බැසිල් සුළඟේ පාව එන සල්ගාදු සොමිය..!

රට අධිවේගයෙන් අගාධයට යමින් තිබේ. රටේ ආර්ථිකය කළු කුහරයක් තුළ නොපෙනී යමින් ඇත. ඒ අස්සේ ගෝඨා බැසිල් මහින්ද කබ්‍රාල් වැනි වගකිව යුත්තෝ වීනා වාදනය අරඹා ඇත. ඩේසී ආච්චීට පෑදුන මැණික් මල්ලේ වාසනාව ලංකාවට පෑදුනොත් ගොඩය. නැතිනම් මේ අධිවේගයෙන් කම්බස්වීමේ කෙළවර කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකිය.

මරණය අභියස රාජපක්ෂවරු පැණි සොයමින් සිටිනු පෙනෙයි. ඔවුන් මුලින්ම පැණි සොයා ගියේ රජරට අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගනයටය. අනුරාධපුරය අරා වැඩ වසන තේජෝ බල පරාක්‍රම ඥානා මැණියෝගේ ආශීර්වාදයෙන් සල්ගාදු පිටියේදී බැසිල් සුළඟ හමනු පෙනුනි. දැනගන්නට තිබෙන විදිහට (ඇත්තටම සංවිධානය කළ ඇත්තන්ම කියන විදිහට) ඉලක්ක කළ පිරිසෙන් 1/3කට අඩු පිරිසක් පැමිණ ඇත. බස් රථ 328 ක් යොදවා 15,000 ක පමණ පිරිසක් සහභාගී වෙනු ඇති කියා එස් එම් ගණන් හැදුවත් ඇවිත් තිබුණේ 5000කට අඩු පිරිසක් ය. කෙසේ හෝ මොන වින්නැහිය රටට උනත් තවමත් රාජපක්ෂවරුන්ට ජන පදනමක් තිබෙන බව මෙයින් පෙනේ. එහෙත් ඒ ජනපදනම ඛාදනය වී ඇති සෙයියාව මේ ජන රාශියෙන් හොඳටම පෙනෙන බව කිවයුතුය. හූ හඬ නෑසෙන සල්ගාදු පිටියක් කරන්නට එස් එම් ලා පුදුම මහංසියක් ගත් බවක්ද ආ පිරිස සංවිධායකවරුන් හොඳටම දන්න පිරිස් බවද සැල වෙයි. ආණ්ඩුව සෙලවී ඇත. ජනතාව අතරට අමුඬ කෙටියෙන් හෝ යන්නට හිතුවේ ඒ නිසා වන්නට පුලුවන් ය.

ජනපති පොයිය

ජනාධිපතිගේ කයිය පොයියක් බව ගමේ භාෂාවෙන් කිව යුතුය. ගොවියාට පොහොර දුන් බවද ගොවියාට හොඳ සහතික මිලක් ලැබුණ බවටද ඔහු යටිගිරියෙන් කෑගෑවේය. ඇත්තම කාරණාව ජනාධිපතිගේ කාබනික සොමිය නිසා රසායනික පොහොර නැතුව ගොවියාට හොම්බෙන් යන්නට වූ බවය. ඒ නිසා අස්වැන්න 50%කින් අඩුවිය. අස්වැන්න අඩුවෙන විට වී වලට ලැබෙන මිල වැඩිවෙන බව වෙළඳපොළ ගැන අබ ඇටේක දැනුමක් තියෙන ඕනෑම කෙනෙක් දන්නේ ය. ජනාධිපති බබා එය දන්නේ නැත. පුදුම වෙන්නට කාරියක් නැත. හරි හරි ඔබ තමයි මේ සහතික මිල දුන්නේ කියා අපි දැන් ඔහු උඩ දැමිය යුතුය. බබාලා නළවන්න ඕනෑ එහෙමය. පාරිභෝගිකයන්ට සම්බා සහල් කනකොට එන ඒ සහතික මිල දුන්නේද ඔබතුමා බව එතුමාගේ මළගිය ප්‍රානීන් මතක් කරමින්ම මතක් කර දිය යුතුය.

ජනාධිපති මෙහෙම කයි ගහන ගමන් ආණ්ඩුව චීනයෙන් ඉන්දියාවෙන් මියන්මාරයෙන් සහල් හිඟා කමින් සිටියි. පොන්නි සම්බා කරණය වූ ලංකාවේ සහල් වෙළඳපොළ අපිට ඉගි සපයන්නේ සාඟතය නොනගතය ලබනකොටම උදාවෙනු ඇති බවය. ආණ්ඩුවද මේකට බය බිරාන්තවී ලෝකය පුරා සහල් ණයට ගන්නට සොයමින් සිටියි. ඒ යතාර්ථය පසෙකලා සල්ගාදු පිටියට පැමිණි ජනාධිපති යටි උගුරෙන් කෑගැසීම කියන්නේ කුමක්ද? ඇටි කෙහෙල් කාපු උඟුඩුවනුත් ඔහොමය.

අගමැති පොයිය

අත අල්ලාගන්න දඟලන රෝහිත අබේගුණවර්ධනගේ අත ගසා දමන මහින්ද රාජපක්ෂ, මුහුනු පොත උණුසුම් කර ඇත. මේ දසුන දැක්කාම ‘මෝඩ යකාට’ ගහන්න අත එසවූ මහින්ද රාජපක්ෂ මතකයට ආ බව කියන්න ඕනෑමය. කොහොම වුණත් මේ නාකි මනුස්සයාට දෙන වධවේදනාවක් කියා මුලින්ම කිව යුතුය. සල්ගාදු වේදිකාවේ මලානික, රෝගී කතාවක් කළ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එකහෙලා කියා සිටියේ මේ සියලු අවුල් නිර්මානය කර ඇත්තේ වර්තමාන විපක්ෂය බවය. ඒ නිසා තමන් ජනතාව අතරට එන්නට කල්පනා කළ බවය. කොවිඩ් එන්නත නිසි වේලාවට ගෙනවිත් දී මිනිස් ජීවිත බේරාගත් බව ඔහු එහිදී සපථ කළේය. වේදිකාව පිටුපස අඳුරේ නොපෙනුන කොවිඩ් නිසා මිය ගිය 15000ක් කට ඇරගෙන විශ්මයෙන් බලා සිටිනවා දකින්න ඒ සල්ගාදු නාට්‍යකාමී ජනතාවට හැකිවුණා දැයි මේ ලියුම්කරු දන්නේ නැත..! තමන්ගේ ගෙදරට බල්ලාටත් ඉන්ජෙක්ෂන් එක මුලින්ම ගසාගත් පාදෙණියලා සිනාසෙනු පෙනුනි. මෙවැනි විශාල ජනහමු තියා, මෙවැනි විශාල පොයි මුදාහරින්න විශාල ගටක් නැතිනම් ලැජ්ජබය නැතිකමක් අවශ්‍යය. ඒක රාජපක්ෂවරුන්ට ඕනෑවටත් වඩා තියෙන බව ඔවුන් යළිත් වරක් මේ සල්ගාදු සොමිය හරහා පසක් කළෝය.

බැසිල් සුළඟ

ආණ්ඩුව මොනවා කීවත් මේ හමාගෙන එන්නේ බැසිල් සුළඟ බව ලොකු ලොකු පොහොට්ටුවන් ප්‍රකාශ කරන්නේ ය. අපිටත් පුංචි ඡන්දය මග එන බව පෙනෙයි. නීරෝලාට වීනා වාදනය කරන්න පුලුවන් ය. ඒවා අහගෙන ඉන්න ජනතාවක් ඉන්නවානම්..!

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධනට අනුව මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 කට ආසන්න හිඟයකි. මහ බැංකුවේ ගණුදෙනු කල හැකි විදේශ සංචිත ප්‍රමාණයද පවතින්නේ ඇ.ඩො.මි. 500 ආසන්නයේ ය. මහ බැංකුවද ඇතුළුව, සියලුම බැංකු පද්ධතිය ගත් විට මෙය ඩොලර් බිලියන 4.5කට ආසන්න හිඟයකි. ඒ කියන්නේ, සෘණ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයකි. මහ බැංකුවේ දත්ත පද්ධතියට අනුව 2022 පෙබරවාරි 03 දාට මහ බැංකුවේ රුපියල් හිඟය, රුපියල් බිලියන 579 කි. මහ බැංකුවට අමතරව රාජ්‍ය බැංකු හා පුද්ගලික බැංකු වෙතින් ආණ්ඩුව හා ආණ්ඩුවේ ආයතන ලබාගෙන ඇති ණය හා ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 5,000 කට ආසන්නය. මෙය රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු දේශීය වශයෙන් ලබා දී ඇති ණය වලින් 52% කි. මහබැංකුව ඇතුළු රටේ බැංකු පද්ධතියට ඩොලරුත් නැත. රුපියලුත් නැත. ඒ අතරේ රටේ වාර්ෂික ආදායම මෙන් දෙගුණයකටත් අධික ප්‍රමාණයකින් ආණ්ඩුව බැංකු පද්ධතියට ණය වී ඇත.

මේ චිත්‍රය උඩ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අඳිනු ලබන චිත්‍රය කුමක්ද? ඔහු ග්‍රාමසේවක වසම් 14,000 ක වැඩ ලක්ෂයක් ආරම්භ කර ඇත. අය වැය අනුව මෙවර ප්‍රාග්ධන වියදම ගිය 2021 වසරට වඩා දෙගුණයකි. ආසන්නයෙන් ඒ ගණන බිලියන 1000 කි. එයට පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීම හා එයට වැඩ ලක්ෂය ද ඇතුළත් ය. මේ සෙල්ලම කොහෙන් කෙළවර වෙයිද? විපක්ෂයත් කතා සාප්පුවක් ඇරගෙන බලා සිටිනු පෙනෙයි. ජනතාව සංවිධානය කරන්නේ නැත. අත්‍යාවශ්‍ය ඖෂධ 80 ක හිඟයක් පවතින බව පාර්ලිමේන්තුවෙන් ඇසෙයි. තෙල් නැති නිසා විදුලි බලාගාර වැසී ඇත. තෙල් මිල සිතු සේ ඉහළ දමනා අතරේ විදුලිය කපා හැරේ. දැන් දැන් සෙපෙට්කෝ කියන්නේ ඩීසල් රුපියල් 48කින් සහ පෙට්‍රල් රුපියල් 15කින් තවත් උඩ දැමිය යුතු බවය. රටේ කිරිපිටි කියා දෙයක් නැත. කිරිපිටි යනු සෙලවෙන මනසය. ජනාධිපති කයි ගැහුවාට ගොවියාට පොහොර නැත. යුරියා කිලෝ එක අහසට පැන ගොස් ඇත. බඩුමිල ඉතිහාසයේ වාර්තාගත ලෙස වැඩිවී වැඩිවී 25%කින් ජනවාරිය වර්ණවත් කළේය. ඉදිකිරීම් සඳහා සිමෙන්ති හෝ යකඩ නැත. ගමේ ළමයින්ට කන්නට මුං ඇටයක් කඩල ඇටයක් නැත. ආණ්ඩුව ඒ අස්සේ ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු හිඟාකන බව මාධ්‍ය වාර්තා කරයි.

මේ සියල්ල අස්සේ බැසිල් සහන් සුළඟේ පාව එන සල්ගාදු සොමිය කියන්නේ කුමක්ද? මේ රටේ මිනිස්සු කවදාවත් අවධි නොවෙන අමු නිඳිකුම්ඹන් බවද? එහෙම නැතිනම් මේකට කෙළවෙලාම යා යුතු බවද?

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග