පාස්කු බූමරංගයට වීසිකළ පූජිත්-හේමසිරි ගැලවෙයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඟා ඇති සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නයැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන විනිසුරුවරුන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, මීට ප්‍රථම මෙම චෝදනාවලටම හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පාස්කු ප්‍රහාරයේ නඩුවෙ විත්තියේ සාක්ෂි විමසීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද 18 දා රැස්වූ අතර ඒ අනුව මෙම නියෝගයන් නිකුත් කරනු ලැබීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීම හේතුවෙන් සාපරාධී රාජකාරි පැහැර හැරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා මෙම දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණ.

Social Sharing
නවතම