුළ තවත් දීර්ඝ වනු ඇත.

Social Sharing
නවතම