“හිරු සඳු නැගී ඒ කන්දට වැන්දේය…..” අපේ ගමේ සියබස්ලකර

පැල්මඩුල්ලේ පාතකඩ සිංගප්පුලිකන්ද ගම අපේ ගමට යාබද ගමය. (මගේ මවගේ මව- ආචිචිගේ- ඉපදුන ගමය) පැල්මඩුල්ලත් නිවිතිගලත් වෙන්කරනා මහා ප්‍රාකාරයක් බඳු කිරිබත්ගල කඳු වැටියේ ගල් කුළු මතින් පහලට වැටෙනා දිය කඳුරු රැසක් මේ ගම් පියස ඔස්සේ ගලා ගොස් ගම පහල මිටියාවත සරු කරයි.

” කුළින් කුළම සිහිළඹ ගෙනෙන කඳුරුය.”

henpitagera-nanseeha-thero

එබදු එක් දිය දහරාවක් වන “පුළුන්ඇල්ල” මේ ගම්පියස පසුකරගෙන යන නිම්නයේ කඳු මුඳුන් තැන්නක පිහිටා ඇති විහාරයක පසුගිය සියවසේ අප රටේ බිහි වූ යුග පුරුෂයකු බඳු වූ මහතෙර නමක් වැඩ විසූහ. ඒ පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන්ය. ඤාණසීහ සමිඳුන් යෝධ කාර්යයන් රැසක් තම දෑතේ පටලවා ගෙන ජීවත් වූ හිමි නමකි. උන්වහන්සේ දේශපාලන පෙරලි දෙක තුනකටම දායක වූහ. දේශපාලනය නිසාම දිගු කලක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමට උන්වහන්සේට සිදුවිය.  පාසැල්, පිරිවෙන් රාශියක් පිහිටුවමින් සබරගමුවේ දැවැන්ත අධ්‍යාපන ප්‍රබෝධයක් ඇති කළහ.

පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ හිමි

පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ හිමි

බෞද්ධ භික්ෂුවට සමාජික කාර්යභාරයක් තිබෙන බව විශ්වාස කළ උන්වහන්සේ. ඒ වෙනුවෙන් “ප්‍රජා නායකත්ව භික්ෂුව’ සංකල්පය ඉදිරිපත් කරමින් භික්ෂූ පුහුණු විද්‍යස්ථාන බිහි කිරීමට පෙරමුණ ගත්හ. සබරගමු නැටුමට ජාතික තලයේ අවධානයක් ලබා දෙමින් සපරගමු සංස්කෘති පුනරුදයකට පෙරමුණ ගත්හ. වැඩ විසූ විහාරය අසලින් ගලා ගිය පුළුන් ඇල්ල හරස් කර ජලාශයක් බැඳ කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකර එවකට විදුලිය නොතිබූ ගැමි නිවාස වලට විදුලිය ලබා දීමට කටයුතු කළහ. වෘත්තීය පුහුණුව වෙනුවෙන් තරුණයින් යොමු කළහ.

මේ සියලු කටයුතු සුළු පටු ඒවා නොව යෝධ අභියෝග වලට මුහුණ දෙමින් කළ යෝධ වැඩය. ඒවා ජනිත කළේද යෝධ සමාජ ප්‍රතිලාභය.

මේ සියලු වැඩ කරන අතර උන්වහන්සේ පොත් හතළිහක් පමණ ලියූ මහා ලේඛකයකුද වූහ.  උන්වහන්සේ ලියූ “සියබස්ලකර විස්තර වර්ණනාව” ඒ කෘති අතර ප්‍රධාන තැනක් ගනී. සියබස්ලකර යනු සිංහල සාහිත්‍යයේ දැනට දක්නට ලැබෙන ඉතිරිවී තිබෙන පැරණිතම පද්‍ය සාහිත්‍ය ග්‍රන්ථයයි. එය අනුරාධපුර යුගයේ රජ කළ පළමුවන සේන රජු (ක්‍රි.ව.826-846) විසින් කරන ලද කෘතියකැයි වියතුන් වැඩිදෙනෙක් පිළි ගනිති. සේන රජු කළ මේ පොත ස්වාධීන නිර්මාණයක් නොව පද්‍ය සාහිත්‍ය සඳහා උපදෙස් දෙන පොතකි. එසේම එය ඉන්දියාවේ විසූ ‘දණ්ඩී’ නම් සංස්කෘත පඬිවරයා ලියූ ‘කාව්‍යාදර්ශ’ නම් කෘතියේ පරිවර්තනයකි.

එදා යුගයේ භාරතයේ ජනප්‍රිය වුන අලංකාරවාදය කාව්‍යාදර්ශයේ වස්තු විෂයයි. කාව්‍යයේ චමත්කාරය ඇති වන්නේ විවිධාකාර වූ අලංකාර ප්‍රයෝග නිසා යැයි අලංකාරවාදීහු පැහැදිලි කරති. ඒ අනුව පද්‍ය නිර්මාණය වෙනුවෙන් යොද ගැණෙන විවිධ අලංකාර මොනවාදැයි පැහැදිලි කිරීම දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශයේත් සේන රජුගේ සියබස්ලකරේත් අරමුණ විය. සියබස්ලකර නිසා සිංහල සාහිත්‍යයට සිදු වූ යහපත් හා අයහපත් බලපෑම ගැන වියතුන් අතර වාද විවාද රැසක් පවතී.  අනුරාධපුර යුගයේ සිංහල බස අද යුගයේ අපට තේරුම් ගැනීම දුෂ්කරය. පද්‍ය භාෂාව හෙවත් කව් ලැකිය තේරුම් ගැනීම තවත් දුෂ්කරය.

මේ සියබස්ලකරේ හත්වන කවියයි

“ගවඟන වේ පසස්-

න දා බස් කැර සකස්

පියසුව හට අන්හට-

ගව බව්  මෙ හුදු සාදා.”

මේ කවියේ භාෂාව අපට තේරුම් ගැනීම දුෂ්කරය.. මෙබදු කවි 408ක් පමණ සියබස්ලකරේ ඇත. මේවා  එදා අනුරාධපුර යුගයේ භාෂාව ගැන දන්නා වියතකු විසින් අපට පැහැදිලි කළ යුතුව ඇත. සියබස්ලකරට විස්තර වර්ණනාවක් ලියමින් ඤාණසීහ හිමි සිදු කළේ අපේ පැරණිතම පද්‍ය සාහිත්‍ය ග්‍රන්ථය වන සියබස්ලකර අපට නුතන බසින් පැහැදිලි කිරීමය. ඒ සඳහා උන්වහන්සේට හැම සුදුසුකමක්ම තිබිණි. සිංහලය පමණක් නොව පාලි සංස්කෘත භාෂා පිළිබඳ පළල් දැණුමක් උන්වහන්සේට තිබුණි. පාලි සංස්කෘත භාෂා දෙකෙන්ද උන්වහන්සේ පොත් ලි්‍යුහ. මහා කවි කාලිදාසගේ “මේඝ දූතය” නම් ලෝකප්‍රකට සංස්කෘත කාව්‍යයද ඤාණසීහ හිමි සිංහලට පරිවර්තනය කළහ. මේ දැවැන්ත සාහිත්‍ය ⁣සේවය උන්වහන්සේ බොහෝ විට සිදු කළේ ඉහත සඳහන් කළ විහාරයේ තැනූ කුඩා කුටියක වෙසෙමින්ය.

henpitagera-nanseeha-thero

මේ කන්ද පාමුල විහාරය⁣ට යන පාර අද්දරම අපේ සියබස්ලකර හෙවත් සිංහල බසේ මිහිර අලංකාරය හොඳින් හදුනාගත් තවත් කවියකු විසුවේය. ඒ පාතකඩ කුලතිලක නමින් රටපුරා ප්‍රසිද්ධ වු කවියාය. ඔහු කොළඹ යුග සම්ප්‍රදායේ කවියෙකි. කවි ලිව්වාට වඩා හෙතෙම කවි කිව්වේය.  බැහැරකට ගොසින් ඤාණසීහ හිමි සිංගප්පුලිකන්දේ ව්හාරයට වැඩ්යේ කුලතිලක කවියාගේ නිවස පසුකරමින්ය. උන්වහන්සේ අපවත්වීමෙන් වසර දහයක් ගතවු පසු කුලතිලක කවියා මෙසේ ලීවේය.

බුදුපුත්  සුපේසල ගුණපිරි  අසීමිත

නැණවත් වියත් නැණසිහ හිමි සුපූජිත

අපවත්  වී වසර දහයක්  ගෙවී ඇත

තවමත්  චිතකයේ ගිනිදැල්  නිවී නැත.

 

හිමි සඳ වැඩ සිටියෙ සිංගප්පුලි  කන්දේය

සඳ හිරු නැගී ඒ කන්දට         වැන්දේය

කඳු ගැටයද දහම් සිසිලස        වින්දේය

සිල්ගෙන අවට කඳු පිරුවට      ඇන්දේය

ඤාණසීහ හිමිද කුලතිලක කවියාද අද පාතකඩ සිංගප්පුලිකන්ද ගම හැර ගොසින්ය.

ඉතින් මා මේවා මෙසේ ලියන්නේ ඇයි?

මේවා කියවීමෙන් ඔබට මේ පරිසරය අපේ භාෂාව, සංස්කෘතිය, හා එය පෝෂණය කළ ඤාණසීහ හිමි, පාතකඩ කුලතිලක වැනි සාහිත්‍ය සේවීන් ගැන ඇල්මක් ආදරයක්  සහ අපේ භාෂාව සංස්කෘතිය ගැන විචාර දැක්මක් ඇතිවන්නේ නම් මගේ ලිවීමේ අරමුණ එයයි. සියබස්ලකර ලියූ සලමෙවන් සේන රජුද කීවේ එවැනිම කතාවකි.

“ලකුණු පණ අත සඳ

ලකරද ඔසළ එක් දෙස්

බොළඳ තමා මෙවදනුදු

හුදු පරවැඩෙහි වේවා”

( ..මාගේ මේ බොළඳ වදන්ද පර වැඩ පිණිස එනම් අනුන්ගේ හිතසුව යහපත පිණිසම වේවා! – සියබස්ලකර 404 වැනි කවිය)

-කරු පරණවිතාන-

Social Sharing
නවතම විශේෂාංග